Bilibili, China’s version of YouTube, has launched globally.

Bilibili, China’s version of YouTube, has launched globally.

චීනය තුළ YouTube සඳහා ඇති ප්‍රධානතම විකල්පය ලෙස සැලකෙන Bilibili වීඩියෝ වේදිකාව මේ වන විට නිල වශයෙන් සිය ජාත්‍යන්තර යෙදුම ලොව පුරා නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලොව විශාලතම වීඩියෝ වේදිකාව බවට පත්වීමේ අරමුණින් YouTube සමඟ සෘජුවම තරග කිරීම සඳහා ඔවුන් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට සමගාමීව Bilibili හි Android යෙදුම ලෝක ගෝලයක සලකුණ සහිත රෝස පැහැති අයිකනයකින් යුතුව යාවත්කාලීන කර ඇති අතර, එහි iOS සංස්කරණය සහ ඉංග්‍රීසි භාෂාවෙන් යුත් වෙබ් අඩවිය ද නුදුරේදීම නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී ජාත්‍යන්තර පරිශීලකයින් සඳහා මීට පෙර පැවති විදේශ ගමන් බලපත්‍රය (Passport) හෝ හැඳුනුම්පත ලබා දී අනන්‍යතාවය තහවුරු කිරීමේ අනිවාර්ය නීතිය ද ඉවත් කර ඇති බැවින්, ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මීට සම්බන්ධ වීමේ හැකියාව හිමිවනු ඇති. එමෙන්ම චීන සහ ජාත්‍යන්තර නිර්මාණකරුවන්ගේ වීඩියෝ සියල්ලම එකම වේදිකාවක් තුළින් නැරඹීමට ද මේ හරහා අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්.

මේ වන විට මිලියන 376 ක පමණ මාසික සක්‍රීය පරිශීලකයින් පිරිසක් සිටින මෙම වේදිකාව, විශේෂයෙන්ම Gen Z පරම්පරාව ආකර්ෂණය කරගැනීම සඳහා Los Angeles, London, Mexico City, São Paulo, Istanbul සහ Tokyo යන නගර මෙන්ම සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් නව සේවකයින් බඳවා ගැනීම ද ආරම්භ කර තිබෙනවා. මීට අමතරව MrBeast වැනි ලොව ජනප්‍රියතම බටහිර නිර්මාණකරුවන්ව ද සිය වේදිකාවට සම්බන්ධ කරගැනීමට ඔවුන් දැඩි උත්සාහයක නිරත වන බවයි තොරතුරු සඳහන් වන්නේ.