Shah Rukh Khan tops India’s most valuable celebrity brand list beating Virat Kohli

Shah Rukh Khan tops India’s most valuable celebrity brand list beating Virat Kohli

ඉන්දියාවේ වඩාත්ම වටිනා තරු සන්නාමය ලෙස ප්‍රමුඛතාව හිමි කර ගැනීමට බොලිවුඩ් සිනමා නළු Shah Rukh Khan සමත් වී තිබෙනවා. ඒ අනුව පසුගිය වසරේ මෙහි ප්‍රථම ස්ථානයේ පසුවූ ක්‍රිකට් ක්‍රීඩක Virat Kohli අභිබවා යමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ඇති බවයි Kroll විසින් නිකුත් කළ Celebrity Brand Valuation Report 2025 වාර්තාවේ සඳහන් වන්නේ.

තරුවක සන්නාම වටිනාකම (Celebrity Brand Value) යනු හුදෙක් ඔහුගේ හෝ ඇයගේ ජනප්‍රියත්වය පමණක් නොවන අතර, වෙළෙඳ දැන්වීම් සඳහා ඇති ඉල්ලුම, සමාජ මාධ්‍ය බලපෑම, රසිකයන් සමග පවතින සබඳතාවය, ව්‍යාපාරික කටයුතු සහ විවිධ වෙළෙඳ නාමයන් සඳහා ලබා දෙන වාණිජමය වටිනාකම ඇතුළු කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් ගණනය කරනු ලබන විශේෂිත අගයක් වනවා.

මෙවැනි සන්නාම වටිනාකම් ඇගයීමේ ලොව ප්‍රමුඛතම ආයතනයක් වන Kroll ආයතනය 1972 වසරේදී ආරම්භ වූ අතර, ව්‍යාපාරික වටිනාකම් තක්සේරු කිරීම, අවදානම් කළමනාකරණය සහ උපදේශන සේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තරව කටයුතු කරනු ලබනවා. ඔවුන් විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන Celebrity Brand Valuation Report වාර්තාව ඉන්දියාවේ ප්‍රමුඛ තරුන්ගේ වෙළෙඳ හවුල්කාරිත්ව, සමාජ මාධ්‍ය බලපෑම, ඩිජිටල් පැවැත්ම සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම් මැන බලන ප්‍රධානතම දර්ශකය ලෙසයි සැලකෙන්නේ.

මෙම නවතම වාර්තාවට අනුව ඩොලර් මිලියන 177.9 ක (ඉන්දියානු රුපියල් කෝටි 1,694 කට ආසන්න) සන්නාම වටිනාකමක් වාර්තා කිරීමට Shah Rukh Khan සමත් වී තිබෙනවා. වසර 2023 දෙසැම්බර් මාසයේදී තිරගත වූ Dunki චිත්‍රපටයෙන් පසුව ඔහුගේ අලුත් චිත්‍රපටයක් තිරගත නොවුණද, ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාම රැසක ප්‍රචාරකයෙකු ලෙස කටයුතු කිරීම, IPL තරගාවලියේ Kolkata Knight Riders කණ්ඩායමේ සම හිමිකරුවෙකු වීම සහ Red Chillies Entertainment හරහා සිදු කරන ව්‍යාපාරික කටයුතු හේතුවෙන් ඔහුගේ සන්නාම බලය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

දැනට ඉන්දියාවේ වටිනාම තරු සන්නාම 10

(1) Shah Rukh Khan — ඇ.ඩො. මිලියන 177.9

(2) Ranveer Singh — ඇ.ඩො. මිලියන 162.9

(3) Virat Kohli — ඇ.ඩො. මිලියන 158.4

(4) Sachin Tendulkar — ඇ.ඩො. මිලියන 125.9

(5) Mahendra Singh Dhoni — ඇ.ඩො. මිලියන 115.3

(6) Alia Bhatt — ඇ.ඩො. මිලියන 93.9

(7) Deepika Padukone — ඇ.ඩො. මිලියන 89.2

(8) Hrithik Roshan — ඇ.ඩො. මිලියන 88.9

(9) Amitabh Bachchan — ඇ.ඩො. මිලියන 80.8

(10) Akshay Kumar සහ Ranbir Kapoor — ඇ.ඩො. මිලියන 80 බැගින්

මෙවර වාර්තාවෙන් පැහැදිලි වන තවත් කරුණක් වන්නේ, අද තරුවක වටිනාකම තීරණය වන්නේ චිත්‍රපටවල සාර්ථකත්වයෙන් පමණක් නොවන බවයි. ඩිජිටල් ලෝකයේ බලපෑම, සමාජ මාධ්‍ය රසික සම්බන්ධතාව සහ ව්‍යාපාරික හැකියාව ද ඊට විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. ඒ නිසාම තිරයේ පෙනී සිටින වාර ගණනට වඩා, ජනතාවගේ මතකයේ සහ වෙළෙඳ ලෝකයේ තරුවක් කොතරම් ශක්තිමත් ද යන්න තීරණය වන මෙවැනි යුගයක, Shah Rukh Khan තවමත් King Khan බව නැවත වරක් තහවුරු කර තිබෙනවා.