පෘථිවියේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය සහ පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීමට ලෝක ජනගහනය හරි අඩකින් හෙවත් බිලියනය 4 දක්වා අඩු විය යුතු බවට විද්‍යාඥයින් නව පර්යේෂණයකින් තහවුරු කරයි

පෘථිවියේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය ආරක්ෂා කිරීමට සහ පරිසර පද්ධතීන් සුරැකීම වෙනුවෙන්, වසර 2200 වන විට ලෝක ජනගහනය හරි අඩකින් හෙවත් බිලියන 4 දක්වා අඩුවිය යුතු බවට විද්‍යාඥයින් පිරිසක් යෝජනා කර තිබෙනවා. මේ වන විට පෘථිවියේ සමස්ත ජනගහනය බිලියන 8ක් පමණ වෙනවා.
මෙම යෝජනාව ඇතුළත් නව පර්යේෂණ පත්‍රිකාව Sustainable Development විද්‍යාත්මක සඟරාවේ “Achieve Sustainability by Easing Population to 4 Billion by 2200” නමින් පළවී තිබෙනවා. මෙම යෝජනාව තුළ කිසිදු ආකාරයක බලහත්කාරී හෝ අනිවාර්ය ජනගහන පාලන ක්‍රමවේදයන් ඇතුළත් නොවන අතර, කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සහ ස්වේච්ඡා පවුල් සැලසුම් ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීම හරහා ඉදිරි සියවස් දෙක තුළ මෙම ඉලක්කය වෙත ළඟා විය හැකි බවයි එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
පර්යේෂකයන් පවසන්නේ මිනිස් වර්ගයා වර්තමාන පරිභෝජන මට්ටමින් පෘථිවියට දැරිය හැකි ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවයි. ඔවුන්ගේ ඉලක්කය වන බිලියන 4 යනු නිශ්චිත විද්‍යාත්මක සීමාවක් නොව, දිගුකාලීන තිරසාර ඉලක්කයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. මෙය හදිසි අඩුවීමක් නොව, වසර 175ක් පමණ පුරා සිදුවන ක්‍රමික සංක්‍රාන්තියක් ලෙසයි ඔවුන් විස්තර කරන්නේ.
එක්සත් ජාතීන්ගේ නවතම ඇස්තමේන්තු අනුව ලෝක ජනගහන වර්ධනය දැනටමත් මන්දගාමී වෙමින් පවතිනවා. වාර්තාවලට අනුව ලෝක ජනගහනය 2084 වන විට බිලියන 10.29 කින් උපරිමයට පැමිණ, පසුව සෙමින් අඩුවීමට පටන් ගන්නා බවට පුරෝකථනය කර තිබෙනවා.
එසේම පරිසර විනාශයට ප්‍රධානතම හේතුව ජනගහනය පමණක් නොව, ඉහළ ආදායම් ලබන රටවල පවතින අධික සම්පත් පරිභෝජනය බවයි බොහෝ ආර්ථික විද්‍යාඥයින් සහ කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
ලෝක ජනගහනය අඩු වීමෙන් ලැබෙන පාරිසරික වාසි ලෙස ඔවුන් දක්වන්නේ හරිතාගාර වායු විමෝචනය අඩුවීම, වනාන්තර සහ වනජීවී වාසස්ථාන මත පීඩනය අඩුවීම, මිරිදිය සහ ගොවිතැන් ඉඩම් සඳහා ඇති ඉල්ලුම අඩුවීම මෙන්ම ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත්වීමට අවස්ථාව ලැබීමයි.
මීට පෙර 2018 වසරේ නිකුත් වූ Avengers: Infinity War චිත්‍රපටයේ Thanos විසින්ද යෝජනා කලේ විශ්වයේ ජීවය හරි අඩකින් අඩු කල යුතු බවට වීමද විශේෂත්වයක්