Awareness scene in Jana Nayagan movie leads to arrest of minor girl’s abuser

Awareness scene in Jana Nayagan movie leads to arrest of minor girl’s abuser

තලපත් විජේගේ ජන නායගන් චිත්‍රපටයේ කුඩා දරුවන්‍ට කිසියම් පුද්ගලයෙකු තමන්ව නුසුදුසු ආකාරයෙන් ස්පර්ශ කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දෙන දර්ශනය නැරඹීමෙන් පසු 7 හැවිරිදි දැරියක් ඇයව නුසුදුසු ආකාරයෙන් ස්පර්ශ කල පුද්ගලයෙකු ගැන හෙළි කර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ Chennai ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි කුඩා දැරියක් පසුගිය ජූලි 30 වනදා සිය පියා සමගින් තලපත් විජේගේ Jana Nayagan චිත්‍රපටය නැරඹීම සඳහා සිනමාහලක් වෙත ගොස් තිබෙනවා. මෙම චිත්‍රපටය තුළ තලපත් විජේ ගේ චරිතය විසින් පාසල් දරුවන්ට Good Touch සහ Bad Touch අතර ඇති වෙනස පිළිබඳව අවබෝධයක් ලබා දෙන විශේෂ දර්ශනයක් ඇතුළත් වනවා. යම්කිසි පුද්ගලයෙකු තමන්ව නුසුදුසු ආකාරයෙන් ස්පර්ශ කරන්නේ නම් ඒ පිළිබඳව වහාම දෙමාපියන්ට හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකුට දැනුම් දිය යුතු බව එමගින් දරුවන්ට කියා දී තිබුණා.

මෙම දර්ශනය නැරඹීමෙන් අනතුරුව තමන් මුහුණ දුන් අත්දැකීමක් ද එවැනිම නුසුදුසු ස්පර්ශයක් බව වටහාගත් එම කුඩා දැරිය, සිය මව සේවය කරන නිවසට සම්බන්ධ පුද්ගලයෙකු විසින් මින් පෙර තමන්ව ද නුසුදුසු ආකාරයෙන් ස්පර්ශ කළ බව සිය පියාට පවසා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ ඇයගේ පියා මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව ලිංගික අපරාධවලින් ළමයින් ආරක්ෂා කිරීමේ පනත (Protection of Children from Sexual Offences) හෙවත් POCSO පනත යටතේ අදාළ සිදුවීමට සම්බන්ධ 40 හැවිරිදි Mugappriyan නැමති සැකකරුව අත්අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීම හරහා ජනප්‍රිය සංස්කෘතිය සහ චිත්‍රපට මගින් කුඩා දරුවන්ගේ ශරීර ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ ඇති වැදගත්කම ඉතා හොඳින් පැහැදිලි වන බව ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා. මෙවැනි පැහැදිලි දැනුවත් කිරීම් හරහා බියෙන් තොරව තමන්ට සිදුවන හිරිහැර පිළිබඳව කතා කිරීමට කුඩා දරුවන්ට විශාල ශක්තියක් ලැබෙන බව ද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.