මෙම ඡායාරූපය ශ්‍යාම් ප්‍රනාන්දු විසින් මීට සුළු වෙලාවකට ප්‍රථම සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ බෙදාගෙන තිබුණා. ආරංචි ලැබෙන විදියට ප්‍රසන්න විතානගේ විසින් මලයාලම් චිත්‍රපටියක් කරන බවත්, එහි ප්‍රධාන නලු නිළියන් ලෙස අපේ ශ්‍යාම් ප්‍රනාන්දු සහ ඉන්දියානු මලයාලම් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් වන දර්ශනා රාජේන්ද්‍රන් හා රොෂාන් මැතිව් යන අය සම්බන්ධ වන බවත් දැනගන්න ලැබුණා.
ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ගාඩි චිත්‍රපටිය මේ දිනවල ඉතා සාර්ථකව තිරගත වෙනවා. එහි කැමරාකරණය, සංගීතය හා සංස්කරණය සඳහා සම්බන්ධ වී සිටියේත් ඉන්දියානු සිනමාවේ ප්‍රවීණ ශිල්පීන් කිහිපදෙනෙක්. විශේෂයෙන්ම කැමරා ශිල්පී රජීව් රවී යනු මලයාලම් සිනමාවේ Annayum Rasoolum, Kammatti Paadam හා ඉදිරියේදි තිරගත වීමට නියමිත නිවින් පෝලි රංගනයෙන් එක්වන Thuramukham යන චිත්‍රපටිවල අධ්‍යක්ෂකවරයාය. සංගීත ශිල්පී K සහ සංස්කරණ ශිල්පී ශ්‍රීකර් ප්‍රසාද් පවා මලයාලම් සිනමාවේ යාවජීව සාමාජිකයන් වෙති. ඒ අනුව ප්‍රසන්නගෙ මලයාලම් සබඳතා එක්වරම ප්‍රාදූර්භූත වූ ඒවා නොවන බව කිය යුතුය.
නමුත් මේ ඉදිරියට පැමිණීමට නියමිත සිනමාපටය ලාංකීය ප්‍රේක්ෂයන්‍ට තවත් සුවිශේෂී වන්නේ, මෙහි දර්ශනා සහ රොෂාන් මැතිව්ද රංගනයෙන් දායක වීමයි. ඔවුන් මලයාලම් සිනමාවේ තරුණ, ජනප්‍රිය රංගන ශිල්පීන් වෙති. විශේෂයෙන්ම පසුගිය කාලයේ Hridayam චිත්‍රපටියේ දර්ශනා නම් චරිතය ඔස්සේ දර්ශනා රාජේන්ද්‍රන් විසින් ලාංකීය රසික ප්‍රජාවේ සිත් ඇඳ බැඳ ගන්නා ලදි. රොෂාන් මැතිව් ද Anandam, Kappela වැනි චිත්‍රපටි හරහා ලාංකීය රසික ප්‍රජාව වෙත පැමිණි රංගන ශිල්පියෙකි.
ඉතින් මෙය සැබවින්ම සුබ කාරණාවකි. අපේ සිනමා නිර්මාණකරුවකු විසින් මලයාලම් රංගන ශිල්පීන් හා අපේ රංගන ශිල්පීන්ද යොදාගෙන, මලයාලම් සිනමා පටයක් නිර්මාණය කිරීම සැබවින්ම සුබ කාරණාවකි. මෙය තවත් එක් ‘ජාත්‍යන්තරයට යෑමක්’ නොවේ. මෙය නිර්මාණාත්මක වශයෙන් අප ලබන ජයග්‍රහණයකි. මලයාලම් වැනි දියුණු, කලාත්මක සිනමාවක් සමග අපේ සිනමාවටද පෑහීමට ලැබෙන අවස්ථාවකි. අපේ සිනමාවට එහි ප්‍රේක්ෂකාගාරයක් තනා ගැනීමට ලැබෙන අවස්ථාවකි. ලංකාවේ වෙසෙන මලයාලම් රසිකයන්ටත් ලැබෙන මහඟු අවස්ථාවකි.
චිත්‍රපටිය පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී ගෙන එන්නම්. ජය වේවා!
Ruwishan Wimukthi