යුද්ධය විකුණන සහෝදරයෝ.

by Sandali Mendis

යුද්ධය විකුණන සහෝදරයෝ.

Share

යුද්ධයකින් වැඩියෙන්ම වාසි ලබන්නෙ කවුද? දේශපාලඥ්‍යයින්, ඒකාධිපතීන්, මාධ්‍ය ආයතන. ඒ විතරක් නෙමෙයි යුද්ධයකින් විශාල වාසි වගේම මූල්‍යමය ලාභයක් ලබාගන්නා තවත් කොට්ඨාසය කිහිපයක් ඉන්නවා. ඒ තමයි ආයුධ නිෂ්පාදකයන්, ලෝහ කර්මාන්තවල නියැලෙන්නන් හා ආයුධ අලෙවිකරුවන්.

මෙතනින් භයානකම කට්ටියක් තමයි ආයුධ අලෙවිකරුවන්. මොකද ඔවුන් බොහොම ඉක්මණට ආයුධ ජාවාරම්කරුවන් බවට පත්වෙන්න පුලුවන්. සාමය මෙයාලගෙ පැවැත්මට තර්ජනයක්. ලෝකෙ කොහෙහරි තැනක මොකක්ම හරි යුද්ධයක් තියෙනවා කියන්නෙ මෙයාලට රජ මගුල්.

මෙන්න මේ ආයුධ ජාවාරම්කරුවන් හා ආයුධ අලෙවිකරුවන් ගැන හොඳින්ම පෙන්නන චිත්‍රපටියක් තමයි Lord of War කියන්නෙ. Nicolas Cage, Jared Leto, Ethan Hawke වැනි විශිෂ්ට නළු නිළියන් මෙම චිත්‍රපටියේ චරිත නිරූපණය කරනවා. මේ චිත්‍රපටියේ කතාව මෙහෙමයි.

💣 𝐓𝐡𝐞 𝐒𝐭𝐨𝐫𝐲 💣

යූරි ඔර්ලොව් (Nicolas Cage) හා විටාලි ඔර්ලොව් (Jared Leto) හෙවත් V කියන්නෙ සරණාගතයන් ලෙස ඇමරිකාවට සංක්‍රමණය වුණ යුක්‍රේන ජාතික යුදෙව් පවුලක සහෝදරයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා තමන්ගෙ දෙමව්පියන් සමග පවුලේ අවන්හලේ රැකියාවල නිරත වෙමින් ඇමරිකාවේ ජීවත් වෙනවා.

යූරි කියන්නෙ කොහොමහරි තමන්ගෙ අරමුණට ළඟා වෙන පුද්ගලයෙක්. ඒ වගේමයි ඔහුට ඉතා හොඳ බුද්ධියක් තියෙනවා. ඔහු බොහොම වගකීම් සහගතයි. විටාලි ඊට වඩා ගොඩක් වෙනස්. යූරි වගේම බුද්ධිමත් වුණත් විටාලි තරමක් කෙළිලොල්. ඔහු නිදහස, මනුස්සකම අගයන බොහොම සංවේදී කෙනෙක්.

දවසක් යූරි වෙනත් අවන්හලකට යන වෙලාවෙදි ඔහු දකිනවා රුසියානු පාතාල කල්ලි සාමාජිකයෙක් තමන්ගෙ AK-47 තුවක්කුවෙන් දාමරික ඝාතකයන් දෙදෙනෙක්ව ඝාතනය කරනවා. මේ දේ යූරිගෙ හිතට තදින්ම වදිනවා.

ඔහු ආයුධ වෙළඳාමට ඇතුල් වෙන්න හිතන්නෙ මෙතනින්. තමන්ගෙ පළමු ආයුධ අලෙවිය ඔහු සිදුකරන්නෙ තමන් යන ආගමික සිද්ධස්ථානයේ කෙනෙක් හරහා. ඒ පාතාල කල්ලි සාමාජිකයෙක් වෙත sub-machine gun එකක් අලෙවි කරමින්. යූරිට ඒ වෙළඳාම තදින්ම හිතට වදිනවා. ඔහු තේරුම්ගන්නවා ඔහු ඒකට දක්ෂයි කියලා. නමුත් ඔහු ඒක තනියම කරන්න හදන්නෙ නෑ.

යූරි මේ ආයුධ වෙළඳාමට තමන්ගෙ බාල සහෝදරයා විටාලිව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. හැබැයි විටාලිට ඕන වෙන්නෙ පවුලෙ අවන්හලේ කෝකියා විදියට දිගටම වැඩකරන්න මිසක් මිනිස්සුන්ට මරණය ගේන ආයුධ වෙළඳාම කරන්න නෙමෙයි. ඒත් විටාලි කියන්නෙ සහෝදරයා වෙනුවෙන් දිවි පුදන්න වුණත් ලෑස්ති කෙනෙක්. යූරි ඒ සහෝදර බැඳීම මතක් කරලා විටාලිව ආයුධ වෙළඳාමට කැමති කරගන්නවා.

ඔන්න දැන් සහෝදරයන් දෙදෙනා ආයුධ වෙළඳාම පටන් ගන්නවා. මුලින් සුළු පරිමාණයෙන් ආයුධ අලෙවි කරන යූරි හා විටාලි, වෙළඳාමෙ විශාල පියවරක් ඉදිරියට තියන්නෙ 1982 සිදුවුණ ලෙබනන් යුද්ධයත් සමගයි. ඔවුන් දෙදෙනා ලෙබනනයට හා ඊශ්‍රායලයට යන දෙපාර්ශවයටම ආයුධ අලෙවි කරමින් විශාල ලාභයක් ලබනවා. නමුත් විටාලි මෙතනදි දකිනවා ඔවුන් අලෙවි කරන ආයුධවලින් කුඩා දරුවන් ඝාතනයට ලක් වෙන අයුරු. හැබැයි යූරි ඔහුව තවදුරටත් ආයුධ වෙළඳාමට නම්මගන්නවා.

කොහොමහරි යූරිගෙයි විටාලිගෙයි ආයුධ වෙළඳාම ගොඩක් සාර්ථක වෙනවා. සාර්ථකත්වයත් එක්කම ඔවුන් ඉන්ටපෝල් නිළධාරියෙක් වන ජැක් වැලන්ටීන්ගෙ (Ethan Hawke) ඇසට හසුවෙනවා. තමන්ගෙ බුද්ධියත්, විටාලිගෙ භූගෝලය හා ඉතිහාසය යන ක්ෂේත්‍ර සම්බන්ධ දැනුමත් උදවු කරගෙන ජැක්ගෙන් බේරිලා තවදුරටත් ආයුධ අලෙවිය කරන්න යූරි සමත් වෙනවා. හැබැයි ජැක් කියන්නෙ එහෙම ලේසියෙන් අතඅරින කෙනෙක් නෙමෙයි.

දවසක් එක්තරා පාතාල කල්ලි සාමාජිකයෙක්ට ආයුධ අලෙවි කරන්න ගිහින් ඔවුන් ලොකු අර්බුදයකටත් මුහුණ දෙනවා. ඔවුන්ගෙ ගනුදෙනුකරුවා කියනවා සල්ලි දෙන්න බෑ ඒ වෙනුවට කොකේන් මත්ද්‍රව්‍යය දෙන්නම් කියලා. කොහොමහරි ගනුදෙනුකරුවාගෙ තර්ජන නිසා සහෝදරයන් දෙදෙනා එකඟ වෙනවා සල්ලි වෙනුවට මත්ද්‍රව්‍ය ලබාගෙන ඒවා සල්ලිවලට අලෙවි කරන්න. හැබැයි මෙතනදි විටාලි කොකේන් කිලෝ එකක් යූරිගෙන් හොරකම් කරන් පැනලා යනවා. ඒ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම නිසා.

තමන්ගෙ බාල සහෝදරයා පත්වෙලා තියෙන තත්වය ගැන කණගාටු වෙන යූරි ඔහුව සොයාගෙන ගිහිල්ලා ඔහුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කරනවා. එතනින් පස්සෙ යූරි තනිවම වෙළඳාම කරගෙන යන්නෙ විවිධ රජයන්ට ආයුධ අලෙවි කිරීමට එහා යමින් ආයුධ ජාවාරම්කරුවෙකුගේ තත්වයට පත්වෙමින්.

ඔහු අප්‍රිකාවේ ලයිබීරියානු හා සියෙරා ලියොන් අර්බුදවලටත් මැදිහත් වෙනවා. ලයිබීරියානු ඒකාධිපති අන්ඩ්‍රෙ බැප්ටිස්ට් හට ඔහු ආයුධ අලෙවිකරන්නෙ ඒ වෙනුවට දියමන්ති ලබාගනිමින්. ඒ නිකන්ම නිකන් දියමන්ති නෙමෙයි Blood Diamonds. හැබැයි ඉන්ටපෝල් නිලධාරි ජැක් වැලන්ටීන් තවමත් ඔහු පසුපස.

තමන් පසුපස හඹා එන ඉන්ටපෝල් නිලධාරියාත්, අනපේක්ෂිත හැසිරීමක් සහිත රෞද්‍ර ලයිබීරියානු ඒකාධිපතියාත්, යූරි ගැන සැක හිතන ඔහුගේ බිරිඳ ඒවාත් හමුවේ යූරි තමන්ගෙ ආයුධ වෙළඳාම කොහොම කරගෙන යයිද? කොහොමහරි නීතියේ රැහැනෙන් බේරෙන්නත් ඕන. තමන්ගෙ ආදායම හංගන්නත් ඕන. මේ හැමදේටමත් වඩා අන්ඩ්‍රෙ බැප්ටිස්ට්ව බැලන්ස් කරගන්නත් ඕන.

කුතුහලය, ප්‍රචණ්ඩත්වය, සංවේගය කියන හැමදේම මුසුවුණ යූරිගේ කතාව තමයි මේ චිත්‍රපටිය පුරාවටම පෙන්වන්නෙ. ඔබ 2006 දි නිකුත් වුණ Leonardo DiCaprio රඟපාන Blood Diamond චිත්‍රපටිය බලලා තියෙනවා නම් මේ චිත්‍රපටියටත් බොහොම කැමති වෙයි. අප්‍රිකානු අර්බුදය මේ චිත්‍රපට දෙකේම බොහොම සංවේදී විදියට පෙන්නනවා.

☮️ 𝐀𝐧𝐭𝐢-𝐖𝐚𝐫 𝐌𝐨𝐯𝐞𝐦𝐞𝐧𝐭 ☮️

2005 දි නිකුත් වුණ මේ චිත්‍රපටිය තුළ ආයුධ ජාවාරමේ දරුණුකම කොච්චර හොඳින් පෙන්නනවද කිව්වොත් මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානයක් වන Amnesty International ස‍ංවිධානය විසිනුත් මේ චිත්‍රපටිය ඇගයීමට ලක් කරලා තියෙනවා.

යුද්ධයේ දරුණුබව ගැන හොඳටම බලාගන්න මේ චිත්‍රපටියෙ ආරම්භක දර්ශනයත් හොඳටම ඇති. ආරම්භක දර්ශනය බොහොම සුවිශේෂ දර්ශනයක්. උණ්ඩයක් නිෂ්පාදනයේ සිට යුධ කලාපයක වෙසෙන කුඩා දරුවෙකුගේ හිස තුළට ඇතුල් වන මොහොත දක්වා වන සිදුවීම් උණ්ඩයේ කෝණයෙන් (PoV) පෙන්වනවා.

ආරම්භය විතරක් නෙමෙයි චිත්‍රපටියේ අවසානයත් බොහොම සංවේදියි. චිත්‍රපටිය තුළ බොහෝම ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් පෙන්වනවා. නිකමට හිතන්න. යුද්ධයක් ඉවර වුණාම ඒ යුද්ධය වෙනුවෙන් ඒ රටට ගෙනාව තුවක්කු, යුධ ටැංකි, වෙනත් විශාල උපකරණවලට මොනවා වෙනවා ඇතිද?

යුධ ටැංකි එහෙම ආයි අරන් යන්නත් ලොකු වියදමක් යනවනෙ. සමහර ආයුධ හොයාගන්නත් බැරි වෙනවනෙ. චිත්‍රපටියට අනුව නම් මේ ආයුධ නවතින්නෙ ජාවාරම්කරුවන්ගෙ අතේ. ඔවුන් ඒ ආයුධ ඊට පස්සෙ වෙනත් යුද්ධවලට හෝ කෝලාහලවලට අලෙවි කරනවා. චිත්‍රපටියේ අපිට පෙන්වන විදියට නම් ඒ දේවල්වලට බලයලයත් නිලධාරීන්ද සම්බන්ධයි. ඔවුන් මුදල් ලබාගෙන මේ ආයුධ ජාවාරම්කරුවන්ට විකුණනවා.

ඒ විතරක් නෙමෙයි. නීතිය හොඳින් යූරි වගේ කෙනෙක්ට බොහොම ලේසියෙන් නීතියේ රැහැනින් ගැලවෙන්න ක්‍රමත් හොයාගන්න පුලුවන්. ඒත් අවසානයේ නොසිතූ විදියට තමන් කළ දේවල් තමන්ව හඹා එනවා. ඒක අනිවාර්යයි.

🔥 𝐓𝐡𝐞 𝐋𝐞𝐠𝐚𝐜𝐲 🔥

යූරි උත්සාහ කරන්නෙ තමන් දක්ෂ ආයුධ වෙළඳාම අති සාර්ථක විදියට කරගෙන යන්න. තමන්ගෙ ආයුධ තමන්ගෙ ගනුදෙනුකරුවන් මොන විදියට පාවිච්චි කරනවද කියන එක ඔහුට වැඩක් නෑ. විටාලිට ඕන සදාචාරාත්මක රැකියාවක් කරගෙන නිදහසේ ජීවත් වෙන්න. නමුත් ඔහුගේ දක්ෂතාවයත් සහෝදරකමත් නිසා ඔහුගේ ජීවිතය සුන්දර වන්නේ නෑ. ජැක් වැලන්ටීන්ට ඕන එක තුවක්කුවක් හරි අල්ලලා එක ජීවිතයක් හරි බේරගන්න. නමුත් සමහර වෙලාවට නීතියම ඔහුට බාධාවක්.

ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම Lord of War කියන්නෙ ලෝක ඉතිහාසයත්, භූ දේශපාලනික අර්බුදත් අතරේ යුද්ධයෙන් ලාභ හා වාසි ලබන පුද්ගලයන් ගැන පෙන්වන චිත්‍රපටියක්. චිත්‍රපටියේ ආරම්භයේ දී යූරි මෙහෙම කියනවා.

"මිලියන 550කට වඩා ආයුධ ලෝකයේ සංසරණය වෙනවා. ඒ කියන්නෙ හැම දොළොස් දෙනෙක්ගෙන්ම එක්කෙනෙක්ට එක ගානෙ. එකම ප්‍රශ්නෙ තමයි, අපි කොහොමද අනිත් එකොළොස් දෙනාටත් ආයුධ දෙන්නෙ?"

අනිත් එකොළොස් දෙනාට ආයුධ දෙන්න පුලුවන් අර්බුදයක් ඇති කිරීමෙන්. අනිත් එකොළොස් දෙනාට ආයුධ දීමෙන් වාසි ලබන්නෙ මේ ආයුධ ජාවාරම්කරුවන් හා ආයුධ අලෙවිකරුවන්. යූරි වගේම ඔවුන් තමන්ගෙ දරුවන්ට සෙල්ලම් තුවක්කුවක්වත් දෙන්නෙ නෑ. නමුත් ඔවුන්ගෙ තුවක්කුවලින් අසරණ දරුවන් මිය යනවා.

Lord of War චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා Andrew Niccol. චිත්‍රපටිය සඳහා ඇත්ත AK-47 තුවක්කු, ඇත්ත යුධ ටැංකි වැනි ඇත්ත ආයුධ දහස් ගාණක් යොදාගෙන තියෙනවා. චිත්‍රපටියේ බජට් එක ඩොලර් මිලියන 50ක්. ධාවන කාලය පැය 2ක්. යූරි හා අන්ඩ්‍රෙ බැප්ටිස්ට් යන චරිත ගොඩනගා තියෙන්නෙ ඇත්ත ආයුධ ජාවාරම්කරුවෙකුගේ හා හිටපු ලයිබීරියානු ඒකාධිපතියෙකු ඇසුරින්.

කොහොම වුණත් චිත්‍රපටියේ Nicolas Cage ගේ චරිතය වන යූරිගේ චරිතය ගොඩනැගී ඇති ආකාරය ගැන විචාරකයන් නම් දරන්නේ එතරම් හොඳ මතයන් නෙමෙයි. නමුත් චිත්‍රපටිය තුළ Nicolas Cage, Ethan Hawke ගේ හා Jared Leto ගේ රංගනය කැපී පෙනෙනවා. යූරි දිහා බලද්දි මේ ඉන්නෙ Nicolas Cage කියලා හිතෙන්නෙ නෑ. විටාලිගෙන් ඇස් ඉවතට ගන්න හිතෙන්නෙ නැති විදියට Jared Leto ඒ චරිතය රඟපානවා.

මිනිස් යුධ ඉතිහාසයත් වර්තමාන ලෝක දේශපාලනික තත්වයත් ගැන නැවත හිතන්න පුරුදු කරන Lord of War චිත්‍රපටියේ සුවිශේෂීම දර්ශනය තමයි යූරි විසින් විටාලිව ආයුධ වෙළඳාමට පොළඹවාගන්න උත්සාහ කිරීමට පෙර අවන්හල තුළදී ඔවුන්ගේ ස‍ංවාදය.

🎬 𝐓𝐡𝐞 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 𝐒𝐜𝐞𝐧𝐞 🎬

විටාලි තමයි අවන්හලේ කෝකියා. ඔහු අවන්හලේ මුළුතැන්ගේ බිත්තියේ බෝඩ් එකක් ගහලා තියෙනවා "Beware of the Dog" හෙවත් "සුනඛයාගෙන් ප්‍රවේශම් වන්න" කියලා. නමුත් ඔහුට සුනඛ සුරතලෙක් නෑ. යූරි මේ ගැන ප්‍රශ්න කරනවා.

යූරි : "බල්ලාගෙන් ප්‍රවේශම් වන්න". ඔයාට බල්ලෙක් නෑනෙ. මිනිස්සුන්ව බය කරන්නද හදන්නෙ?

විටාලි : නෑ මාව බයකරන්නයි ඒක ගැහුවෙ. මගේ ඇතුළෙ ඉන්න බල්ලා ගැන අවධානයෙන් ඉන්න මතක් කරන්නයි. හැමදේම විනාස කරලා, දුර්වල බල්ලන් එක්ක සටන් කරලා උන්ව ඝාතනය කරන්න අවශ්‍ය බල්ලා ගැන. මං හිතන්නෙ මගේ මනුස්සකම මතක් කරන්නයි ඒක ගැහුවෙ.

💡 මේ සංවාදයෙන් ලෝකයට ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි මිනිස්සු තමන් තුළ ඉන්න යක්ෂයාව මැඩපවත්වාගන්නා තාක් කල් ලෝකයේ යුද්ධ ඇතිවෙන්නෙ නෑ. චිත්‍රපටිය අවසානයේදි හිතෙයි යූරි කියන්නෙ යක්ෂයෙක් කියලා. හැබැයි යූරිගේ ආයුධ අරගෙන හැමදේම විනාස කරලා දාන අය ඊට වඩා යක්ෂයන්.