
Scientists in Thailand have named a newly discovered lizard after Syrax from House of the Dragon
විද්‍යාඥයන් පිරිසික් තායිලන්තයෙන් සොයාගන්න ලද නවතම කටුස්සන් විශේෂයකට House of the Dragon කතාමාලාවේ Syrax මකරාගේ නම යොදයි.
තායිලන්තයේ බටහිර කඳුකර වනාන්තර ආශ්‍රිතව අලුතින්ම සොයාගත් දුර්ලභ කටුසු විශේෂයක් සුප්‍රකට House of the Dragon කතාමාලාවේ එන Syrax මකරාගේ නමින් නම් කිරීමට එරට විද්‍යාඥයින් පියවර ගෙන තිබෙනවා. Tak සහ Kamphaeng Phet යන පළාත් හරහා විහිදී ඇති Mae Wong National Park හි සිදුකළ ගවේෂණයකදී Chulabhorn Royal Academy සහ Kasetsart University හි පර්යේෂකයන් පිරිසකට මෙම නව කටුස්සා හමුවී තිබෙනවා. පසුව සිදුකළ ජානමය සහ භෞතික පරීක්ෂණ හරහා මෙය Acanthosaura කුලයට අයත් 23 වන නවතම විශේෂය බව තහවුරු වීමෙන් අනතුරුව ZooKeys සඟරාව මගින් ද ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
George R. R. Martin ගේ කතාවලට අනුව HBO හි විකාශය වන House of the Dragon කතාමාලාවේ Rhaenyra Targaryen රැජිනගේ මකරා වන Syrax ගේ නමින් මෙම නව කටුස්සා Acanthosaura syrax ලෙස නම් කිරීමට පර්යේෂකයන් තීරණය කර ඇත්තේ ප්‍රධාන හේතු 3 ක් පදනම් කරගෙනයි. ඒ අනුව Syrax මකරාගේ කහ පැහැයට සමාන වන පරිදි මෙම පිරිමි කටුස්සන්ගේ තොල් සහ බෙල්ල ප්‍රදේශයේ කහ සහ කොළ පැහැයක් ද, ගැහැණු සතුන්ගේ කහ සහ දුඹුරු පැහැයක් ද දක්නට ලැබෙනවා. එසේම Vhagar සහ Balerion වැනි දැවැන්ත මකරුන්ට සාපේක්ෂව Syrax කුඩා මකරෙකු වන අතර, මෙම නව කටුස්සා ද මිලිමීටර් 62 ත් 101 ත් අතර දිගකින් යුත් සිය කුලයේ කුඩාම විශේෂයන්ගෙන් එකක් වනවා. ඊට අමතරව Targaryen ඉතිහාසයේ එන පරිදි Syrax මකරා විශාල බිත්තර ප්‍රමාණයක් දමන ආකාරයටම, මෙම කුඩා ගැහැණු කටුස්සන් ද එකවර බිත්තර 6 ත් 16 ත් අතර විශාල ප්‍රමාණයක් දැමීම ද මීට හේතු වී තිබෙනවා.
Acanthosaura syrax කටුස්සාගේ ශරීරයේ කුඩාම කර සහ පිටුපස කටු පිහිටා ඇති අතර, බෙල්ලේ කුඩා ත්‍රිකෝණාකාර කටු 7 ක් පමණක් දක්නට ලැබෙනවා. අනෙකුත් ඥාති විශේෂයන්ගේ ඇස් වටා කළු පැහැති සලකුණක් තිබුණද, මෙම කටුස්සාගේ උගුරේ පහළින් කළු පැහැති වළල්ලක් වැනි සලකුණක් පිහිටා තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයක් වනවා. ND2 සහ COI ජාන කලාප ආශ්‍රිතව සිදුකළ Mitochondrial DNA පරීක්ෂණ හරහා ද මොවුන්ගේ ජානමය වෙනස්කම් මනාව තහවුරු වී තිබෙනවා. මීටර් 1,000 කට වඩා, විශේෂයෙන් මීටර් 1,300 කට වඩා ඉහළ උන්නතාංශවල පවතින ශීත සහ තෙත් පරිසරයන්හි පමණක් මොවුන් ජීවත් වන බැවින්, දේශගුණික විපර්යාස සහ වනාන්තර විනාශය හමුවේ මෙම සතුන් දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, මෙම විශේෂ නාමකරණය හරහා තායිලන්තයේ සංවේදී පරිසර පද්ධති සංරක්ෂණය සඳහා ලොව පුරා අවධානය යොමු වනු ඇති බවත් පර්යේෂකයන් වැඩිදුරටත් බලාපොරොත්තු වනවා.
Discussion
No comments yet — start the conversation.