Tom Holland becomes 3rd highest-grossing actor of all time at age 30

Tom Holland becomes 3rd highest-grossing actor of all time at age 30

Tom Holland සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් පිරිමි රංගන ශිල්පියා සහ සමස්ත නළු නිළියන් අතරින් 3 වැනියා මෙන්ම ලාබාලතම නළුවා බවට පත්වෙයි.

සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් නළු නිළියන් අතර 3 වන ස්ථානයට පත්වීමට සුපිරි හොලිවුඩ් නළු Tom Holland සමත්ව තිබෙනවා. ඔහුට ඉදිරියෙන් පසුවන්නේ Zoë Saldaña සහ Scarlett Johansson යන නිළියන් දෙදෙනා පමණක් වීම විශේෂත්වයක්.

ඒ අනුව සිනමා ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් උපයාගත් පළමු රංගන ශිල්පීන් 10 දෙනා සහ ඒ සඳහා ඔවුන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව පහත පරිදි වනවා:

1️⃣ Zoë Saldaña - ඇ.ඩො බිලියන 15.47 (චිත්‍රපට 33)
2️⃣ Scarlett Johansson - ඇ.ඩො බිලියන 15.40 (චිත්‍රපට 36)
3️⃣ Tom Holland - ඇ.ඩො බිලියන 15.20 (චිත්‍රපට 24)
4️⃣ Chris Pratt - ඇ.ඩො බිලියන 15.16 (චිත්‍රපට 29)
5️⃣ Samuel L. Jackson - ඇ.ඩො බිලියන 14.61 (චිත්‍රපට 70)
6️⃣ Robert Downey Jr. - ඇ.ඩො බිලියන 14.31 (චිත්‍රපට 45)
7️⃣ Tom Cruise - ඇ.ඩො බිලියන 13.36 (චිත්‍රපට 45)
8️⃣ Chris Hemsworth - ඇ.ඩො බිලියන 12.18 (චිත්‍රපට 31)
9️⃣ Vin Diesel - ඇ.ඩො බිලියන 12.04 (චිත්‍රපට 28)
🔟 Chris Evans - ඇ.ඩො බිලියන 11.48 (චිත්‍රපට 29)

වයස අවුරුදු 30 ක් වන මෙම බ්‍රිතාන්‍ය ජාතික නළුවා ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපට මේ වන විට ලොව පුරා උපයාගෙන ඇති සමස්ත බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො බිලියන 15.2 ක් පමණ වනවා. ඒ අනුව ප්‍රවීණ නළුවන් රැසක් අභිබවා යමින් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් පිරිමි රංගන ශිල්පියා මෙන්ම, මෙම ලැයිස්තුවේ ඉහළින්ම රැඳී සිටින ලාබාලතම රංගන ශිල්පියා බවට ද පත්වීමට ඔහු සමත් වී තිබෙනවා. එමෙන්ම මුල් පෙළේ සෙසු බොහෝ රංගන ශිල්පීන්ට වඩා අඩුම චිත්‍රපට සංඛ්‍යාවකින් (චිත්‍රපට 24 කින් පමණක්) මෙම දැවැන්ත කඩඉම කරා ළඟාවීමට ඔහුට හැකිවීම තවත් සුවිශේෂී කරුණක්.

තිරගත වෙමින් පවතින ඔහුගේ සිව්වන Spider-Man චිත්‍රපටය වන Spider-Man: Brand New Day ඇ.ඩො බිලියන 2.3 ක ආදායම් සීමාව පසුකර යාම සහ Christopher Nolan ගේ The Odyssey චිත්‍රපටය ඇ.ඩො බිලියන 1.5 ක ආදායම් සීමාව පසුකර යාම හරහා ලැබූ අතිවිශාල වාණිජමය සාර්ථකත්වය මෙම වාර්තාව පිහිටුවීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. 2016 වසරේදී Captain America: Civil War හරහා Marvel සිනමා විශ්වයට එක්වූ Tom Holland, ඉන් අනතුරුව Avengers: Infinity War, Avengers: Endgame මෙන්ම Spider-Man: Far From Home සහ Spider-Man: No Way Home වැනි ඇ.ඩො බිලියනය සහ බිලියන 2 ඉක්මවූ අතිදැවැන්ත චිත්‍රපට රැසකටම සිය රංගන දායකත්වය ලබාදුන්නා.

මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින Zoë Saldaña ගේ වයස අවුරුදු 47 ක් සහ Scarlett Johansson ගේ වයස අවුරුදු 41 ක් වන අතර, සෙසු බොහෝ ප්‍රවීණ නළු නිළියන් දශක ගණනාවක දිගු සිනමා දිවියක් හරහා මෙම ආදායම් වාර්තා කරා ළඟා වී ඇති පසුබිමක, වයස අවුරුදු 30 ක් වැනි ලාබාල වියේදීම චිත්‍රපට 24 කින් පමණක් Tom Holland මෙම සුවිශේෂී කඩඉම පසුකිරීම සිනමා ලෝකයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.