TRCSL to enforce mobile number portability using legal powers if telecom operators fail to agree

TRCSL to enforce mobile number portability using legal powers if telecom operators fail to agree

ජංගම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සේවා සපයන්නෙකු වෙත මාරු වීමේ පහසුකම ලබා දීම සඳහා දුරකථන සේවා සපයන සමාගම් එකඟතාවයකට නොපැමිණියහොත්, රජය විසින් ඒ සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පවසයි

තම ජංගම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සේවා සපයන්නෙකු වෙත මාරු වීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දෙන Mobile Number Portability පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර ලබා දීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය Eranga Weeraratne පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සේවාව ලබා දීම සම්බන්ධයෙන් අදාළ දුරකථන සේවා සපයන සමාගම් එකඟතාවයකට නොපැමිණියහොත්, ඒ සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. එහිදී ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත හෙවත් Sri Lanka Telecommunication Act සහ අදාළ දුරකථන සමාගම්වල මෙහෙයුම් බලපත්‍ර වල අඩංගු කොන්දේසි යටතේ සෘජු නියෝගයක් නිකුත් කර මෙය ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) කටයුතු කරනු ඇති. ඒ අනුව අදාළ සමාගම් අකමැති වුවද නීතිය සහ ඔවුන්ගේ බලපත්‍ර කොන්දේසි හරහා මෙම තීරණය ඔවුන්ට අනිවාර්ය කිරීමට රජයට හැකියාව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම සමාගම් අතර පවතින යම් ගැටලුවක් හෝ ආරවුලක් හේතුවෙන් මෙම ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වන්නේ නම්, පාරිභෝගිකයින්ට ඒ සඳහා තවදුරටත් බලා සිටීමට ඉඩ නොතබා, අවශ්‍ය වුවහොත් ස්ථාවර දුරකථන සේවා පසෙකලා ජංගම දුරකථන සඳහා පමණක් හෝ පළමුව මෙම පහසුකම ලබාදීමට රජය කටයුතු කරනු ඇති. දශකයකට ආසන්න කාලයක් තිස්සේ සාකච්ඡා මට්ටමේ පැවති මෙම පහසුකම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික පියවරයන් 2020 වසරේදී ආරම්භ කළ අතර, මේ වන විට ඒ සඳහා අවශ්‍ය සියලුම නීතිමය අවසරයන් TRCSL ආයතනය වෙත හිමිව තිබෙනවා.


0:00
/0:29

Eranga Weeraratne