මොකක්ද මේ පොතක්, චරිතයක් public domain එකක් වෙනවා එහෙමත් නැත්තන් මහජන අයිතියට පත් වෙනවා කියන්⁣නෙ?

by The Sri COM, Omira J.

මොකක්ද මේ පොතක්, චරිතයක් public domain එකක් වෙනවා එහෙමත් නැත්තන් මහජන අයිතියට පත් වෙනවා කියන්⁣නෙ?

Share

බුද්ධිමය හිමිකම් නීති පද්ධතිය

මොකක්ද මේ පොතක්, චරිතයක් public domain එකක් වෙනවා එහෙමත් නැත්තන් මහජන අයිතියට පත් වෙනවා කියන්⁣නෙ?

අද අපි කතා කරමු ඒ දේවල් ගැන✌️

මේ අපි කතා කරන්න යන කරුණු ටික අපි ගොඩක් කාලෙකට කලින් කතා කරපු කරුණු ටිකක් ගායිස්. ඒ වුනත් මේ ගැන කතා කරන්න හිතුවෙ ෂර්ලොක් හෝම්ස් චරිතය මේ අවුරුද්දෙ ඉදන් පූර්ණ වශයෙන් මහජන අයිතියට පත් වීමත් සහ DC Comics වල බැට්මෑන්, සුපර්මෑන් සහ Wonder Woman 2034, 2035, 2036 යන අවුරුදු වලදී මහජන අයිතියට පත් වෙනවා කියල ආව නිව්ස් දෙක නිසයි.

මේ ආටිකල් එකේදි අපි සම්පූර්ණ වශයෙන්ම ඇමරිකාව සහ එංගලන්තය කියන රටවල් වලට අදාල Copyright Law එකගැන තමයි කතා කරන්න යන්නෙ. අපේ රටේ කොහොමත් මේ වගේ දේවල් වලට විධිමත් නීතිමය පද්ධතියක් නෑනෙ. ඒ කොහොම වුනත් අපි මේ කතා කරන්න යන ඒවටනම් අදාල වෙන්නෙ මේ රටවල් වල නීතිපද්ධතිය තමා. ඒකෙනුත් ගොඩක්ම ඕන වෙන්නෙ ඇමරිකාව තුල ක්‍රියාත්මක වෙන නීතිමය පද්ධතිය ; මොකද ගොඩක් නිර්මාණ වලට අදාල වැඩකටයුතු වැඩිප්‍රමාණයක් සිද්ධ වෙන්නෙ මේ ඇමරිකාව කේන්ද්‍ර කරගෙන නිසා.

මේකෙදි අපිට comic සම්බන්ධව ඊට අදාල කතෘ අයිතිය සහ බුද්ධිමය හිමිකම් නීති පද්ධතිය ගැනයි අනිත් නිර්මාණ වලට අදාල නීතිමය පද්ධතිය ගැනයි වෙනම කතා කරන්න වෙනවා.
ඒකට හේතුව තමයි comic ප්‍රධානවම නිර්මාණය වුනේ නිර්මාණකරුවන් එක්කෙනෙක් හෝ කිහිප දෙනෙක් එකතු වෙලා යම් සමාගමක් වෙනුවෙන් වීම. මේ අවස්ථාවෙදි කතෘ අයිතිය ලැබෙන්න ඕන කාටද කියන දේ ගැටලුවක් මතු වුන නිසා 1978 අවුරුද්දෙ ඉදන් ඇමරිකාව තුල විධිමත් නීතිමය පද්ධතියක් නිර්මාණය වෙනවා මේ කතෘ අයිතිය සම්බන්ධයෙන්.

ඒ අනුව මුලින්ම අපි Comic වලට අදාල කතෘ අයිතිය පිලිබඳව බැලුවොත් ;

1978 ට කලින් නිර්මාණය උන comic සඳහා comic නිර්මාතෘවරුන්ට ඒ comic වල අයිතිය තමන් යටතට ලබා ගැනීමට අවස්ථා 2ක් නීතියෙන් ලබා දීලා තියෙනවා..
හරියටම ඒ ගැන පැහැදිලි කරොත් තමන් නිර්මාණය කල comic වල අයිතිය ඒ comic ප්‍රකාශයට පත් කරන සමාගමෙන් අයින් කරලා කතෘන්ගෙ අයිතියට ගන්න අවස්ථා දෙකක් කතෘන්ට ලැබෙනවා.

1️⃣ Comic එක නිර්මාණය කල අවුරුද්දෙ සිට අවුරුදු 56 ගත උනාට පසු එලඹෙන අවුරුදු 5ක කාලයක් ඇතුලත ඒ comic අයිතිය එලඹෙන යටතට ගන්න පුලුවන්.

⭕ උදාහරණයක් විදියට මෙහෙම ගමු,
1938 දි නිර්මාණය උන comic එකක කතෘ අයිතිය තමන් යටතට ගන්න (1938+56=1994 ) 1994 අවුරුද්දෙ ඉඳන් අවුරුදු 5ක කාලය ඇතුලත ඒ අදාල නිර්මාණකරුවන්ට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නෙ 1994 ඉඳන් 1999 කියන අවුරුද්ද වෙනකන් ඒ අයිතිය ලබා ගැනීම වෙනුවෙන් කතෘන්ට නීතිමය පියවර ගන්න අවසරය තියෙනවා..

2️⃣ මේ කතා කරපු කාලය ඇතුලෙදි ඒ අයිතිය ලබා ගැනීමට නොහැකි වුනොත් අවුරුදු 75 කට පසුව එළඹෙන අවුරුදු 5 කාලය ඇතුලත නැවත එම කතෘ අයිතිය ලබා ගන්න පුලුවන්.

⭕ඒ කියන්නෙ අර කලින් කිව්ව අවස්තාවෙදි වගේ අවුරුදු 56ක් ගියාට පස්සෙ මොන ආකාරයක හරි හේතුවක් නිසා කතෘ අයිතිය ලබා ගන්න බැරි උනානම් ආයෙ ඒ අවස්ථාව එන්නෙ comic එක නිර්මාණය කරපු අවුරුද්දෙ ඉඳන් අවුරුදු 75කට පස්සෙ. මං කලින් අරන් තියෙන උදාහරෙණ දිහාම බැලුවොත්;
1938+75 , ඒ කියන්නෙ ආයෙ 2013 අවුරුද්දෙ ඉඳන් පටන් ගන්න අවුරුදු 5ක කාලය ඇතුලත තමයි ඒ කතෘ අයිතිය එම නිර්මාණයෙ කතෘන්ට ලබාගන්න නීතියෙන් අවසරය තියෙන්නෙ ඒකියන්නෙ මේ උදාහරණෙ විදියට 2013-2018 කියන කාලය අතරතුරදියි.

මෙන්න මේ විදියට අවුරුදු 56 කින් සහ අවුරුදු 75 කට පස්සෙ ලැබෙන අවුරුදු 5ක window එක තුලදි විතරයි කොමික් නිර්මාණකරුවන්ට තමන්ගෙ නිර්මාණයකට අයිතිවාසිකම් ඉල්ලලා නීතිමය පියවර ගන්න හැකියාවක් තියෙන්නෙ. බැරි වෙලාවත් මේ කියන අවස්ථා දෙකෙන් කිසිම අවස්ථාවක දි කොමික් නිර්මාණකරුවන් තමන්ගෙ කතෘ අයිතිය වෙනුවෙන් පෙනී සිටියෙ නැත්නම් ඒ නිර්මාණය වෙනුවෙන් ඔවුන්ට අයිතිවාසිකම් ඉදිරිපත් කරන්න හැකියාවක් නෑ.

ඉතින් ඔන්න ඕක තමයි Comic එක්ක ඇදිලා ආව කතෘ අයිතිය පිලිබඳව නීතිය ගැන කතාව. මෙතනදි සම්පූර්ණ කතා කරන්නෙ නිර්මාණයේ කතෘභාගය ගැන විතරයි. ඒ කිව්වෙ නිර්මාණයේ මූල්‍යමය අයිතිය ලැබෙන පාර්ශවය පිලිබඳව විතරයි. මේ කියන කාරණාව DC සහ Marvel කියන දෙපාර්ශවයෙන්ම කාලෙන් කාලෙට ඇහෙන්න ලැබෙන කතාවක්.

Comic වල කතෘභාගය කතා කරපු නිසා දැන් අපි බලපු මොකක්ද මේ නිර්මාණයක් මහජනයා අතට පත්වෙනවා කියල කියන්නෙ එහෙම නැත්නම් බුද්ධිමය හිමිකම් වලින් නිදහස් වෙනවා කියන්⁣නෙ මොකක්ද කියල.

මේකෙදි මං මුලින්ම කිව්වනෙ මේ නීතිය පිලිබඳව කතා කරද්දි ඇමරිකාව සහ එංගලන්තය කියන රටවල් දෙක ගැනම කතා කරනවා කියල. හැබැයි ඉතින් එහෙම කිව්වට අපිට ඇත්තටම ⁣කරුණු විදියට කතා කරන්න තියෙන්නෙ ඇමරිකානු නීතිය ගැන විතරයි.
ඒකට එක හේතුවක් තමයි,

බ්‍රිතාන්‍යයේ බුද්ධිමය හිමිකම් නීති පද්ධතියට අනුව ඕනම නිර්මාණයක කතෘ අයිතිය සහ බුද්ධිමය දේපල හිමිකම ඒ කතෘට සහ කතෘට අදාල පාර්ශවයන්ට හිමිවෙන්නෙ කතෘගේ මරණයේ ඉදන් අවුරුදු 70ක් ගත වෙනකන් විතරයි. ඒ කියන්නෙ එංගලන්තය සහ එංගලන්ත රාජ්‍යයන් තුල ඕනම නිර්මාණයක කතෘභාවය සහ බුද්ධිමය හිමිකම් වලංගු වෙන්නෙ ඒ නිර්මාණයේ කතෘ මියගිහින් අවුරුදු 70ක් ගතවෙනකන් විතරයි.
(මෙතෙන්දි ප්‍රධානවම එංගලන්තය විතරක් ගත්තට කැනඩාව වගේ රටවල බුද්ධිමය හිමිකම් නීති එංගලන්තයේ නීති ආකාරයටම තමයි ක්‍රියාත්මක වෙන්නෙ.)
එතනින් පසුව ඒ නිර්මාණය පූර්ණ වශයෙන් ජනතා අයිතියට පත්වෙනවා. ඒ කියන්නෙ කැමති කෙනෙකුට කැමති විදියට මුල් නිර්මාණ වල අඩංගු වෙන චරිත සහ කතා තේමාව තමන්ට කැමති විදියට වෙනස් කරන්න , යොදා ගන්න පුලුවන් වෙනවා කියන එකයි.

ඔන්න ඔය හේතුව නිසා අපිට එංගලන්ත බුද්ධිමය හිමිකම් නීති ගැන කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ.
හැබැයි කලින් වගේම මේකෙදිත් ඇමරිකානු බුද්ධිමය නීතිය සංකීර්ණ නිසා අපිට ඒ ගැන කතා කරන්න කරුණු කීපයක් තියෙනවා.

මේකෙදිත් අපි කතා කරන්නෙ 1978 ට පෙර සහ පසු කියන කාල ගැනයි. ඒකට හේතුව මුලින්ම කිව්වනෙ. මේ නීතිය නීති ගත වෙන්නෙ 1978 අවුරුද්දෙදි. ඒක තමයි මේකට හේතුව.

ඒ අනුව 1978 ජනවාරි 1 වෙනිදට පසුව නිර්මාණය වුන සහ ප්‍රකාශයට පත් කෙරුණ නිර්මාණ සඳහා ලැබෙන කාලසීමාව වෙන්නෙ එහි කතෘගෙ ජීවිත කාලය සහ කතෘ මියගියාට පසු අවුරුදු 70ක කාලයක් සඳහායි.
තව ටිකක් මේක ගැන විස්තර කරොත් 1978 අවුරුද්දට පස්සෙ නිර්මාණය වුන සහ වෙන සෑම වන සෑම නිර්මාණයකම බුද්ධිමය හිමිකම් අයිතිය ඒ නිර්මාණකරුට තියෙන්නෙ එම නිර්මාණකරුගෙ ජීවිත කාලය සහ එම නිර්මාණකරුගෙ මරණයේ සට අවුරුදු 70ක් ගතවෙනකන් විතරයි.

ඒවගේම යම්කිසි නිර්මාණයක් 1978 ට කලින් නිර්මාණය වෙලා තිබුනත් ඒ නිර්මාණය ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ 1978 ජනවාරි 1 වෙනිදට පස්සෙ නම් ඒ නිර්මාණයට වලංගු වෙන්නෙත් මේ කරුණු කීපයම තමයි.

එතකොට 1978 ජනවාරි 1 වෙනිදට පෙර සහ 1923 අවුරුද්දට පසුව නිර්මාණය වුන නිර්මාණ සඳහා අවුරුදු 95 ක කාලයක් ලැබෙනවා.
තව පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරලා කිව්වොත් ,
1978 ට පෙර නිර්මාණ වලට මුලින්ම ලැබෙන කාලසීමාව වෙන්නෙ අවුරුදු 28යි. ඒ අවුරුදු 28 අවසන් උනාට පස්සෙ එම සමාගම හෝ කතෘන් විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීම මගින් ඒ අවුරුදු 28 ක කාලසීමාව අවුරුදු 95ක් දක්වා වැඩි කරගන්න පුළුවන්.
බැරි වෙලාවත් එහෙම අවුරුදු 28කින් පස්සෙ දීර්ඝ කරල තිබුනෙ නැත්නම් ඒ නිර්මාණයේ හිමිකම් අයිතිය අහෝසි වෙනවා.

මෙන්න මේ විදියට තමයි ඉතින් Copyright Law එකගැන කතා කරන්න තියෙන්නෙ ගායිස්.

මේ Copyright Law එක ගැන කතා කරේ ෂර්ලොක් හෝම්ස් හින්දනෙ. ඒ හින්දම අපි බලමු ෂර්ලිට කොහොමද මේ Copyright Law එක බලපෑවේ කියල.

අපි ෂර්ලොක් ගැන කතා කරද්දි ඇමරිකානු නීතියට අනුව ෂර්ලොක් හෝම්ස් චරිතය සහ සෙසු චරිත වලටත් තිබුණෙ කලින් සඳහන් කරපු විදියෙ දීර්ඝ කරපු අවුරුදු 95 ක බුද්ධිමය හිමිකමක්. මේ ෂර්ලොක් Character එකට Copyright Law එක ඇතුලත් වෙන විදියත් ටිකක් විතර කතා කරන්න ඕන.

ඒකට හේතුව තමයි ෂර්ලොක් හෝම්ස් කියන චරිතය මිනිස්සු අතරට එන්නෙ කොටස් 2ක් විදියට.

පැහැදිලි මදි වගේද ?

ඒ කියන්නෙ මේකයි..

ෂර්ලොක් හෝම්ස් කියන චරිතය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් 1893 දි පලවුණු The Final Problem කියන කෙටිකතා කීපයෙන් මරා දාන්න උත්සහ කරනවනෙ. ඒකට පාඨකයින් විරුද්ධ වෙන නිසා තමයි The Return Of Sherlock Holmes කියල හෝම්ස්ව නැවත ගෙන්වන්න ඩොයිල් විසින් තීරණය කරන්නෙ.

මේ කියන අවස්ථා දෙක තමයි අපි ප්‍රධාන විදියටම ෂර්ලි ගැන කතා කරද්දි සලකා බලන්නෙ.

මේ අවස්ථා දෙකෙන් ,

The Final Problem එහෙම නැත්නම් හැමෝම දන්න විදියට ඔබෙන් සමුගනිමි ඇතුලු ඊට පෙර ප්‍රකාශයට පත්වුන කතා වලදි අපි දැකපු ෂර්ලොක් චරිතය සහ The Return Of Sherlock Holmes කියන කෘතියෙ ඉදන් අපි දැකපු හෝම්ස්ගෙ චරිතය කියන්නෙ චරිත දෙකක් විදියට තමයි හඳුන්වන්නෙ.

ඒ කියන්න අපි මුල් කතා වලදි දැකපු ෂර්ලිව තමයි අපි නියම විදියට ෂර්ලොක් හෝම්ස් කියල හඳුන්වන්නෙ. The Return Of Sherlock Holmes වලින් පස්සෙ පාඨකයින්ට හඳුන්වා දුන්න ෂර්ලිව හඳුන්වන්නෙ ෂර්ලොක් 2.0 කියලයි.

ඒකට ප්‍රධානවම හේතුව වෙන්නෙ මේ කියන අවස්ථා දෙකේදි අපිට හෝම්ස්ගේ චරිතයේ පැහැදිලිවම දකින්න ලැබෙන වෙනස්කම්.
තරමක් දුරට සංවේදී,මෘදු, හිතවත් ගතිගුණ තියෙන ෂර්ලොක් හෝම්ස් කෙනෙක්ව තමයි අලිට Return Of Sherlock Holmes කියන තැන ඉදන් දකින්න ලැබෙන්නෙ. ඉතින් Copyright Law එකටත් මේ කියන කාරණාව තරමක් දුරට බලපෑවා ෂර්ලොක් හෝම්ස් චරිතයේ බුද්ධිමය හිමිකම් ගැන තීරණය කරද්දි සහ Enola Holmes වලට අදාල නීතිමය පියවර ගද්දි.
ඔන්න ඔය කියපු ෂර්ලොක් 2.0 චරිතය ඇතුලත් වුන අවසාන ෂර්ලොක් හෝම්ස් කතා පොත තමයි The Case Book of Sherlock Holmes කියල 1921 අවුරුද්දෙ සිට 1927 අවුරුද්ද දක්වා කෙටිකතා 12 කින් යුක්තව නිකුත් වෙන්නෙ.
ඉතින් මෙන්න මේ කියපු අවසන් පොතේ කෙටි කතා කීපය තමයි 2022 අවුරුද්දෙ අග වෙනකන්ම Copyright Law එකට යටත් වෙලා තිබුනෙ. හරියටම කිව්වොත් කෙටිකතා 12න් කෙටිකතා 9 ක් විතරයි ඒ විදියට මහජන අයිතියට පත්වෙලා තිබුනෙ නැත්තෙ.
2022 අවුරුද්ද අවසන් වෙනවත් එක්කම ඒ තිබුන සියලු නීතිමය කරුණු කාරණා අවසන් වුන නිසා 2023 අවුරුද්දෙ ඉදන් ඕනම කෙනෙක්ට දැන් ෂර්ලොක් හෝම්ස් ඇතුලු ඒ සෑම චරිතයක්ම සහ කතාවලට අදාල සෑම කාරණාවක්ම තමන්ගෙ අභිමතය පරිදි යොදාගන්න පුලුවන්.

තවටිකක් පැහැදිලි කරොත් මේ කියන්නෙ 2023 අවුරුද්දෙ ඉදන් ෂර්ලොක් හෝම්ස් හෝ හොම්ස් සම්බන්ධ කිසිම නිර්මාණයක අයිතිය ඩොයිල් සමූහයට තවදුරටත් නෑ කියන එකයි.
ෂර්ලොක් හෝම්ස් සම්බන්ධව ඩොයිලි සමූහයට තිබුණ සෑම නීතිමය අයිතියක්ම 2023 අවුරුද්දෙ ඉදන් අවසන් වෙනවා කියන එක තමයි ඉතින් මේ කියන්නෙ.

ඕන්න ඔය විදියට තමයි ඉතින් මේ පෝස්ට් එකට අදාල කාරණා ටික ඉවර කරන්න තියෙන්නෙ.
ඉතින් මේ විදියට යම්කිසි නිර්මාණයක අයිතිය මහජනතාව අතට පත්වෙනවා කියන ⁣දේ බැලූ බැල්මට හොඳයි කියල පෙනුනට මේකෙ සෑහෙන නරක පැත්තකුත් තියෙනවා. ඒක මං විස්තර කලේ නැති වුනාට ඔයාලටම තේරුම් ගන්න පුලුවන් දෙයක්. නිර්මාණ අයිතිය කියන දේට අදාල මූල්‍යමය කරුණු ටික වෙනම පැත්තකින් තියල නිර්මාණ ගුණාත්මකබව කියන කරුණු ගැන කතා කරොත් මේ කියන දෙයින් අපි ආදරය කරන හැම චරිතයකටම සෑහෙන ලොකු හානියක් වෙන්න පුලුවන්. හැබැයි ඉතින් මේ මොන නීතිය තිබුනත් ලෝකෙ අපික් ඇතුලුව බහුතරයක් රටවල්වල මේ කියන කිසිම නීතියක් වලංගු වෙන්නැති නිසා මේ නීති ගොඩක් දුරට ක්‍රියාත්මක වෙන්නෙ අදාල රටවල් තුල විතරයි. ඉතින් එහෙම බැලුවම මේ දේවල්වල අමුතුවෙන් හානි වෙන්න කියල දෙයක් මේ වෙද්දි ඉතුරු වෙලත් නෑ.

මේ වෙන විට මහජන අයිතියට පත් වෙලා තියෙන ප්‍රසිද්ධ චරිත කිහිපයක් තමයි මේ
•Tarzan
•Sherlock Holmes
•King Arthur
•Robin Hood
•Frankenstein Monster
•Aladdin

ඒ කොහොම වුනත් ඉතින් අපිට මේ බුද්ධිමය හිමිකම් නීති පද්ධතිය ගැන කතා කරන්න තියෙන්නෙ මේ කරුණු ටික තමයි. මේ පෝස්ට් එකේ තිබ්බ කරුණු අපි කලින් දාපු ඒවමයි. මේ පෝස්ට් එකට ගැලපෙන විදියට වචන පොඩ්ඩක් වෙනස් කරල විතරයි තියෙන්නෙ. මේ වෙද්දි ගොඩ දෙනෙක් මේ කියන දේවල් ගැන ටිකක් වැඩිපුර උනන්දුවෙන් කතා කරන නිසාම තමයි මේක අපි දාන්න හිතුවෙ.

එහෙනම් ඉතින් මේ දේවල් ගැන ඔයාලගෙ අදහසත් කමෙන්ට් කරගෙන යන්න❤️✌️

පස්සෙ සෙට් වෙමු❤️
මම ගිහින් එන්නම්.

✍️ Admin: #බ්ලැක්පැන්තර් • ශ්‍රී කොම්