
Rockstar has issued multiple subpoenas in a federal court requesting information from both Microsoft and Discord
Rockstar Games හි මව් සමාගම වන Take-Two Interactive විසින් Grand Theft Auto VI ක්‍රීඩාවේ රහසිගත වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහළ පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලමින් Microsoft සහ Discord සමාගම් වෙත අධිකරණ නියෝග යොමු කර තිබෙනවා. ඇමරිකාවේ අධිකරණයක් හරහා ගොනුකළ මෙම නියෝග මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ ‘CyberLeek’ යන නමින් පෙනී සිටිමින් අදාළ වීඩියෝ කාන්දු කළ පාර්ශ්වයන්ගේ අනන්‍යතාවය හෙළි කරගැනීම සඳහා අවශ්‍ය දත්ත තමන් වෙත ලබාදෙන ලෙසයි.
ඒ අනුව අදාළ ගිණුම්වලට සම්බන්ධ ඊමේල් ලිපින, IP ලිපින, දුරකථන අංක, සම්බන්ධ කර ඇති Xbox සහ Google ගිණුම් මෙන්ම 2026 ජූනි 1 වනදා සිට අදාළ සිදුවීමට සම්බන්ධ Discord සේවාදායකයන් (Servers) තුළ ක්‍රියාකාරීව සිටි පරිශීලකයින්ගේ තොරතුරු ද ලබාදෙන ලෙස එම සමාගම්වලට දැනුම් දී තිබෙනවා. එළඹෙන සැප්තැම්බර් 4 වනදාට පෙර මෙම තොරතුරු ලබාදිය යුතු බවට අධිකරණය විසින් ඔවුන්ට කාලය ලබා දී ඇති අතර, Xbox හි නිලධාරියෙකු වන Scott Van Vliet විසින් ද X වේදිකාව හරහා පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් Take-Two ආයතනය සමඟ සමීපව කටයුතු කරන බවයි.
පසුගිය දින කිහිපය පුරාවටම අන්තර්ජාලය හරහා සංසරණය වූ මෙම වීඩියෝ දර්ශනවල ප්‍රධාන චරිතයක් වන Jason Duval ක්‍රියාකාරකම් රැසක නිරත වන ආකාරය දැකගත හැකි වුණා. කෙසේ වෙතත් අදාළ දර්ශනවල අයිතිය තමන් සතු බව පවසමින් Take-Two සමාගම ගත් මෙම දැඩි නීතිමය ක්‍රියාමාර්ගයත් සමඟ, මෙතෙක් අන්තර්ජාලයේ සැරිසැරූ එම GTA 6 වීඩියෝ සියල්ලම සත්‍ය ඒවා බවට මේ වන විට නිල වශයෙන් තහවුරු වී තිබීම ද විශේෂත්වයක්.
Discussion
No comments yet — start the conversation.