CyberLeek hacker group threatens to leak entire GTA 6 game using an automatic failsafe after Rockstar pursues legal action

CyberLeek hacker group threatens to leak entire GTA 6 game using an automatic failsafe after Rockstar pursues legal action

තමන්ව අත්තඩංගුවට පත් වූවොත් ස්වයංක්‍රීයව සම්පූර්ණ ක්‍රීඩාවම අන්තර්ජාලයට මුදාහැරෙන පරිදි පූර්ව ක්‍රමලේඛනය කර ඇති බවට GTA VI ක්‍රීඩාවේ හැකර් කණ්ඩායම තර්ජනය කරයි.

Grand Theft Auto VI (GTA 6) ක්‍රීඩාවේ රහසිගත වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහළ ‘CyberLeek’ නම් හැකර් කණ්ඩායමට එරෙහිව Rockstar Games සහ එහි මව් සමාගම වන Take-Two Interactive විසින් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අදාළ හැකර්වරුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා Microsoft සහ Discord සමාගම් වෙත අධිකරණ නියෝග යොමු කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබුණා.

සමාගම විසින් ගත් මෙම දැඩි නීතිමය ක්‍රියාමාර්ගයෙන් අනතුරුව, අදාළ හැකර් කණ්ඩායම විසින් Rockstar Games සමාගම වෙත අතිශය භයානක අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. සමාගම විසින් තමන් පසුපස හඹා ඒම වහාම නතර නොකළහොත් සම්පූර්ණ ක්‍රීඩාවම අන්තර්ජාලයට මුදාහරින බවට ඔවුන් තර්ජනය කර තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට මේ වන විටත් GTA 6 ක්‍රීඩාවේ ක්‍රීඩා කල හැකි සම්පූර්ණ පිටපතක් (Build) ඔවුන් සතුව පවතින අතර, එය ලොව පුරා විවිධ ස්ථානවල පිටපත් කර බෙදා හැර තිබෙනවා. මෙම ක්‍රීඩාව ස්වයංක්‍රීයවම අන්තර්ජාලයට මුදාහැරෙන පරිදි පූර්ව ක්‍රමලේඛනය කර (Pre-programmed) ඇති අතර, එය නිකුත් වීම වැළැක්වීම සඳහා අදාළ හැකර්වරයා විසින් සෑම දිනකම තම අතින්ම එය අවලංගු කළ යුතු වනවා. ඒ අනුව යම් හෙයකින් ඔහු අත්අඩංගුවට පත්වුවහොත් හෝ ඔහුට යම් අනතුරක් සිදුවුවහොත්, සම්පූර්ණ ක්‍රීඩාවේම Playable PC සංස්කරණයක් ස්වයංක්‍රීයවම අන්තර්ජාලයට නිකුත් වනු ඇති.

අගෝස්තු 18 වනදා පමණ සිට මෙම දර්ශන අන්තර්ජාලයට නිකුත් වීම ආරම්භ වූ අතර, ඒවායේ ප්‍රධාන චරිතයක් වන Jason Duval විසින් Leonida සිතියම තුළ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන ආකාරය දැකගත හැකි වුණා. මෙම හැකර් කණ්ඩායම පවසන්නේ තමන් මෙම කාන්දුවීම් සිදු කරන්නේ පාරිභෝගිකයින්ට අවාසිදායක වන සමාගම් ප්‍රතිපත්තිවලට විරෝධය පෑමක් ලෙස බවයි. ඒ අනුව ඩිජිටල් මාධ්‍ය හරහා කලින් ඇණවුම් කිරීම (Pre-orders) නතර කිරීම, ව්‍යාජ DLC නිකුත් කිරීම නැවැත්වීම සහ සේවාදායකයන් අක්‍රිය වූ පසු ද ක්‍රීඩා කළ හැකි Offline පහසුකම් ලබාදීම යන කරුණු ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතරට අයත් වනවා. මීට අමතරව ඔවුන් අදාළ කාන්දුවීම් හරහා ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ප්‍රවර්ධනයකට ද සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ. එළඹෙන අගෝස්තු 27 වනදා Netflix වේදිකාව හරහා අදාළ ක්‍රීඩාවේ විශේෂ වීඩියෝවක් එළිදැක්වීමටත්, නොවැම්බර් 19 වනදා PlayStation 5 සහ Xbox Series X|S සඳහා නිල වශයෙන් ක්‍රීඩාව නිකුත් කිරීමටත්, Rockstar ආයතනය මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති පසුබිමකයි මෙම දැවැන්ත අර්බුදකාරී තත්ත්වය හටගෙන ඇත්තේ.