ෂර්ලොක් හෝම්ස්: මරණයට පසු උදා වූ නත්තල

by Sanchuka kavinda

ෂර්ලොක් හෝම්ස්: මරණයට පසු උදා වූ නත්තල

Share

ෂර්ලොක් හෝම්ස්: මරණයට පසු උදා වූ නත්තල එය 1897 වර්ෂයේ දෙසැම්බර් 24 වන දින බව දින පොතෙහි සටහන්ව ඇත. සුපුරුදු පරිදි ලන්ඩන් නගරයම හිමෙන් වැසී යමින් අධික ශිතල කාලගුණයද සමගින් නත්තල් සමය සඳහා සූදානම් වෙමින් පැවතුණි. අපිරිසිදු ලන්ඩන් වීදි මුලුමුණින්ම හිමෙන් වැසී ගොස් තිබූ අතර ලන්ඩන් ජනයා ඉතා කඩිසරව නත්තල සඳහා සූදානම් වෙමින් සිටියහ. නමුත් මෙම හුරුපුරුදු වටපිටාව තුල වෙනදා තිබූ සුපුරුදු බේකර් වීදියෙහි වූ නවාතැන තවදුරටත් පෙරපරිදි හුරුපුරුදු වටපිටාවක්ව නොතිබුණි. පාඨක ඔබට හුරුපුරුදු වූ බේකර් වීදියෙ නිවහන තරමක් දුරට වෙනස් වීමට පටන් ගෙන තිබූ අතර මෙතෙක් කල් ඔබට හුරුපුරුදු වූ නිශ්ශබ්ද පරිසරය වෙනුවට ලමුන්ගෙ කෑගැසීම් වලින් අඩුනොවූ වටපිටාවක් බවට එය පත්වෙමින් තිබුණි. මෙයට හේතුව වී තිබුනෙ තවදුරටත් එය ලෝක ප්‍රසිද්ධ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගෙ අතිජාත මිත්‍ර මෙන්ම සහායකවරයා වූ වොට්සන් මහතාගෙ ජීවත් වූ නවාතැන නොවීමයි. ඒ ගතවෙමින් තිබුනෙ ඔවුන්ගෙ මරණයෙන් පසුව ගතවන පලමු අවුරුද්දයි. වයසක හඩ්සන් මහත්මිය ඇගෙ ජීවිතයේ අග භාගය දෙසට ලං වෙමින් සිටියාය. ෂර්ලොක් හෝම්ස් මහතාගෙ ඉල්ලීමකට අනුව හඩ්සන් මහත්මිය ඉතා කැමැත්තෙන් බේකර් වීදියෙහි නවාතැන විගින්ස් ඇතුලු වීදි රහස් පොලිස් කණ්ඩායමේ ලමුන්ගෙ නිවහන බවට සකස් කර දී තිබුණි. එම ළමුන් සඳහා යන සියලු වියදම් ෂර්ලොක් හෝම්ස් මහතා සතුවූ ඔහුගෙ පවුලේ වත්කමෙන් සපයා දී තිබුණි. ළමුන්ගෙ කෑම බීම, නවාතැන් පහසුකම් පමණක් නොව අධ්‍යාපනික පහසුකම්පවා ඒ වනවිට හෝම්ස් මහතාගෙ ධනයෙන් සපයා දී තිබුණි. කාරුණික වයසක හඩ්සන් මහත්මියට මේ වැඩපල තවදුරටත් කරගැනීමට නොහැකි තත්වයට වයෝවෘද්ධව සිටි නිසා ඇගේ ඥාති දියණියගෙ පාලනය සහිතව තව සේවිකා⁣වන් දෙදෙනෙකුබේකර් වීදියෙහි නවාතැනෙහි කටයුතු සිදු කල අතර නත්තල් දින උදෑසන සඳහා සූදානම් කර තිබූ සාදය වෙනුවෙන් ඔවුන් දැඩිව කාර්යබහුලව සිටියහ. ........................................... පසුදා උදෑසන 10 පමණ වනවිට නවාතැන ඉදිරිපිට ස්කොට්ලන්ඩ්යාඩ් අශ්ව කරත්තයක් නතර වූ අතර ලෙස්ට්‍රඩ්, හොප්කින්ස් සහ ග්‍රෙග්සන් ඉන් බැස ගත්හ. නාදකල සීනුවට ප්‍රතිචාර වශයෙන් හඩ්සන් මහත්මිය නවාතැනෙහි දොර විවර කරමින් ස්කොට්ලන්ඩ්යාඩ් රහස් පරීක්ෂකවරුන් තිදෙනාව ඉතා උණුසුම්ව පිලිගත් අතර ඇගෙ උණුසුම් පිලිගැනීමෙන් අනතුරුව උඩුමහලට ලඟාවූ පරීක්ෂයන් තිදෙනාට දැකගත හැකි වූයේ මයිකොෆ්ට් හෝම්ස් තරුණ යුවතියක් සමග කතාබහ කරමින් සිටින අයුරුය. " හෝම්ස් මහත්මයා සුභ නත්තලක් වේවා! ඔබව දකින්න ලැබීම සතුටක් " " ඇබිගේල් මෙනවිය ඔබටත් සුභ නත්තලක් වේවා " මයික්‍රොෆ්ට් හෝම්ස්ට සහ ඇබිගේල් මොරියාටි⁣ට සුභ පතමින් ලෙස්ට්‍රඩ් විසිත්ත කාමරයට ඇතුල් විය. ඔහු අනුව යමින් පිලිවලින් ග්‍රෙග්සන් සහ හොප්කින්ස්ද ඔවුන්ට සුබ පතන්නට විය. " සුභ නත්තලක් වේවා මහත්වරුනෙ! හඩ්සන් මහත්මිය අද අනිවාර්යයෙන් පැමිණිය යුතුයි කියල බලකරපු නිසා මට එන්න සිදු වුනා. " විස්කි බෝතලයක් සුරතින් ඔවුන්ට පිලිගන්වමින් මයික්‍රොෆ්ට් පවසන්නට විය. ලන්ඩන් නගරය සහ එංගලන්තය පුරා සිදුවූ විවිධාකාරයෙ අපරාධ විසඳීමට සමත් වූ ලෝක ප්‍රසිද්ධ අසහාය රහස් පරීක්ෂකවරයාගෙ නවාතැන මේ වනවිට බොහෝසෙයින් වෙනස්ව තිබූ අතර එම විසිත්ත කාමරය මේ වනවිට ළමුන්ගෙ අධ්‍යාපනික කාමරයක් බවට පත්ව තිබූ බව පෙනෙන්නට විය. නමුත් වසර ගණනාවක් පුරා එලෙසින්ම නොවෙනස්ව තිබූ ෂර්ලොක් හෝම්ස්ගෙ සහ ඔහුගේ අතිජාත මිත්‍රයාගෙ අසුන් දෙක මෙන්ම ෂර්ලොක් හෝම්ස් දැඩිව ප්‍රිය කල ඔහුගේ වයලීනය නොවෙනස්ව මෙන්ම පැරණි මතකාවර්ජනයන් සිහිකරමින් එලෙසින්ම තැබීමට හඩ්සන් මහත්මිය කටයුතු කර තිබුණි. විගින්ස් ඇතුලු ළමයි පිරිස නත්තල සඳහා ඉතා උනන්දුවෙන් සූදානම් වෙමින් සිටි අතර නවාතැන පුරා සතුටින් දිව යමින් නිවසෙහි වැඩකටයුතු සඳහා යුහුසුළුව උදව් කරමින් සිටියහ. "මොරියාටි මෙනවිය, ඔබ ඊයෙද පාසලේ සිට පැමිණියෙ ? " ඇබිගේල් මොරියාටි දෙස බලමින් ලෙස්ට්‍රඩ් විමසන්නට විය. " ඔව් ලෙස්ට්‍රඩ් මහත්මයා මම ඊයෙ උදේ තමා ⁣ලන්ඩන් වලට ආවෙ. සති දෙකක පමණ කාලයක් රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා " මනරම් සිනහවකින් සංග්‍රහ කරමින් ඇබිගේල් පවසන්නට විය. ඇබිගේල් මොරියාටි මේ වනවිට සරේ ප්‍රාන්තයේ පාසලක ඇගේ උසස් අධ්‍යාපන කටයුතු හදාරමින් සිටි අතර ඇගේ භාරකරු ලෙස මේ වනවිට මයික්‍රොෆ්ට් හෝම්ස් කටයුතු කරමින් සිටියේය. " ආහ් මගෙ ආදරණිය ඇබිගේල් ! එන්න අපි කෑම ගමු. මහත්වරුනෙ ! එන්න කෑම ලෑස්තියි " සුපුරුදු කාරුණික සිනාවෙන් හඩ්සන් මහත්මිය පවසන්නට විය. අමුත්තන් සියලු දෙනාද හඩ්සන් මහත්මිය, ඇගෙ ඥාති දියණිය සහ කුඩා ළමුන් ඇතුලු බේකර් වීදියේ නවාතැනෙහි සියල්ලෝද නත්තල් කෑම මේසයේ අසුන් ගෙන නත්තල් ආහාර වේල සඳහා සූදානමින් සිටියහ. " අපේ ආදරණීය මිත්‍රයන්, සහෝදරයින් වුන හොම්ස් මහත්මයා සහ වොට්සන් මහත්මයා අපෙන් වෙන්වෙලා ගිහින් ගතවන පලවෙනි නත්තල මේක. ඉතින් මම ඔබලා හැමෝටම අද මේ නත්තල් දවසෙ ආරාධනා කරේ අපේ හිතවතුන් වෙනුවෙන් මේ නත්තල් දවස වෙන්කරන්න කියන්නයි. හෝම්ස් මහත්මයගෙ කාරුණිකබව හින්ද මේ අහිංසක ළමයි ටික අද ඉගෙන ගන්නවා, ඉන්න තැනක් තියෙනවා. ඉතින් ඒ සියලු දේම වෙනුවෙන් අපි ස්තූතිවන්ත වෙමු අපේ ආදරණීයන් වෙනුවෙන් " හඩ්සන් මහත්මිය ඉතා හැඟීම්බරව පවසන්නට වූ අතර ඇබිගේල් හැඬුම්බරව අසා සිටිනු දක්නට ලැබිණි. ඉතා ප්‍රණීත ආහාරයන්ගෙන් පිරිපූර්ණව තිබූ මෙම නත්තල් කෑම මේසය වර්ෂ දෙකකට පමණ පෙර හෝම්ස් මහතා සංවිධානය කල නත්තල් දිනය සිහිගන්වන්නක් විය. කුඩා ළමුන් පිරිස ඉතාමත් ආසාවෙන් ආහාරයන් රසවිඳි අතර මේ සියලු දෙනාම ෂර්ලොක් සහ වොට්සන් මහත්වරුවන්ගේ මතකයන් විටින් විට අවදි කරමින් තම තමන්ගෙ ශෝකය සහ ආදරය ප්‍රකාශ කරන්නට විය. ප්‍රණීත ආහාරවේලකින් සහ විවිධ අතුරුපස වලින් සමන්විත වූ කෑම මේසයෙන් අනතුරුව කාගෙත් පුදුමයට මෙන් මයික්‍රොෆ්ට් විසින් විගින්ස් ඇතුලු ළමුන් පිරිසටත් ඇබිගේල්ටත් නත්තල් තෑගි කිහිපයක් ලබා දුනි. ෂර්ලොක් හෝම්ස්ගෙ සහ වොට්සන්ගෙ මරණයත් සමගින් මයික්‍රොෆ්ට් හෝම්ස්ගෙ ගතිපැවතුම් තරමක් දුරට වෙනස්ව ඇතිබැව් සියලු දෙනාට වැටහී ගිය අතර මයික්‍රොෆ්ට් තරමක ශෝකයකින් කල් ගත කරන බවත් පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ප්‍රණීත කෑමවේලකින් සහ වයින් වට කිහිපයකින් සමන්විත වූ සුහද කතාබහකින් අනතුරුව හඩ්සන් මහත්මිය පෙර දැනුම් දී තිබූ පරිදි රැස්ව සිටි පිරිස සුසාන භූමියට පිටත් වීමට සූදානම් වූහ. හඩ්සන් මහත්මිය පෙර පැවසූ පරිදිම එම නත්තල් දිනය පූර්ණ වශයෙන් ⁣ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් වෙනුවෙන් වෙන්වී තිබුණි. පිරිස පිටත් වීමට මත්තෙන් ලෙස්ට්‍රඩ් රැස්ව සිටි සියලු දෙනා අමතා විශේෂ යමක් පැවසීමට ඇති බැව් දන්වා සිටියේය. " මං හිතනවා මේක තමයි මේ ආරංචිය ඔබ හැමෝටම දන්වන්න හොඳම වෙලාව කියල. ස්කොට්ලන්ඩ්යාඩ් ප්‍රධානීතුමා විසින් හොප්කින්ස්, ග්‍රෙග්සන් සහ මම එකතුවෙලා කරපු ඉල්ලීමකට අවසර ලබා දුන්නා ඊයෙ දිනයෙදි. මේ ගැන මයික්‍රොෆ්ට් මහත්මයා නම් දැනුවත්. අපි තීරණය කරා හෝම්ස් මහත්මය එංගලන්තයට සහ විශේෂයෙන්ම නිල නොලත් රහස්පරීක්ෂකවරයෙක් විදියට ස්කොට්ලන්ඩ්යාඩ් වලට කරපු සේවයට උපහාරයක් විදියට එතුමා නමින් පුහුණු ඒකකයක් පිහිටුවන්න. මේ පුහුණු ඒකකය හරහා ෂර්ලොක් හෝම්ස් මහත්මයගෙ අපරාධ පරීක්ෂණ සිද්ධාන්තයන්, නිරීක්ෂණය සහ නිගමනයන් පිලිබඳ ස්කොට්ලන්ඩ්යාඩ් පරීක්ෂකවරුන්ට පුහුණුවක් ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා." ලෙස්ට්‍රඩ් පවසා සිටින්නට විය. හඩ්සන් මහත්මිය මේ පුවතින් ඉතා සතුටට පත්වූ අතර ඇය ඉතා උණුසුම්ව ස්කොට්ලන්ඩ්යාඩ් පරීක්ෂකවරයන්ට ස්තූති කළාය. ................................................ සියලු දෙනා සුසාන භූමිය බලා පිටත් වූ අතර ඒ සියල්ලෝම ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන්ගේ සුසානයන් අසල බලා හිඳිනු දක්නට ලැබුණි. සුසානයන් අවට ඉතා හොඳින් පිරිසිදු කර තිබූ අතර හඩ්සන් මහත්මිය ඇතුලු පිරිස රැගෙන ඇවිත් තිබූ ඉටිපන්දම් සහ මල්වලින් සුසානයන් හැඩවී තිබුණි. සුසානයන් අසල හැඬුම්බරව බලා සිටි හඩ්සන් මහත්මිය සහ ඇබිගේල් පිටත්ව ගිය අතර ලෙස්ට්‍රඩ් සහ මයික්‍රොෆ්ට් පමණක් අවසානයේ සුසානයන් අබියස බලා සිටින්නට විය. " ඔබලා නැති අඩුව තදින්ම දැනෙනවා මිත්‍රවරුනි. ඉදිරියටත් ඒ අඩුව මකාගන්න හැකියාවක් නැති වේවි. සුභ නත්තලක් වේවා මහත්වරුනෙ ! " හෝම්ස්ගෙ සහ වොට්සන්ගෙ සුසානයන් දෙස මෙහොතක් බලා සිටි ලෙස්ට්‍රඩ් එසේ පවසා අනිත් පිරිස සමඟ එකතු වීමට පිටත් විය. නමුත් මයික්‍රොෆ්ට් තවමත් සුසානයන් දෙස බලා සිටි අතර ඔහු දැඩි කනස්සල්ලකින් පසුවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. " මම ඔබට කිව්ව විදියට වැඩ කරානම් ඔබට තවමත් ජීවත් වෙන්න තිබුණා සහෝදරයා. මට සමාවෙන්න මේ හැමදෙයක් ගැනම ඔබට කියන්න බැරි වුන එකට. මම හිතනවා ඔබ මට සමාව දෙයි කියල, සුභ නත්තලක් ෂර්ලොක් ! මගෙ සහෝදරයව බලාගත්තට ඔබට ස්තුතියි දොස්තර මහත්තයා, ඔබටත් සුභ නත්තලක් ! " ............ ~ මතුවට නිමි. ~ ["ගායිස් මේකනං ටිකක් fu**ed up වගේ. නිකන් typical කතාවක් වගේ උනාද කියල හිතෙනවා. But hope you enjoyed❤ අතරමග නැවතුන මේ කතාව ඉස්සරහට අනිවා continue වෙනවා."]