US Army battalion offers four days off to play GTA 6 as reenlistment incentive

US Army battalion offers four days off to play GTA 6 as reenlistment incentive

ඇමරිකානු යුද හමුදාවට අයත් 9 වන බලසේනා ඉංජිනේරු බලඇණියේ සෙබළුන්ට GTA 6 ක්‍රීඩා කිරීම සඳහා නොවැම්බර් 20-23 දක්වා නිවාඩු ලබා දෙයි.

ඇමරිකාවේ Fort Stewart හි පිහිටි ඇමරිකානු යුද හමුදාවට අයත් 9 වන බලසේනා ඉංජිනේරු බලඇණිය (9th Brigade Engineer Battalion) විසින් සිය සෙබළුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම දිරිගැන්වීම සඳහා අතිශය අපූරු ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව අගෝස්තු 1 සිට නොවැම්බර් 14 දක්වා කාලය තුළදී අවම වශයෙන් වසර 2 ක කාලයක් සඳහා සිය සේවා ගිවිසුම් අලුත් කරන සෙබළුන් වෙනුවෙන් ලොව පුරා දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වූ GTA 6 වීඩියෝ ක්‍රීඩාව ක්‍රීඩා කිරීම සඳහා දින 4 ක විශේෂ නිවාඩුවක් ලබාදීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

නොවැම්බර් 19 වනදා නිකුත් වීමට නියමිත මෙම වීඩියෝ ක්‍රීඩාව වෙනුවෙන් නොවැම්බර් 20 සිට 23 දක්වා මෙම විශේෂ නිවාඩුව හිමිවන බව සඳහන් වනවා. 3 වන පාබල සේනාංකයේ (3rd Infantry Division) ප්‍රකාශිකා Angel Tomko පෙන්වා දෙන ආකාරයට, මේ වන විට අදාළ බලඇණියේ සේවා කාලය දික් කිරීමට සුදුසුකම් ලබා සිටින සෙබළුන් 130 දෙනාගෙන් 20 දෙනෙකුම දැනටමත් මෙම දින 4 ක නිවාඩුව ලබාගැනීම සඳහා සිය සේවා ගිවිසුම් අලුත් කිරීමට කටයුතු කර තිබෙනවා. නව පරපුරේ සෙබළුන්ගේ මානසිකත්වය හඳුනාගනිමින් 2027 වසරේ ඉලක්ක සපුරාගැනීම වෙනුවෙන් මෙම නවතම දිරිගැන්වීමේ වැඩසටහන හඳුන්වා දී ඇති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

බලඇණියේ අණදෙන නිලධාරී Ryan D. Hodgson විසින් ජූලි 28 වනදා අත්සන් කරන ලද නිල සංදේශයක් හරහා මෙම දිරිගැන්වීමේ වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය හුදෙක් Fort Stewart හි පිහිටි අදාළ බලඇණියට පමණක් සීමා වූවක් වනවා. Rockstar Games සමාගම විසින් නිර්මාණය කරන ලද GTA 6 වීඩියෝ ක්‍රීඩාව එළඹෙන නොවැම්බර් 19 වනදා PlayStation 5 සහ Xbox Series X|S උපාංග සඳහා නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතව තිබීමත් සමග, ඇමරිකානු යුද හමුදාව විසින් ගත් මෙම අපූරු තීරණය මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහකට ද ලක්ව තිබෙනවා.