සුබ ගමන් ලිවියා සප්‍රානෝ.

by Vishwa Jayasankha

සුබ ගමන් ලිවියා සප්‍රානෝ.

Share

ඔයාගේ පවුලේ අයත් එක්ක ඔයාට හොඳ සම්බන්ධයක් තියෙනවද? එහෙනම් මාෆියාවක් කරගෙන යන්න ඔයාටත් හොඳ හැකියාවක් තියෙනවා. මොකද මාෆියාවක් කියන්නේ පවුලක් වගේ දෙයක්. පවුල වගේම මාෆියාවත් රැඳිලා තියෙන්නේ තමන්ගේ අයට තියෙන ගෞරවය, පක්ෂපාතීත්වය නිසා. ඒ නිසා ඔයාගේ පවුල එකතු කරලා තියා ගන්න ඔයාට පුලුවන්නම්, ඔයාට මාෆියා එකකුත් කරගෙන යන්න පුලුවන්.

මේක කියන්නේ මම නෙවෙයි. The Godfather චිත්‍රපටි මාලාවේ අපිට හම්බවෙන Vito Carleone විසින් ඔහුගේ පුතාට. ඉතින් පවුල කියන දේ පාදක කරගත්ත, පසු කාලීනව නිර්මාණය වුනු, සියවසේ වගේම, විවිධ ratings වලින් එදා මෙදා තුර නිර්මාණය වුනු විශිෂ්ට කතා මාලාවක් ලෙස අපිට The Sopranos කතා මාලාව හඳුන්වන්න පුලුවන්.

ඉතාලියන්-ඇමෙරිකන් මාෆියා සංවිධානයක නායකයා වුනු Tony Soprano ගේ පවුල වටා තමයි මේ කතා මාලාව දිවෙන්නේ. ඔහුගේ මේ "පවුලට" ඔහුගේ ලේ ඥාතීන් පමණක් නෙවෙයි, සංවිධානයේ සියලුම දෙනා ඇතුලත් වෙනවා.

සංවිධානයේ නායකයා වුනත් Tony ට ඔහුගේ පවුල එකතු කරලා තියා ගන්න ලොකු මහන්සියක් වෙන්න වෙනවා. මොන තරම් බලවත් කෙනෙක් වුනත් ඔහුගේ ගෙදර ඇතුලදීම තමන්ට ගෞරවය, පක්ෂපාතීත්වය නැති වෙන බව ඔහුට දැනෙනවා. නායකතුමා දුර්වල වුනු ගමන් බලය වෙනුවෙන් ඇණ කොටාගන්න තමන්ගේ ළඟින්ම ඉන්න අය පවා ඉන්න බව Tony ට තේරෙනවා. ඒ අතර තමන්ගේම අම්මත් ඉන්න බව Tony ට තේරෙන්නේ ටිකක් කල් ගිහින්.

ලෝකෙ හැම අම්මම එක වගේ නෑ. සමහර විට Tony ගේ අම්මා වගේ කට්ටිය ඔයාලටත් මුණ ගැහිලා ඇති. කොච්චර කලත් හොඳක් නොදකින, දකින දකින වාරයක් ගානේ තමන්ගේ අමාරුකම් ගැනම කියවන, එකට එකතු කරගන්න හදන හැම අවස්ථාවකදිම තමන් පැත්තටම අවධානය ගන්න හදන, දුශ්ඨ, ආත්මාර්ථකාමී, බොරු කාර, අනුකම්පාවෙන් ජීවත් වෙන්න හදන ගැහැනියක් වෙන Tony ගේ අම්මාගේ කෙරුවාව මුල් seasons 2 හරහා Soprano රසිකයින්ට දැක බලා ගන්න පුලුවන් වෙන්න ඇති. අන්තිමට මේ ගැහැනිය නතර වෙන්නේ මාමා ලවා පුතාව මරන්න හදන තත්ත්වයටම පත් වෙලා. තමන්ගේ අම්මා කවදාවත් තමන්ට වරදක් නොකරයි කියලා හිතා ගෙන අම්මාව හැමදාම බේර ගත්තු Tony ගේ ජීවිතේ බේරෙන්නේ අනූ නවයෙන්. අම්මගේ හැටි දැන ගත්තු Tony අන්තිමට පවුලේ ගෞරවය, ආදරය, පක්ෂපාතීත්වය පැත්තකට දාලා යන්නේ තමන්ගේ අම්මාව මරන්න. ඒත් ඒක කරගන්න ඔහුට බැරි වෙනවා.

එතනින් එහාට Tony ට වගේම Soprano රසිකයන්ටත් ඕන වෙන්නේ වයසක ගැහැනියක් වුනත් දැක්කම මූනට ගහන්න හිතෙන Livia Soprano ගේ ඉක්මන් මරණය. ඒත් ඇයට කතාව තුල තව ඉටු කරන්න තව ගොඩක් දේවල් තිබුණා. ඒත් අවාසනාවකට The Sopranos season 3 රූගත කර අවසාන කරන්න පෙර Livia Soprano චරිතය රඟදක්වපු Nancy Marchand නම් රංගන ශිල්පිනිය අභාවප්‍රාප්ත වෙනවා. ඒ ශිල්පිනිය මේ චරිතය කොච්චර විශිෂ්ඨ අන්දමට ඉටු කලාද කිව්වොත් රචකයින්ට සිද්ධ වෙනවා ඔවුන්ගේ සැලසුම් Livia වෙනුවෙන් වෙනස් කරන්න. අමාරුවෙන් හරි CGI භාවිතයෙන් යම් කොටසක් කරගත්තු season 3 හි තුන්වන කතාංගය Livia Soprano ගේ අවමංගල්‍යට වෙන් කරනවා.

ජීවත් වෙලා ඉන්න කල් වෛරය වපුරපු මේ ගැහැනිය අවමංගල්‍ය උත්සවයකටත් එපා කියලා ගියපු කෙනෙක්. ඒ ඇයගේ මළගමට කවුරුත් සහභාගී නොවෙයි කියන බයෙන්. ඒත් පවුලේ නම ගැන හිතලා Tony ඇතුලු සහෝදරියන් අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කරනවා. අම්මගේ ගතිගුණ ටික ලස්සනට අරන් යන Tony ගේ සහෝදරිය මළ ගෙදර අවසානයේදිත් එකිනෙකා කොටවන්න තමයි හදන්නේ. Livia Soprano කියන දුශ්ඨ ගැහැනිය මිය ගිහින්වත් Soprano පවුලට සාමයක් උදා වුනේ නැහැ.

මේ episode එක පුරාවට Tony චිත්‍රපටියක් නරඹනවා. ඒක අහම්බයක් නෙවෙයි. 1931 දී නිකුත් වුනු American pre-Code චිත්‍රපටියක් වුනු "The Public Enemy" තමයි ඔහු මේ විදියට බලන්නේ. මේකේ ප්‍රධාන චරිතය වෙන Tom Powers ගේ ජීවිත කතාවත් Tony Sopranos ගේ ජීවිත කතාවට සමානයි. ගෙදර සහෝදරයන් පවා කොටවපු Tom ගේ අම්මා නිසා Tom, අපරාධ වැඩ වලට යොමු වෙනවා. ඒත් චිත්‍රපටියේ අවසානයේදී Tom ගේ ජීවිතය නැති වෙනවා. ඔහුගේ මව Tom ගෙදර එනවා කියලා සතුටු වුනත්, ගෙදරට එන්නේ Tom ගේ මළකඳ. අවසානයේදී Tony අඬන්නේ තමන්ගේ අම්මා මැරුණු දුකට නෙවෙයි. තමන්ගේ වගේම තාත්තගේ ජීවිතත් දුක්ඛිත කරපු ඒ ගැහැනියට කලින්, Tom වගේ නොමැරී, තමන්ගේ පුතා මැරුණු සතුට තමන්ගේ අම්මාට දෙන්න ලැබුනු නැති එකේ සතුටට.

ඉතින්, Goodbye Little Livia.