TikTok සමාගම විසින් ඇමරිකා එක්සත් ජනපද රජයට එරෙහිව නඩු පවරයි

· 1 min read
TikTok සමාගම විසින් ඇමරිකා එක්සත් ජනපද රජයට එරෙහිව නඩු පවරයි

චීන ජාතික සමාගමක් වන ByteDance නම් මව් සමාගමට අයත් සමාජ මාධ්‍ය සමාගමක් වන TikTok සමාගමට එරෙහිව එමගින් තම රටවැසියන්ගේ සංවේදී දත්ත චීනය සතු වීමේ අවදානමක් ඇතැයි පවසමින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති Joe Biden විසින් පසුගිය අප්‍රේල් මස පනතකට අත්සන් තැබීය.

එහි දී ඇමරිකා එක්සත් ජනපදයෙන් මාස නවයක් තුළ දී TikTok යෙදවුම ඉවත් කරගන්නා ලෙස දන්වා තිබුණු අතර එසේ නොකළ හොත් ඇමරිකා එක්සත් ජනපදය තුළ TikTok යෙදවුම තහනමකට ලක් කරන බවත් පවසා තිබිණි. කෙසේ වෙතත් මේ වන විට TikTok සමාගම විසින් මෙම පනතට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ මෙම පනත මගින් එම සමාගමේ සහ මිලියන 170 කින් යුත් ඇමරිකානු TikTok පරිශීලකයින්ගේ අදහස් දැක්වීමේ අයිතිවාසිකම අසාමාන්‍ය ආකාරයට උල්ලංඝනය කර ඇති බවයි.

කෙසේ වෙතත් TikTok සමාගමට තවදුරටත් ඇමරිකාව තුළ තම සමාජ මාධ්‍ය ජාලය පවත්වාගෙන යාමට අවශ්‍ය නම් එය ඇමරිකානු ව්‍යාපාරිකයෙකු හට විකිණීමට කටයුතු කරන ලෙසත් දන්වා තිබෙන අතර මේ වන විටත් එය මිල දී ගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ. එමෙන්ම TikTok සමාගම විසින් ද පවසා ඇත්තේ එය විකිණීම සඳහා කිසිදු අදහසක් නොමැති බවත් තම සමාගමේ අයිතිය චීන රජය සතු නොවන බවත් ය.

මේ අතර චීන රජය මෙම පනත විවේචනය කරමින් පවසා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය මෙම පනත මගින් විදේශීය සමාගමකට 'හිරිහැර කිරීමක්' සිදු කර ඇති අතර එය අනුමත නොකරන බවත් ය.