BTS star V reveals hearing loss battle during livestream

BTS star V reveals hearing loss battle during livestream

ලොව පුරා අතිශය ජනප්‍රිය දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS හි සාමාජික V හෙවත් Kim Tae-hyung හට එක් කනක ශ්‍රවණාබාධයක් ඇති වී තිබෙන බව පසුගියදා පැවැත්වුණු සජීවී විකාශයක් අතරතුරදී ඔහු විසින් ප්‍රේක්ෂකයින් වෙත අනාවරණය කර තිබෙනවා. වයස අවුරුදු 30 ක් වන ඔහු පවසන ආකාරයට, සිය වම් කනේ ශ්‍රවණ මට්ටම 100% ක් වුවද දකුණු කනේ ශ්‍රවණ මට්ටම 30% ක් පමණ දක්වා මේ වන විට පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසර දෙකහමාරක පමණ කාලය පුරාවට ඔහු මෙම තත්ත්වයෙන් පීඩා විඳ ඇති අතර, දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයේ නිරත වී සිටි කාලය තුළදී එය තවත් උත්සන්න වී තිබෙනවා. මුල් කාලයේදී එය හුදෙක් මානසික ශක්තිය පිළිබඳ කාරණයක් පමණක් බව සිතා ඔහු ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර නොමැති වුවද, අදාළ තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට ඔහු ඖෂධ ලබා ගනිමින් නිරන්තරයෙන් රෝහල් ප්‍රතිකාර සඳහා ද යොමු වන බව අදාළ සජීවී විකාශය අතරතුරදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

මෙම සජීවී විකාශය සඳහා BTS කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වන Jungkook ද එක්ව සිටි අතර, ඔහු ද මේ දිනවල සිය පාදයේ ආබාධයකින් පීඩා විඳින බව එහිදී සඳහන් කර තිබුණා. 2023 වසරේදී හමුදා සේවයට එක්වූ V, ඉන් නිදහස් වීමෙන් අනතුරුව මේ වන විට BTS සාමාජිකයින් හත්දෙනාම එක්ව පවත්වන Arirang World Tour සඳහා සහභාගී වී සිටිනවා. ඇමරිකාවේ Baltimore හි පැවති ප්‍රසංගයෙන් අනතුරුව මෙම සජීවී විකාශය සිදු කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ Los Angeles, Buenos Aires, Bangkok, Sydney සහ Hong Kong ඇතුළු නගර රැසකදී මෙම ප්‍රසංග මාලාව පැවැත්වීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.