ජේසුතුමා ඉපදුනේ දෙසැම්බර් 25 ද?

by Afi Aiza, Pasindu Herath

ජේසුතුමා ඉපදුනේ දෙසැම්බර් 25 ද?

Share

අද නත්තල් දවසේ Sri COM at 7 සෙග්මන්ට් එකෙන් අපි කතා කරන්න යන්නේ මේ ගැන. දෙසැම්බර් 25 කියපු ගමන් අපිට ක්ෂණික ව මතක් වෙන්නේ නත්තල කියන එක ගැන කියන එකේ නම් ආයෙ කිසිම විවාදයක් නෑ. ඒ ඉතින් දෙසැම්බර් 25 තමන්ගෙ උපන්දිනේ තිබුනොතින් හැර! ඒත්, දෙසැම්බර් 25 කියන්නේ නත්තල් දවස කියන එක ලෝකය පුරාම එකම විදිහකට ප්‍රසිද්ධව පිළිගැනෙන වගේම සමරන උත්සවයක්. අනිත් රටවල් වල වගේ හිමපතනයක් නැති උනත් දෙසැම්බර් මාසෙ කියන්නේ අපේ රටෙත් සරලවම නත්තල් මාසය නෙ. මේ කාලේ වෙද්දි ඕනම තැනක නත්තල් ගහක් දකින එක නම් නොවරදින සිරිතක්. ඒත් එක්කම ලස්සන සැරසිලි එහෙම දකින්න පුළුවන්. නත්තල් සැරසිලි ගත්තොත් නත්තල් ගහ වගේම හැමතැනම බහුලව දකින්න පුළුවන් සැරසිල්ලක් තමයි ජේසු තුමා උපත ලැබූ ගව මඩුව. මේ හැමදේමත් එක්ක මේ සැමරුම් කාලෙට ප්‍රධාන හේතුව මොනවද කියලා අපි දන්නවා නෙ. ඒ තමයි ජේසු තුමාගේ උපත සිදු උන දවස - දෙසැම්බර් 25. නත්තල් දිනය සුවිශේෂී වෙන්නේ ලෝකයට එළියක් ගෙනැවිත් දුන්නු ජේසු තුමාගේ උපත සැමරීම නිසාවෙන්. ඒත් මම කිව්වොත් ජේසුතුමා ඉපදුනේ දෙසැම්බර් නෙමේ අප්‍රේල් මාසයේ කියලා?☃️ මුලින් ම මම මේක කියලා ඉන්නම්. මේ ලිපිය පළ කරන්නේ මම කියවපු සහ අන්තර්ජාලයේදි දැකපු කියවපු තොරතුරු. ඒ නිසා වැරදි තියෙන්න පුළුවන්. එහෙම නම් කරුණාකරලා පෙන්වලා දෙන්න. ජේසු තුමා සහ ඔහුගේ උපන්දිනය ක්‍රිස්තු වර්ෂ ගණනය කෙරෙන්නේ ජේසු තුමා උපත ලැබූ වර්ෂයේ පටන් නේ. ඒ කියන්නේ ජේසු තුමා උපත ලබන්නේ ක්‍රි.ව.1. ඒත් ඇත්තටම ජේසු තුමාගෙ උපත සිදු උනු උනේ ක්‍රි.පූ. 4 දී බව දන්නවාද? මේකට හේතුව, ජේසුගේ උපතට සමගාමීව දින දර්ශකය පවත්වාගෙන ගිය පූජකවරයාගේ අතින් සිදු උනු පොඩි අත් වැරදීමක්. ඔහු දින සඳහන් කරගැනීමේදී වසර 4ක් මඟහැරෙනවා. ඒ නිසා ජේසු තුමාගෙ උපත සිදු වෙන්නේ ක්‍රි.ව. 1 නෙමේ ක්‍රි.පූ. 4දී. ක්‍රි.පූ 4 කවදද? ජෙසු තුමා කූරුසයේ ඇණ ගැසු දවස අපි හරියටම දැනගෙන හිටියත් ඉපදුන දවස ගැන කොතනකවත් සඳහනක් නැහැ. ඒත් ඒ ගැන ශුද්ධ වූ බයිබලයේ සහ තවත් තැන් වල සඳහන් වෙන කරුණු කිහිපයක් සලකා බලලා අපිට එක නිගමනයකට එන්න පුළුවන්. ඒ තමයි ජේසු තුමා උපත ලබන්නේ දෙසැම්බර් මාසයේ නොවන වග. දෙසැම්බර් මාසයේ නත්තල සමරන්නේ ඇයි? අපි නත්තල් දිනය සමරන්නේ ජේසුස් ගෙ උපත සමරන්න නේ. ඔහු ඉපදුනේ දෙසැම්බර් 25 නෙමේ නම් අපි ඇයි මේ දෙසැම්බර් මාසේ නත්තල් සිරි අසිරියෙන් පුරවන්නේ? ජේසුස් ගෙ උපත දෙසම්බර් වල යෙදුනත් නැතත් දෙසැම්බර් කියන්නේ ලෝකෙ පුරාම ශීත සෘතුව පටන් ගන්න කාලේ. ලංකාව වගේ තව රටවල් අතලොස්සක් හැර බහුතරයක් රටවල් හිමෙන් වැහිලා යන කාලෙ. ඒ වගේම ශීත නිවෘත්තිය (Winter Solstice) යෙදෙන්නේත් දෙසැම්බර් මාසයේ 20 - 23 වන දිනයන් අතරතුර. දෙසැම්බර් 25 කියන්නේ අතීතයේ පටන් සමරනු ලැබූ පේගන් (pagan) ඇදහිලිකරුවන්ගේ උත්සව දිනයක්. පේගන් ඇදහිලි ක්‍රමයන්ට අනුව සූර්යයාගේ උපත සැමරීම වෙනුවෙන් උත්සව පැවැත්වෙන්නේ දෙසැම්බර් 25 වන දා. එකල ක්‍රිස්තියානි ධර්මදූතයන් (missionaries) මේ උත්සව දිනය ක්‍රිස්තියානි නිවාඩු දිනයක් ලෙස පතුරවන චේතනාවෙන් දෙසැම්බර් 25 “දෙවියන්ගේ පුත්‍රයා උපත ලැබූ” දිනය ලෙස හැඳින්වූවා. එදා ඉඳන් කාලයත් සමග ජේසුතුමාගේ උපන්දිනය දෙසැමබර් මස 25 වන දින ලෙස සැලකෙනවා. ජේසුතුමා ඉපදුනේ අප්‍රේල් ද? ජේසු තුමා ඉපදුනේ දෙසැම්බර් නෙමේ කියලා කිව්වට හරියටම ඉපදුනේ කවදද කියන ප්‍රශ්නයට නම් නියත පිළිතුරක් නැහැ. නමුත් විද්වතුන් අතර පිළිගැනෙන අදහසක් තමයි ඔහු ඉපදුනේ ක්‍රි.පූ 4 දී අප්‍රේල් සහ සැප්තැම්බර් මාස අතරතුර වග. ඊට හේතු කිහිපයක් ම තියෙනවා. ජේසු තුමා ඉපදුනු රාත්‍රිය සහ එම ස්ථානය අසල බැටළුවන් සහ එඬේරුන් බහුලව සිටි බවට අපි දන්න කරුණක්. එඬේරුන් “තම රංචුව රැය පුරා රකිමින්” (ලූක් 2:8) සිටි බවට සඳහන් වීම නිසා, ඉතිහාසඥයන් පවසන්නේ එය වසන්ත කාලයේ කුඩා බැටළුවන් උපත ලබන කාලය (spring lambing කාලය) වන්නට ඇති බවයි. ඊට හේතුව මේ කාලයේදී රාත්‍රියන් සුන්දරබවක් ගන්නා අතර එඬේරුන් රාත්‍රී කාලයන් වලදී අවදි වී ඔවුන්ගේ බැටළු රංචුවන්ගේ ආරක්ශාව සඳහා පැල් රැකීම ද බහුලව දැකගන්න පුළුවන්වීමයි. මේ Spring Lambing කාලය සාමාන්‍යයෙන් යෙදෙන්නේ අප්‍රේල් මාසයේදියි. ක්‍රි.ව 243 දී පල්ලිය විසින් De Pascha Computus යනුවෙන් හැඳින්වූ නිල “උත්සව දින දර්ශකයක්” එළි දැක්වූවා. එහිදී ක්‍රිස්තූන් වහන්සේගේ උපත ලෙස සඳහන් කර තිබුනේ අප්‍රේල් 2වන දායි. අතීතයේ ක්‍රිස්තියානි පල්ලිවල ද ජේසුස් ගේ උපත සමරනු ලැබුවේ අප්‍රේල් මාසයේ බව සඳහන් වෙනවා. The Reese Chronological Bibleහි කතුවරයන් වූ Edward Reese සහ Frank Klassen නම් ඉතිහාසඥයන්ට අනුව, අප්‍රේල් 1වන දා යෙදී ඇති April Fools Day හි සම්භවය සිදු උනේද ජේසුස් වහන්සේගේ උපත සිදුවීමෙනි. මුල් ක්‍රිස්තියානුවන් යුදෙව් සහ ග්‍රීක පුද්ගලයන් අතර නිරතුරුව සමච්චලයට ලක් වුනු අතර එම නිසා ක්‍රිස්තියානි පුද්ගලයන් ට අපහාස කිරීම සඳහා ක්‍රිස්තූන් වහන්සේගේ උපත යෙදී තිබුනු අප්‍රේල් 1වන දින “අඥානයන්ගේ දිනය” ලෙස ඔවුන් හැඳින්වූ බව පැවසෙනවා. ඉතින් මේ කරුණු සලකලා බැලුවොත් වගේම ඉතිහාසයේ හුඟක් තැන් වල ලැබෙන කරුණු අධ්‍යයනය කරලා බලද්දි තේරෙන දෙයක් තමයි ජේසුස්ගේ උපත අප්‍රේල් මාසයේ සිදු උනාද නැද්ද යන්න පැහැදිලි නැතත්, දෙසැම්බර් මාසයේ සිදු වෙන්න කිසිම ඉඩක් නැති බව. ඒත් සංස්කෘතික වශයෙන් මුලු ලෝකෙම නත්තල් සමරන්න තෝරගෙන තියෙන්නෙ දෙසැම්බර් 25. ඉතින් ඉතිහාසයෙන් දැනුම ලබාගන්න ගමන් ම සුභම සුභ නත්තලක් සමරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Wish you a Safe and Merry Christmas all! තොරතුරු: අන්තර්ජාලය J. I. Packer, Merrill C. Tenny and William White, Jr., The World of the New Testament. Paul Lee Tan, Encyclopedia of 7,700 Illustrations පළමු ලිපිය අවසන් දෙවන ලිපිය පහතින් ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️ දෙවන ලිපිය ජේසුස් ක්‍රිස්තුස් ඇත්තටම උපන්නේ වර්ෂ 0000' දෙසැම්බර් 25ද ? අද ව්‍යවහාරික ක්‍රිස්තු වර්ෂයෙන් 2023 දෙසැම්බර් 25 දිනය. ලෝකය පුරා කතෝලික,ක්‍රිස්තියානු බැතිමතුන් නත්තල් සමරන දිනය. ව්‍යවහාරික වර්ෂය හැදිලා තියෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් ඉපදුණාට පසුව සහ පෙර කියන කාලය වෙන් කරලා. මුලින්ම ඒක පොඩ්ඩක් බලමු. ජේසුස් ක්‍රිස්තුස් ඉපදෙන්න පෙර වසරවල් හඳුන්වන්නේ ක්‍රිස්තු පූර්ව (ක්‍රි.පූ) කියලා. (B.C - Before Christ) ජේසුස් ක්‍රිස්තුස් ඉපදුනට පසු වසරවල් හඳුන්වන්නේ ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව) කියලා. (A.D - Anno Domini)ලතින් බසින් Anno Domini කියන්නේ "Year of our Lord" කියන ඉංග්‍රීසි අදහස. එහෙම බැලුවොත් මේ කාල පරාස දෙකේ මධ්‍ය ලක්ෂය තමයි ජේසුස්ගේ උපත. එතකොට ජේසුස් ඉපදිලා තියෙන්නේ ඕන ව්‍යවහාර වර්ෂ 0000 දී. හැබැයි අපි කාලය ගණන් කරද්දී සංඛ්‍යා රේඛාවක වගේ ගණන් කරන්නේ නෑ. ඒ නිසා වර්ෂ 0000 කියලා වසරක් නෑ. සරලවම ක්‍රිස්තු පූර්ව 1 ට පස්සේ එන අවුරුද්ද 00 වෙන්නේ නෑ.ක්‍රිස්තු පූර්ව 1 ට පස්සේ එන අවුරුද්ද හඳුන්වන්නේ ක්‍රිස්තු වර්ෂ 1 වසර කියලා. ආගමික අදහසක් වශයෙන් ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ කියලා හඳුන්වන වර්ෂ ක්‍රමයේදී ආගමික ගතිය අවම කරන්න වර්තමානයේ භාවිතා කරන්නේ "Before Common Era"( B.C.E) සහ "Common Era"(C.E) කියන වදන් දෙක. මෙතනදි B.C.E සමාන වෙන්නේ B.C වලට සහ C.E සමාන වෙන්නේ A.D. හරියටම බැලුවොත් සමාන නෑ. ✝️ඇත්තම කතාව ජේසු උපන් වර්ෂය හරියටම නොදැන අපට ක්‍රිස්තු වර්ෂ හෝ ක්‍රිස්තු පූර්ව කියලා කාලය ගණන් කරන්න යොදාගන්න බෑ. ඒ නිසා තමයි වඩාත් යෝග්‍ය BCE සහ CE යොදාගන්නෙ. ඇත්තටම ඔතන තියන අවුල වෙන්නේ අපි භාවිතා කරන ක්‍රිස්තු වර්ෂයෙන් 2023 වසර කියන්නේ සත්‍ය වශයෙන්ම ජේසුස් ක්‍රිස්තුස් ඉපදිලා හරියටම අවුරුදු 2023 ක් ගිය වසර නෙමෙයි. එතකොට ක්‍රිස්තු වර්ෂ කියලා ගැනීම වැරදියි. ඒ නිසා තමයි Before Common Era සහ Common Era කියලා ගන්නේ. C.E නැතිනම් Common Era කියන වදන 1615 වගේ කාලයක ජොහැන්නස් කෙප්ලර් පවා භාවිතා කරලා තියෙනවා.එතනදි භාවිතා වෙලා තියෙන වචනය වෙන්නේ "Vulgur Era" වදන. කොහොම වුණත් අපිත් මේ සඳහා B.C.E සහ C.E යොදාගමූ. 44 BCE වසර (ක්‍රි. පූ 44 ඔබේ පහසුව තකා) කියන්නේ රෝම අධිරාජ්‍යය පාලනය කළ ජෙනරාල් ජුලියස් සීසර්ව ඝාතනය කළ වසර. ඉන් පසු රෝම අධිරාජ්‍යයේ පාලනය නැවතත් තුන් කට්ටුවක් යටතට පත් වෙනවා.(ජුලියස් සීසර් හා රෝමය ගැන මීට කලින් පෝස්ට් එකක් දාලා තියෙනවා) ජුලියස් සීසර් හදාගත්තු පුත්‍රයා තමයි ඔක්ටේවියන්. ඔක්ටේවියන් 27 BCE වසරේදී ඔගස්ටස් සීසර් නමින් රෝමයේ පළමු අධිරාජ්‍යයා බවට පත් වෙනවා. ඔහු වසර 37 ක් පාලනය කරනවා. 14 CE වසරේදී ඔගස්ටස්ගේ මියගිය පසු ඔහුගේ හදාගත්තු පුතු ටයිබිරියස් රෝම අධිරාජ්‍යයේ පාලකයා බවට පත් වෙනවා. මේ වෙනකොට ටයිම් ලයින් එක BCE ඉඳල CE වලට මාරුවෙලා කියලා තේරෙනවා ඇති. බෙත්ලෙහෙම් නගරය ඇතුළත් ජුඩියා කලාපයේ පාලනය ලබාගන්න 37 BCE වලදී හෙරඩ් රජුට හැකිවෙනවා. හෙරඩ් රජු මියයන්නේ 4 BCE වසරේදී. එතකොට රෝමයේ අධිරාජ්‍යය ඔගස්ටස් සීසර්. (මං මෙතන හෙරඩ් රජු පාතියන්වරුන්ට බියෙන් පැනලා ඇවිත් පස්සේ ජුඩියාවල හයිකැනස් එලවලා ජුඩියා වල බලය ලබාගන්න විදිය ගැන කියන්න යන්නේ නෑ මේක අනවශ්‍ය ලෙස සංකීර්ණ වෙන නිසා) "Gospels of Mathew" සහ "Gospels of Luke" ග්‍රන්ථ වල ජේසුස් ක්‍රිස්තුස් උපත ගැන මෙහෙම තියෙනවා. මැතිව් 2 වන පරිච්ඡේදය:- "...Now when Jesus was born in Bethlehem of Judea in the days of Herod the king, behold, wise men from the East came to Jerusalem..." මෙතන කියන්නේ හෙරඩ් රජුගේ පාලන කාලය තුළ ජේසුස් උපත ලැබූ බව. ඒක සත්‍ය නම් ජේසුස් උපත ලබන්නේ ව්‍යවහාරික වර්ෂ 1 දී නෙමෙයි. මොකද හෙරඩ් රජු මියයන්නේත් 4 BCE වසරේදී. Gospels of Mathew වල පැහැදිලිව කියනවා ජේසුස් උපත ලබන්නේ හෙරඩ් රජුගේ පාලන කාලය තුළ කියලා. ඒ අනුව ජේසුස් උපත ලැබුවේ අපි දැන් හිතනවට වඩා වර්ෂ 4 කට කලින් විය යුතුයි. අපි තව ඉස්සරහට යමූ. Gospels of Mathew වල 2 වන පරිච්ඡේදයේ මැද හරියේදී මෙහෙම තියෙනවා. "...Then Herod, when he saw that he had been tricked by the wise men, was in a furious rage, and he sent and killed all the male children in Bethlehem and in all that region who were two years old or under, according to the time which he had ascertained from the wise men.." මෙතන සිද්දිය මෙහෙමයි. සාමාන්‍ය අදහස නම් ජේසු ඉපදෙනකොට රජුන්/ඥානවන්ත මිනිසුන් 3 ක් ඇවිල්ලා තියෙනවා කියල.ඔවුන් හෙරඩ් රජුට පවසනවා බෙත්ලෙහෙමේ අනාගතය ඉපදිලා තියෙන්නේ කියලා. මේක හෙරඩ් රජු දකින්නේ ඔහුගේ අනාගත පාලනයට තර්ජනයක් විදියට. ඒ නිසයි ඔහු බෙත්ලෙහෙම් නගරයේ වයස අවුරුදු 2 කට අඩු සියලු පිරිමි දරුවන් ඝාතනය කරන්න කියන්නේ. මේ සිද්ධියෙන් පසු හෙරඩ් රජු මිය යනවා. එහෙම නම් ජේසුස් උපත ලබන විය සත්‍ය වශයෙන්ම රජුන් හෝ නුවණැති පුද්ගලයෝ ඔහුව බලන්න ඇවිත් නෑ. එහෙම ඇවිත් තියෙන්නේ ජේසු ඉපදිලා යම් කාලයක් ගියාට පසුවයි.මොකද ඒ ආපු මිනිසුන් හෙරඩ් රජුට ජේසු උපත ලැබූ කාලයේම ඔය කතාව කිව්වා නම් හෙරඩ් රජු අවුරුදු 2 ට අඩු පිරිමි දරුවන් ඝාතනය කරන්න කියන්නේ නෑ. ඒ කියන්නේ දළ වශයෙන් ජේසු උපතෙන් වසර 2 ට වගේ පස්සේ තමයි ඔය කියන මිනිසුන් ඇවිල්ලා තියෙන්නේ ජේසුව බලන්න.මෙතන නුවණැති මිනිසුන් කිව්වට මේගොල්ලො වංශවත් පාලකයන් සේ සැලකීම යෝග්‍යයි. අවුරුදු 2 ට අඩු දරුවන් ඝාතනය කරන්න කියලා නියෝග ලැබුණාට පසුව ජේසුස්ව අරගෙන මරියා සහ ජෝසප් ඊජිප්තුවට පලා යනවා. මේ අනුව අපට එන්න පුළුවන් නිගමනය තමයි ජේසුස් ඉපදිලා තියෙන්නේ තවත් වසර 2 කට කලින් කියලා. ඒ කියන්නේ ජේසුස් උපත සිදු වෙලා තියෙන්නේ 6 BCE සහ 4 BCE කාලය ඇතුලත. හැබැයි Gospels of Luke ග්‍රන්ථය අනුව මේ කාලය වෙනස්. Luke 2 වන පරිච්ඡේදය .. "...In those days Caesar Augustus issued a decree that a census should be taken of the entire Roman world. (This was the first census that took place while Quirinius was governor of Syria.) And everyone went to their own town to register. So Joseph also went up from the town of Nazareth in Galilee to Judea, to Bethlehem the town of David, because he belonged to the house and line of David..." ඔගස්ටස් සීසර්ගේ කාලයේ පළමු වරට සංගණනයක් පවත්නව.මේකේ කියන්නේ ඒ නිසා ජෝසප් බෙත්ලෙහෙම් නගරයට යන අතරතුර මරියට පුත්‍රයෙක් ඉපදුන බව. මේකේ පැහැදිලිව කියනවා මේ සංගණනය කරද්දී සිරියාවේ රෝම ආණ්ඩුකාරවරය විදියට කටයුතු කරන්නේ ක්යුරිනියස් කියලා. ක්යුරිනියස්ගේ ආණ්ඩුකාර තැන විදියට ඉද්දී සංගණනය පවත්වන්නේ 6 CE වසරේදී. මෙතන BCE නෙමේ CE. ඒ කියන්නේ ව්‍යවහාරික වර්ෂ්වලින් වසර 6 කට පස්සේ තමයි ජේසු ඉපදිලා තියෙන්නේ. Gospels of Luke සහ Gospels of Mathew ජේසු උපත ගැන කියන කාල රාමු දෙකම පරස්පරයි. ✝️Mathew :- ජේසු ඉපදෙන්නේ 6 - 4 BCE අතර කාලයේ.( තේරෙන්න කියනවා නම් ජේසු ඉපදුන කියලා අපි හිතන් ඉන්න වසරට පෙර වසර 6-4 ත් අතර කාලයක) ✝️Luke:- ජේසු ඉපදෙන්නේ 6 CE වසරේ.( තේරෙන්න කියනවා නම් ජේසු ඉපදෙන්නේ ජේසු ඉපදුන කියලා අපි හිතන් ඉන්න වසරට වඩා තවත් වසර 6 ක් පහු වුණාට පස්සේ. මේ පොත් දෙකේ කාල රාමු දෙකම වෙනස්. හැබැයි එකක් පැහැදිලි. ජේසු ඉපදුනේ ව්‍යවහරික වර්ෂ 0000 නෙමෙයි කියන එක. විද්වතුන් නම් කියන්නේ මේ Gospels වල මූලිකව තියෙන්නේ ජේසු උපතේ කාල සීමාවට වඩා ඒ හා සම්බන්ධ ආගමික අදහස් පිළිබඳ නිසා කාලය ගැන මෙවැනි පරස්පර අදහස් තියෙන්න පුළුවන් කියන එක. ඇයි දෙසැම්බර් 25 ජේසු උපත ලැබූ දිනය ලෙස සලකන්නේ ? ................................................ මේකටත් නිශ්චිත අදහසක් නෑ. එකක් තමයි රෝම යුගයේ තිබුණු Saturnalia කියන සෙනසුරු දෙවියන් වඳින පේගන් උත්සවය වෙනුවට ක්‍රිස්තියානු ඔවුන්ගේ උත්සවයක් ලෙස යොදාගත්ත කියලා. මේ උත්සවය ජුලියන් කැලැන්ඩරයට අනුව යෙදිලා තියෙන්නේ දෙසැම්බර් 17 ත් 23 ත් අතර කාලයේ. ජුලියන් කැලැන්ඩරය අනුව Winter Solstice යෙදිලා තියෙන්නේ දෙසැම්බර් 25.නමුත් මේක අද භාවිතා සම්මත ග්‍රෙගෝරියානු කැලැන්ඩරය අනුව දෙසැම්බර් 21 වැනිදා. අනිත් එක තමයි මාකස් ඔරෙලියස් 274 CE කලායේ පටන් රෝම කැලැන්ඩරය අනුව Winter Solstice උදාවෙන දෙසැම්බර් 25 පවත්වපු රෝමයේ සූර්ය දෙවියන් නමදින Sol Invictus කියන පෙගන් උස්ත්වය වෙනුවට කතෝලික පිරිස් ජේසු උපත දිනය සමරන්න යොදාගත්ත කියන එක. ඒත් ඇයි දෙසැම්බර් 25 ම ? ............................................. 160-240 BCE කාලයේ ජීවත් වූ රෝම ඉතිහාසඥයෙක් වූ සෙක්ස්ටස් ජුලියස් ඇෆ්‍රිකානස්ට අනුව මාර්තු 25 තමයි ජේසුස් මරියගේ කුසතුල පිළිසිඳ ගන්නේ.එතැන් පටන් මාස 9 ක් ගිය තැන දෙසැම්බර් 25 ද ජේසු උපත ලෙස සලකනවා.හැබැයි මේකට කිසිදු සක්ෂියක් නෑ.මොකද ඒ වෙනකොට ග්‍රෙගෝරියානු කැලැන්ඩරය තිබුණෙත් නෑ අනිත් ජනප්‍රවාදය තමයි යුදෙව්වො සමරන Passover කාලයේ තමයි ජේසුස් මියගියේ කියලා.ජනප්‍රවාදය තමයි ඒවෙනි මිනිසුන් මියයන්නෙත් මව් කුසකට එන්නෙත් එකම දිනයේ නිසා ජේසුස් මියන්නේද මාර්තු මාසයේ බවත්,පිළිසිඳ ගන්නෙත් මාර්තු මාසයේ දිනක බවයි. ඒ දිනය සරත් විශුවය ලබන දිනයි. එතැන් සිට winter solstice දක්වා මාස 9 ක් ගිය තැන දෙසැම්බර් 25 වේ. නමුත් මෙයත් හුදු අදහසක් පමණි.ජේසුස් මියයන්නේ අප්රේල් 6 බවත් විශ්වාසයක් තියෙනවා. තවත් අදහසක් වෙන්නේ 3-4 සියවස් වලදී පේගන් සැමරුම් අඩාළ කරන්න රෝම පල්ලිය විසින් Winter Solstice ලබන දෙසැම්බර් 25 (පේගන් සැමරුම් තියෙන දිනම) කිතු උපත සැමරුවා යන්නයි. වර්ෂ 350 දී පළවෙනි ජුලියස් පාප් විසින් දෙසැම්බර් 25 කිතු උපත බව සිදු බව නිවේදනය කළා කියලා මතයක් ද තියෙනවා. කොහොම වුනත් ඊජිප්තු රුසියා වගේ රටවල ඕතඩොක්ස් පල්ලිය භාවිතා කරන්නේ ජුලියන් කැලැන්ඩරය. ඒ අනුව ඔවුන් අදටත් කිතු උපත සමරන්නේ ජනවාරි 6-7 දිනවල දී. මීට අමතරව අගෝස්තු, සැප්තැම්බර් දිනයන් ගැනත් ජේසු ඉපදුන දිනය ලෙස සලකන තැන් තියෙනවා. කොහොම වුණත් නිශ්චිත පිළිගත් හා තහවුරු වූ දිනයක් නෑ. ජේසුස් ක්‍රිස්තුස් උපත ලැබූ දින වල්ගා තරුවක් ඇත්තටම පැයුව ද ? ........................................ අපට නැවත හෙලිගේ වල්ගා තරුව පේන්නේ දළ වශයෙන් 2061 වසරේදී.අවසන් වරට හෙළිගේ වල්ගාතරුව දකින්න ලැබුණේ 1986 දී. දළ වශයෙන් හෙලීගේ වල්ගා තරුව පෘතුවියට සෑම වසර 76 කට වරක්ම දකින්න පුළුවන්. ඒ අනුව බැලුවොත් වර්ෂ 3CE දී හේලිගේ වල්ගා තරුව දැකගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ජේසු ඉපදුනා කියලා අපි හිතන් ඉන්න වසරට වඩා වසර 3 කට පස්සේ. ඒ වගේම චීන වාර්තා වල තියෙනවා 5 BCE වලදී කැප්‍රිකොනස් රාශිය ආසන්නයෙන් දිගු වල්ගයක් සහිත තාරකාවක් දුටු බව.(Broom Star) නමුත් ඒක ධූමකේතුවක්/ වල්ගා තරුවක් ලෙස ගැනීම වැරදියි. එයත් එතකොට දකින්න ලැබෙන්නේ Gospels of Mathew වල කාලයට අනුරූපව. අනිත් කරුණ තමයි සුපර්නෝවා සංසිද්ධියක් තමයි කිතු උපතදා වෙලා තියෙන්නේ කියන එක.නමුත් ඇසින් දුටු සුපර් නෝවා සංසිද්ධියක් පළමු වරට වාර්තා වෙලා තියෙන්නේ ව්‍යවහාර වර්ෂ 185 දී.ඒත් චීන තාරකා විද්‍යාඥයන් විසින්. සුපර් නෝවා කියන්නේ තාරකාවක් පුපුරා යෑමක්. ඒ අනුව එදා වෙලා තියෙන්නේ සුපර් නෝවා එකක් නොවන බව පැහැදිලි. මොකද චීන තාරකා විද්‍යාඥයන් මේ ගැන දැන නොසිටින්න බෑ. ඒ වගේම චීන තාරකා විද්‍යාඥයන්යාඥයන් එකල උල්කාපාත නිසා සිදු වූ මරණ ගැනත් වාර්තා කරලා තියෙනවා. අනිත් අදහස තමයි ඉතා දුර්ලභ ලෙස සිදුවන බ්‍රහස්පති සහ සෙනසුරුගේ එක් ළඟින් පිහිටන ආකාරය පියැවී ඇසට දකින්න පුළුවන් වීම තරුවක් ලෙස දකින්න ඇති කියන එක. ව්‍යවහාර වර්ෂයෙන් 7BC වලදී බ්‍රහස්පති සහ සෙනසුරු එකම කුම්භ රාශිය මුල් කරගෙන 7 BC වසරේ තුන් වරක් මැයි 29, සැප්තැම්බර් 30 සහ දෙසැම්බර් 25 එකට මුණගැසේ තිබෙනව.සරලව කිව්වේ මේක. (මේකට කියන්නේ Conjunction එකක් කියලා) මේ කාලය Gospels of Mathew වල කාලයට සමානයි. එහෙම නම් එදා වෙලා තියෙන්නේ මේ බ්‍රහස්පති සහ සෙනසුරුගේ Great Conjunction එක තරුවක් විදියට දැකපු එක. අවුරුදු 800 කට පස්සේ ඒවෙනී දුර්ලභ පිහිටීමක් 2020 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවුණ. සාමාන්‍යයෙන් එවැනි දුර්ලභ දෙයක් වසර 764 වරක් සිදුවන බව තමයි වාර්තා අනුව පෙනී යන්නේ. සාරාංශය :- ✝️ජේසුස් ක්‍රිස්තුස් ඉපදුනේ වසර 0000 නෙමේ ✝️ජේසුස් ක්‍රිස්තුස් ඉපදුනේ ව්‍යවහාර වර්ෂ වලින් 6 BCE ට පසු සහ 4 BCE පෙර වසරවල අතර මැද (Gospels of Mathew අනුව) {තේරෙන සිංහලෙන් කිව්වොත් ක්‍රිස්තු පූර්ව 6-4 ත් අතර කාලයේ) ✝️ජේසුස් ක්‍රිස්තුස් ඉපදුනේ ව්‍යවහාර වර්ෂ 6 CE වසරේ (Gospels of Luke සහ රෝම ආණ්ඩුකාර Quirinus සිරියාව පාලනය කළ කාලය අනුව) (තේරෙන සිංහලෙන් කිව්වොත් ක්‍රිස්තු වර්ෂ 6 වසරේ) (🤚 ඔය දෙකට ක්‍රි. පූ හෝ ක්‍රි.ව යොදන්න බෑ ඉපදිලා නැති නිසා ඒ වෙනකොටත්.ඔබේ පහසුව තකා වරහන් තුල දැම්මා) ✝️ජේසුස් ක්‍රිස්තුස් ඉපදුන දින පැයුවේ වල්ගාතරුවක් හෝ අමුතු තාරකාවක් නොව, සෙනසුරු සහ බ්‍රහස්පතිගේ Great Conjunction එකක් වීමට වැඩි ප්‍රතිශතයක් තිබෙන බව. ✝️දෙසැම්බර් 25 කිතු උපත සමරන්න යෙදීම ගැන කිසිදු නිශ්චිත සාක්ෂියක් නෑ. බයිබලය ද ඒ ගැන නිහඬයි. ✝️දෙසැම්බර් 25 කිතු සැමරීම යොදන්න ඇත්තේ 3-4 සියවස් වල රෝමයේ තිබුණු පේගන් උත්සව වලට ආදේශකයක් ලෙස Winter Solstice උදා වූ දින වීමට වැඩි සම්භාවිතාවක් තිබේ. 3-4 සියවසේ පළමු කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයේගේ කාලයේ තමයි ක්‍රිස්තියානු රෝමයේ රාජ්ය ආගමක් ලෙස නීත්‍යානුකූල ලෙස ව්‍යාප්ත වෙන්නේ. ✝️විවිධ නිකායන් නත්තල සමරන දින දෙසැම්බර් 25 - මූලිකව බටහිර පල්ලිය සහ පෙරදිග සමහර නිකායන් ජනවාරි 6 - ආමේනියානු අපෝස්තලික කතෝලික පල්ලිය සහ ආමේනියානු එවැංජලික කතෝලික පල්ලිය. ජනවාරි 7 - ඕතඩොක්ස්, පෙරදිග ඕතඩොක්ස් පල්ලිය ජනවාරි 19 - ජෙරුසලමේ ආමේනියානු පල්ලිය නත්තල සැමරීම සඳහා ජේසුස් ක්‍රිස්තුස්ගේ නිරවද්‍ය උපන් දිනය අවශ්‍ය නොවේ. එය කෙදිනක වුවද සැමරීමේ අර්ථයට අදාල නැත. මෙය හුදෙක් දැනුම පිණිස පළකල පෝස්ටුවකී. කමෙන්ටුවේ ඡායාරූපය :- 1623 වසරෙන් පසුව වසර 400 කට පමණ පසු 2020 දෙසැම්බර් මාසයේ සිදු වූ සෙනසුරු සහ බ්‍රහස්පතිගේ Conjunction එකෙහි සමීප ඡායාරූපයක්.