3 Idiots එකේ රැන්චෝ සැප විඳිද්දී, සැබෑ රැන්චෝ ජීවිතයත් මරණයත් අතර සටනක!

මෝඩයන් තුන්දෙනාගේ 3 Idiots සිහිනයන් හඹායෑම එදා අපේ හිත් කොච්චරක් නම් මෝටිවේට් කළාද නේද? ආසාවෙන් තමන් කැමති ක්ෂේත්‍රය ගැන ඉගෙනගෙන, එතනින් ලෝකය දිනනවා මිසක්, පොත් ගෙඩි පිටින් කටපාඩම් කරලා විභාග ලියන ක්‍රමයේ තියෙන නිසරු බව 3 Idiots ලා අපිට ටොක්කක් ඇනලා පෙන්නුවා.
එදා තිරය මත ආමීර් ඛාන් රඟපෑ ඒ අපූරු "රැන්චෝ" එහෙමත් නැත්නම් "පුන්සුක් වංග්ඩූ" කියන චරිතයට පාදක වුණ සැබෑ ජීවිතයේ වීරයා තමයි සෝනම් වංග්චුක් . ඔහු ඉන්දියාවේ ලඩාක් කලාපයෙන් බිහිවුණු විශිෂ්ට ඉංජිනේරුවෙක්, පරිසරවේදියෙක් සහ නවෝත්පාදකයෙක්. ෆිල්ම් එකේ රැන්චෝ ළමයින් වෙනුවෙන් වෙනස්ම විදියේ පාසලක් හැදුවා වගේ, සෝනම් සැබෑ ජීවිතයේදී 'SECMOL' කියන විකල්ප අධ්‍යාපන ආයතනය හදලා ඉන්දීය අධ්‍යාපන ක්‍රමයම වෙනස් කරන්න පියවර ගත්තා.
හැබැයි අද... තිරයේ රැන්චෝ සහ සැබෑ රැන්චෝ ගෙවන දිවිය අහසට පොළොව වගෙයි. ආමීර් ඛාන් ඇතුළු සිනමා තරු මිල මුදල්, සැප සම්පත් මැද ජීවත් වෙද්දී, සැබෑ ජීවිතයේ රැන්චෝ ඉන්නේ තමන්ගේ ජීවිතයත් මරණයත් අතර සටනකයි!
සෝනම් වංග්චුක් මේ වෙනකොට නවදිල්ලියේ Jantar Mantar හි දින ගණනාවක් තිස්සේ මාරන්තික නිරාහාර උපවාසයක නිරත වෙමින් ඉන්නවා. ඔහු මේ සටන කරන්නේ තමන් වෙනුවෙන් නෙවෙයි. ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ විභාගය වන NEET විභාගයේ ප්‍රශ්න පත්‍ර ලීක් වීම, සිදුව ඇති මහා පරිමාණ දූෂණ සහ සමස්ත අධ්‍යාපන ක්‍රමයේ ඇති අසාධාරණකම්වලට එරෙහිවයි.
නිරාහාරව සිටීම නිසා සෝනම්ගේ ශරීරයේ බර සෑහෙන්න අඩු වෙලා, රුධිර පීඩනය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතිනවා. වෛද්‍යවරුන් පවසන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය අවදානම් සහගත මට්ටමක පවතින බවයි. ලෝකෙටම ආදර්ශයක් වුණු මේ මිනිසා අද ඇස් පියවෙන මානයටම දුක් විඳිනවා.
මේ ඛේදවාචකය මැද සුවිශේෂී සිදුවීමක් වුණා. 3 Idiots චිත්‍රපටයේ රැන්චෝගේ ප්‍රතිවාදියා වුණු "චතුර්" එහෙමත් නැත්නම් "සයිලන්සර්" ගේ චරිතය රඟපෑ Omi Vaidya සෝනම් වංග්චුක් වෙනුවෙන් විවෘතවම පෙනී සිටියා. ඔහු ප්‍රකාශ කළේ, "තිරය පිටුපස සැබෑ වීරයා සෝනම්. අපිට සැබෑ රැන්චෝට මෙහෙම දුක් විඳින්න අතහැරලා බලන් ඉන්න බැහැ," කියලයි. ඔහු ඉන්දීය රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සටනට කන් දෙන ලෙසයි.
නමුත් කනගාටුවට කරුණ නම්, චිත්‍රපටය හරහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් උපයාගත්, රැන්චෝගේ චරිතයෙන් තමන්ගේ සිනමා ජීවිතය තවත් ඔපදමාගත් ආමීර් ඛාන් ඇතුළු බොලිවුඩයේ දැවැන්තයින් කිසිවෙක් මේ වනතෙක් සෝනම් වංග්චුක් වෙනුවෙන් එකදු වචනයක් හෝ ප්‍රකාශ කර නොතිබීමයි.
තිරය මත මිලියන ගණනක් මිනිසුන්ව හඬවපු, හිනස්සපු, ජීවිතය කියා දීපු "රැන්චෝ" සැබෑ ලෝකයේදී තනිවම සටන් වදිනවා. සිනමාව කියන්නේ හුදෙක් මායාවක් පමණක්ම බවත්, සැබෑ ජීවිතයේ වීරයන්ට හැමදාමත් උරුම වෙන්නේ කටුක සටනක් බවත් මේ සිදුවීම අපට නැවතත් ඔප්පු කරලා පෙන්වනවා.
Discussion
No comments yet — start the conversation.