පොරොන්දුවක්, බැඳීමක්, කැපවීමක් Guy Richie’s The Covenant (2023)

by Srimal

පොරොන්දුවක්, බැඳීමක්, කැපවීමක් Guy Richie’s The Covenant (2023)

Share

පොරොන්දුවක්, බැඳීමක්, කැපවීමක්

Guy Richie’s The Covenant (2023)

ජේක්ගෙ උණුම උණු චිත්‍රපටිය. ♥️ ජේක්ගෙ මුලින්ම බලපු චිත්‍රපටියේ ඉඳන් අන්තිමට බලපු Ambulance එක වෙනකල් වගේම ඉදිරියටත් ජේක්ගෙ සේරම චිත්‍රපටි Super hit movies වෙනවාමයි කියල මමම හිතාගෙන ඉවරයි. ඒ නිසා plot එක මොක වුණත් බය නැතුව ජේක්ගෙ ඕනම චිත්‍රපටියක් බලන්න පටන්ගන්න පුළුවන්. Ambulance එකෙන් පස්සෙ ජේක්ගෙ අනාගත චිත්‍රපටි ගැන තිබුණ පළවෙනි බලාපොරොත්තුව සාර්ථකයි.

මෙදා පාර ජේක් ගිලන්හෝල්, මාස්ටර් සාජන් ජෝන් කින්ලි. චිත්‍රපටිය අවසාන වෙනකල් මම දැනන් හිටියෙ නෑ මේක True story එකක් කියල. ඊටපස්සෙ මං කල්පනා කළා ඇත්තටම ලෝකෙ යුධ වාතාවරණයකදි සෙබළු මේ වගේ කැපකිරීම් කරල තියෙනවද කියල. විශේෂයෙන්ම පරිවර්තක අහමඩ්. 🥺 අහමඩ් කියන්නෙ තනිකරම ජෝන්ගේ වාසනාව. ජෝන් කියන්නෙ තනිකරම අහමඩ්ගේ වාසනාව.

තලෙයිබාන්කරුවන් දඩයම් කරමින් යන ගමනෙදි ඇමරිකානු හමුදාවට පරිවර්තකයෙක් විදිහට සම්බන්ධ වුණ මුස්ලිම් ජාතිකයෙක්ම වෙච්චි අහමඩ් ගැන මුලින් මුලින් ජෝන් වපර ඇහින් බැලුවත් අවසානේ ජෝන්ගෙ ජීවිතේ වෙනස් කරන්නෙත් අහමඩ්. ජෝන් කියන්නෙත් කළගුණ මතක තියන නිර්භීත යුධ සෙබළෙක්.

මේ චිත්‍රපටියෙ මැද භාගෙදි ජෝන් අහමඩ් ගැන විස්තර හොයද්දි මට මතක් වුණේ 'A Taxi Driver' කොරියානු චිත්‍රපටිය. යුද්ධයක් හා සමාන වාතාවරණයක් තුළ කොරියාවට ආපු ඇමෙරිකානු මාධ්‍යවේදියෙක්ව පරිස්සමින් වාර්තා කරන ප්‍රදේශයට එක්ක ගිහින් මැර කණ්ඩායම් වලටත් අහුවෙලා, ඒත් කොහොමහරි ආයෙමත් පණ පිටින් එයාව එයාගෙ මව් රටට යවන්න රියදුරා සමත් වෙනවා. අවුරුදු ගාණකට පස්සෙ අර මාධ්‍යවේදියා ආයෙමත් කොරියාවට එනවා ටැක්සි රියදුරාව හොයාගෙන. නමුත් ඔහුට රියදුරාව හමුවෙන්නෙ නෑ. ඔහු වීඩියෝ පටයක් නිකුත් කරනවා. "මේ වීඩියෝ පටයෙන් හෝ මට ඔබව යළිත් මුණගැසෙනවානම් මට බොහොම සතුටුයි. ඔබව මට සම්බන්ධ කරගත හැකිවුවොත් මම එවෙලෙම සෝල් නගරයට පැමිණ ඔබේ ටැක්සියෙන් අලුත් කොරියාව බලන්න යන්න එනවා." මේ සිදුවීම The Covenant චිත්‍රපටියට සම්බන්ධ නොවුණත් මමත් ජෝන් කින්ලිගෙන් දැක්කෙ තමන්ගෙ ජීවිතේ බේරපු යාළුවව හොයන්න වෙහෙසෙන අර ඇමෙරිකානු ජනමාධ්‍යවේදියාව. ♥️

Music ගැනත් විශේෂයෙන්ම සඳහකක් කළ යුතුයි. සාමාන්‍යයෙන් බොහෝ චිත්‍රපටි වල විවිධ සීන්ස් වලදි දෙන බැක්ග්‍රවුන්ඩ් මියුසික් ගැන ලොකුවටම අපේ හිතට කාවදින්නෙ නෑ. ඒත් මේ චිත්‍රපටියේ මියුසික් අදාළ තැනට නියමෙටම දීලා තියෙනවා සහ ඒක අපේ හදවතට දැනෙනවා. විශේෂයෙන්ම ඇටෑක් සීන් එකේදි.

The Covenant  මම බලපු හොඳම යුධ චිත්‍රපටිය නෙවෙයි. ඒත් ඒක මම බලපු හොඳ යුධ චිත්‍රපටියක්. 😇

ප.ලි: ඇමෙරිකානු හමුදාව සමඟ හවුල් වීම නිසා පරිවර්තක නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් 300කට අධික පිරිසක් තලෙයිබාන්වරුන් විසින් ඝාතනය කර ඇත.

✍️ එරංදි කෞශල්‍යයා • ශ්‍රී කොම්

TheCovenant #JakeGyllenhaal