EA officially confirms the discontinuation of Need for Speed franchise

EA officially confirms the discontinuation of Need for Speed franchise

දශක තුනකට ආසන්න කාලයක් පුරාවට ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ Need for Speed වීඩියෝ ක්‍රීඩා මාලාව නිල වශයෙන්ම නවතා දැමීමට Electronic Arts (EA) සමාගම තීරණය කර තිබෙනවා. මෝටර් රථ ධාවන තරග වීඩියෝ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තැබූ මෙම ක්‍රීඩා මාලාවේ ඉදිරි නිර්මාණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර බවට EA සමාගම විසින් මේ වන විට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

මෑතකාලීන ක්‍රීඩා සංස්කරණයන් නිර්මාණය කළ Criterion Games ආයතනය මේ වන විට Battlefield Studios Europe ලෙස වෙනස් කර ඇති අතර, ඔවුන්ගේ පූර්ණ අවධානය ඉදිරියේදී Battlefield නිර්මාණ කටයුතු සඳහා පමණක් යොමු කරන බව එහි උප සභාපතිවරිය වන Rebecka Coutaz ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම 2008 වසරේ සිට Need for Speed නාමය හා බැඳී පැවති Speedhunters වෙබ් අඩවිය සඳහා ලබාදුන් මූල්‍ය දායකත්වයද සමාගම විසින් මේ වන විට නවතා දමා තිබෙනවා. දැනට මෙම ක්‍රීඩාව සඳහා වෙනත් කිසිදු සංවර්ධක කණ්ඩායමක් වෙන් කර නොමැති අතර, 2022 වසරේ නිකුත් වූ Need for Speed Unbound හි ආදායම් මට්ටම සමාගම බලාපොරොත්තු වූ මට්ටමට ළඟා නොවීම මෙම තීරණයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. ඒ අනුව මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රේසිං ක්‍රීඩා වෙනුවට Battlefield වැනි විශාල ආදායම් උපයන ක්‍රීඩා සඳහා Electronic Arts සමාගම සිය ප්‍රමුඛතාවය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

1994 වසරේ නිකුත් වූ The Need for Speed පළමු ක්‍රීඩාවෙන් ආරම්භ කර 2022 වසරේ නිකුත් වූ ක්‍රීඩා මාලාවේ අවසන් ක්‍රීඩාව වන Need for Speed Unbound ක්‍රීඩාවෙන් වසර 30ට ආසන්න කාලයක් පුරාවට පැමිණි Need for Speed: Most Wanted, Underground, Carbon සහ Heat වැනි ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා මාදිලි රැසක් මඟින් ගෝලීය වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැවැන්ත පෙරළියක් සිදු කිරීමට මෙම වීඩියෝ ක්‍රීඩා මාලාවට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් EA සමාගම විසින් ගත් මෙම තීරණයත් සමඟින් ලොව පුරා සිටින NFS රසිකයින් දැඩි කණගාටුවට පත්ව සිටිනවා.