TRCSL to enforce mobile number portability by September ahead of fixed line services

තම ජංගම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සේවා සපයන්නෙකු වෙත මාරු වීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දෙන Mobile Number Portability (MNP) පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර ලබා දීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය Eranga Weeraratne මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් දුරකථන සේවා සපයන සමාගම්වල බලපත්‍ර කොන්දේසි සහ අදාළ විදුලි සංදේශ පනත යටතේ මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. එහිදී සමාගම් අතර පවතින ගැටලු හේතුවෙන් පාරිභෝගිකයින්ට තවදුරටත් රස්තියාදු වීමට ඉඩ නොතබා, අවශ්‍ය වුවහොත් ස්ථාවර දුරකථන සේවා සඳහා මෙම පහසුකම ලබා දීමට ප්‍රථමයෙන් ජංගම දුරකථන පාරිභෝගිකයින් වෙත මෙම පහසුකම ලබා දීමට රජය කටයුතු කරන බව ඔහු අවධාරණය කර තිබෙනවා.
2020 වසරේ අගෝස්තු මාසයේදී මෙහි මූලික කටයුතු ආරම්භ කළ අතර, ඒ සඳහා සියලුම දුරකථන සේවා සමාගම්වල එකතුවෙන් Lanka Portability නමින් නව සමාගමක් ද පිහිටුවනු ලැබුවා. ඉන් අනතුරුව 2021 සහ 2022 වසරවලදී මේ සඳහා අවශ්‍ය නීතිමය රාමු සහ අනුමැතිය TRCSL ආයතනය විසින් ලබා දී තිබූ අතර, 2023 වසරේදී ශ්‍රී ලංකාව තුළ මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවසන් නීතිමය අවසරය ද හිමිව තිබූ බව අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.