තිර රචනය හැදින්වීම

by Anushka Rasanjana Desilva

තිර රචනය හැදින්වීම

Share

සිනමාව ගැන කතා කලාම තිරපිටපත කියන්නේ සිනමා නිර්මාණයක පාදම විදියට හදුන්වන්න අපිට පුළුවන්. තිරපිටපත කියන්නේ සිනමාව, රූපවාහිනි වැඩසටහන්,නාට්‍යය, ගීත,වෙළඳ දැන්වීම් වගේ කියන ඕනම දෘශ්‍ය හා කථන කලා නිර්මාණයක මුලික අංගයක් විදියට අපිට හදුන්වන්න පුළුවන්.

සිනමාව කියන දෘශ්‍ය කථන මාධ්‍ය⁣ය ඇතුලේ තිරරචනය යටතේ අපි මුලින්ම බලමු මොකද්ද මේ තිරරචනය කියන්නේ කියලා.

තිරරචනය යනු?

දෘශ්‍ය කලා මාධ්‍යයක් සඳහා ගොඩනඟා ගන්නා කතාවක් ලිවීම සරලව තිරරචනය නම් වෙනවා.සම්මත ආකෘතියක් තුල චරිත වල හැසීරීම, දෙබස්, හැගීම්, අවස්ථා හා සිද්ධීන් ලිවීම තිරරචනයේදි සිදු වෙනවා.නවකතා, කෙටි කතා වැනි ලිඛිත කලා මාධ්‍යය වලට වඩා තිරරචනය වෙනස් වෙන්නේ , නිසි ආකෘතියකට ලියවෙන සරල බස් වහර හා වර්තමානය කාලයෙන් ලිවීම යන කරුණු නිසාවෙනවා.තිරරචනය නම් වෘත්තීය සිදු කරන තැනැත්තා තිරරචකයා (Scriptwriter) ලෙස හදුන්වයි..

තිරරචනයේදි තිරරචකයා සිහි තබාගත යුතු ප්‍රධානම කරුණු තුන තමයි,

චරිත වල අභ්‍යන්තර හැඟීම් පිටතට ගෙන චරිතය ගොඩ නඟාගැනීම

කතාව කියන ආකාරයට ලිවීම (සරල බසෙන් ලිවීම)

හොඳ තිරරචන ආකෘතියක් අනුව ලිවීම

හැමවෙලේම තිරරචකයා අවධාරණය කරගන්න ඕනි ප්‍රධාන කාරණාව තමයි තමන් ලියන්නේ තිරයක් ඉදිරිපිට මැවෙන රූප පෙලකට කතාවක් කියන එක.

අපි ලිව්වොත් , සාලිය දේවක සමඟ ඇතිවු ගැටුම ගැන සිහිපත් කරනවා කියන එක විතරක් බලන කෙනා දන්නේ නැහැ මෙයා කල්පනා කරන්නේ මොනාද කියන එක.අන්න ඒකයි චරිත වල අභ්‍යන්තර හැගීම් එළියට ගන්නවා කියන්නේ.ඒකියන්නේ අපි ලියන්න ඕන සාලිය හිතන්නේ මොනවදා කියන ⁣දේත්.සාලිය දේවක සමඟ අතීතයේ අැතිවුන ගැටුම ගැන කල්පනා කරනවා නම් අපි ඒක Flashback දර්ශනයක් විදියට හරි පෙන්වන්න නම් ඒක තිරපිට⁣පතේ ලියන්න වෙනවා.

කතාව කියන ආකාරයට ලියනවා කියන්නේ අපි පිටපතක් ලියන්නේ නවකතාවක් වගේ මුදුණය කරලා පාඨකයන්⁣ට කියවන්න නෙවෙයි.තිරයේ මැවෙන දේ බලන ප්‍රේක්ෂකයන් දකින්නේ මොනවද කියන එකයි තිරරචකයෙක් ලියන්නේ.ඉතිං ඒ ලියන දේ සරලව ලියන එක චිත්‍රපටයේ ඉදිරිවැඩ වලට අනිවාර්යෙන් පහසුවක් වෙනවා.

වැදගත්ම දේ තිරරචකයෙක් ලියන්නේ කතාවක් නෙවෙයි.ඇහැට දකින රූප.හොඳම දේ තිරරචනයේදි කතාවක් ලියන ක්‍රමය නෙවෙයි කතාවක් කියන ක්‍රමයයි පාවිච්චි කරන්න ඕන.

හොඳ තිරරචනය ආකෘතියක් ඇයි අවශ්‍යය.තිරරචනයට ආකෘතියක් අවශ්‍යමද?. සරල උත්තරය, ඔව්. තිරරචන ආකෘතියකින් මුලින්ම සිදු කරන්නේ සිද්ධිය නැත්නම් දර්ශනයේ පසුබිම හදන එක.මේක වෙන්නේ කොතනදි මොනවගේ කාලෙකද කියන එක මුලින්ම සඳහන් වෙනවා.පස්සේ කවුද චරිත ,එයාලා මොනවද කරන්නේ කියලා තමයි එයාලා මොනවද කියන්නේ කියන කොටසට එන්නේ.

අපි කතාවක් කියනකොට මුලින්ම කියන්නේ මුහුදු වෙරළක ඉර බැහැගෙන යන වෙලාවක දෙන්නෙක් අත්අල්ලගෙන ඇවිදිනවා කියලා.මුලින්ම පසුබිම අහන කෙනාගේ හිතේ මවලා තමයි චරිත වලට යන්නේ.පස්සේ තමයි චරිත කතාවෙන දේ කියන්නේ.මේ ක්‍රමයම තමයි තිරරචනයේදි යොදාගන්නේ.අන්න ඒකය කතාවක් කියන විදියට තමයි තිර රචනය සිදු කරන්නේ කියන එක කලින් කිව්වේ.සරල බසින් වගේම වර්තමාන කාලයෙන් තමයි තිරරචනය සිදුකරන්නේ.ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු.



ස්ක්‍රිප්ට් එකක් ලියනකොට අනුගමනය කරන සම්මත රීති මොනවාද කියලා අපි බලමු.මේ තමයි තිරපිටපතක මූලික ආකෘතිය වෙන්නේ.

අකුරු වල ප්‍රමාණය 12-pt හා අකුරු වර්ගය Courier වේ.(ඉංග්‍රීසි අක්ෂර නම්)

වචන අතර Single space ඉඩක් තැබිය යුතුයි

පිටුවේ දකුණු පැත්තෙන් අඟල් 1ක ඉඩක් වෙන් කල යුතුයි

වම් පැත්තෙන් අඟල් 1.5 ඉඩක් වෙන් කල යුතුයි

ඉහළින් හා පහළින් අඟල් 1 බැගින් ඉඩක් වෙන් කල යතුයි

පිටුවක ආසන්න වශයෙන් පේළි 55 ක් ලියනු ලබයි

දෙබස් ලියවෙන්නේ වම් පසින් අඟල් 2.5ක ඉඩක් වෙන් කරමින් වෙයි.

චරිත වල නම් කැපිටල් අකුරු වලින් (ඉංග්‍රීසි අක්ෂර වලදී) වම් පසින් 3.7ක ඉඩක් වෙන් කරමින් වෙයි

පිටු අංකය දකුණු පසින් පිටුවේ ඉහළින් අඟල් 0.5ක ඉඩක් වෙන් කරමින් ලියන අතර පළමු පිටුවට අංක යොදන්නේ නැත.

මේ විදියට සරල ආකෘතියේ ඉඳලා තිරපිටපතක් ලියන්නේ කොහොමද වගේම තිරපිටපත් ආකෘතිය ගැන වෙනමම ලිපියක් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා.

මීළඟ ලිපියෙන් තිරරචනයේදි වැදගත් වෙන කතාවක් ලිවීමේදි අනුගමනය කරන Literary Devices මොනවාද කියලා කතා කරමු.

සිනමා තක්සලාව වෙනුවෙන් - අනුෂ්ක රසාංජන ද සිල්වා