නෝලන්ගේ සිනමා පරමාණුව (Oppenheimer movie Sinhala review)

by Srimal

නෝලන්ගේ සිනමා පරමාණුව (Oppenheimer movie Sinhala review)

Share

නෝලන්ගේ සිනමා පරමාණුව 🎥💣💥

❝දිවි සූර්ය සහශ්‍රස්‍ය භවේද් යුගපද් උත්තිථා
යදී භා සද්‍රිශි සා ස්‍යාද් බාසස් තස්‍ය මහත්මනහ...❞
(සූර්යයන් දහසක දීප්තිය එකවරම අහසට කඩා වැටුණොත්,
එය බලවන්තයාගේ තේජස මෙනි.)
[භගවත් ගීතාව: 11 වන පරිච්ඡේදය, 12 පදය]

මෙහෙම කිව්වොත් ඔබට එකවරටම වැටහෙයිද... නැතිනම් උඩ බිම බලයිද...?

එහෙමත් නැතිනම් මෙහෙම කිව්වොත්...

❝කාලෝස්මි ලෝක-ක්ෂය-ක්‍රිත් ප්‍රවිද්ධෝ
ලෝකාන් සමහර්තුම්-ඉහා ප්‍රවිත්ථහ...❞
(මම ලෝක විනාශ කරන්නා වූ, මරණය බවට පත් වෙමි.)
[භගවත් ගීතාව: 11 වන පරිච්ඡේදය, 32 පදය]

ක්‍රි.ව. 1945 ජූලි 16 වෙනි දින ලොස් ඇලමොස්, ඇලමගෝර්ඩෝ, නිව් මෙක්සිකෝ හිදී සිදු කළ, "ට්‍රිනිටි" නම් කේතනාමය ලද ලොව පළමු න්‍යෂ්ටික පිපුරුම සිදුවන අවස්ථාවේදී, ආචාර්‍ය ඕපන්හයිමර් සිහි කළා යයි කියන උපනිෂද් ද්විත්වය තමයි ඒ...

ඔබ වඩා හොඳින් දනීවි මෙහෙම කිව්වොත්...
❝Now I am become Death, the destroyer of worlds.❞

ජූලියස් රොබර්ට් ඕපන්හයිමර්... න්‍යෂ්ටික බෝම්බයේ පියා... ඇමරිකානු ප්‍රොමීතියස්...

ඊයේ දින ලොවපුරා තිරගත කිරීම ඇරඹූ නෝලනියානු විශ්වයේ නවමු සිනමාපටයේ ප්‍රධාන චරිතයයි ඔහු. නමුත් මේ සූදානම ඔහුගේ ජීවිත කතාව දිගහරින්නට නෙවෙයි... මොකද ඒ කාර්‍යය ක්‍රිස් නෝලන් ලොවපුරා බොහොම හොඳින් කරගෙන යන නිසා... මේ වන විට 93%/94% කුණු තක්කාලි අගයක් සහ 8.9ක IMDB අගයක් හිමි කරගෙන සිටින ඕපන්හයිමර්, පළමු දිනය අවසානයේ ඇ.ඩො. මිලියන 10.5 ක ආදායමක් උපයා තිබෙනවා.

සුපුරුදු පරිදි නෝලන් ඔහුගේ රසිකයන්ව නොසෑහෙන්න නොමග යවනවා... මම බලාපොරොත්තු වුණේ රේඛීය ආකාරයේ කතාන්දරයක් වුණත් ඒකෙන් නම් සුපුරුදු පරිදි නෝලන් ඔබව අන්දනවා. Unexpected Moments සහ unexpected movements ඇති තරම් තිබෙනවා...

සිනමාපටයේ ආරම්භයේදීම නෝලන් ඔබට දෘෂ්ඨි කෝණයන් (POV) දෙකක් හඳුන්වා දෙනවා. පළමුවැන්න Fusion හෙවත් විලයනය... දෙවැන්න Fission හෙවත් විඛණ්ඩනය... දැන් ඔබ සිතාවි කොහොමද රසායනික ප්‍රතික්‍රියාවක් හරහා ෆිල්ම් එකක් බලන්නේ කියල... ඒ තමා නෝලන්ගේ විදිහ... මේ ක්‍රියාවලීන්ට මුල් වන්නේ කවුරු කවුරුද කුමන අවස්ථාවේද කියා වටහා ගැනීම ඔබ සතුයි... (POV 2 පටලගන්නෙ නැතුව බලන්න ඕන... නැතිනම් ඔබට තව මාස 3ක් එනකම් ඉන්න වේවි... නැතිනම් ආයෙත් වතාවක් බර ගණනක් වියදම් කරලා සිනමා ශාලාවකට යන්න වේවි... )

කතාවේ මුල් භාගය දිවෙන්නේ ඕපන්හයිමර්ගේ මානසික තත්වය පදනම් කරගෙනයි. එය ඇත්තෙන්ම පෞද්ගලිකයි, හැඟීම්බරයි, සීතලයි, අඳුරුයි, අපහසුදායකයි... නමුත් කතාවේ උච්චයෙන් පසුව ඔබව අහසට උස්සා පොළොවට අතහැර පෑගුවා වැනි හැඟීමක් දැනේවි. දෙවන භාගය තරමක් තාර්කිකයි, වඩ වඩාත් නොමග යවන සුලුයි, උණුසුම්, වේගවත්... එහි අවසානයේදී නෝලන් පොරොන්දු වූ ලෙසම Inception වැනිම සංකීර්ණ අවසානයක් අපට ලබාදෙනවා.

ලෝක ඉතිහාසයේ මතභේදාත්මක, ජර්මානු-යුදෙව් සම්භවයක් හිමි න්‍යායාත්මක භෞතික විද්‍යාඥ ජීවිතයට පණ පොවන්නේ අයිරිෂ් ජාතික රංගධර කිලියන් මර්ෆි. අපේ තෝමස් ශෙල්බි... Yes he is Academy Desreved...

මෙතෙක් මර්ෆි නෝලනියානු විශ්ව රසිකයන් හට අමතක නොවන චරිත හයක් රඟ දක්වා තිබෙනවා. ඉන් පහකම ඔහු ප්‍රහාරයට ලක් වන්නාගේ භූමිකාවයි නිරූපණය කළේ... නමුත් මෙවර ඔහු නිරූපණය කරන්නේ පහර දෙන්නාගේ චරිතයයි.

නමුත් ඔහු ඇත්ත වශයෙන්ම පහර දෙන්නාද වින්දිතයාද යන්න තීරණය කිරීම ඔබ සතුයි. මොකද...

ප්‍රොමිතියස්ට අවස්ථාවක් ලැබුණොත්, දෙවියන්ගෙන් ආයෙම වතාවක් ගින්දර හොරකම් කරලා මනුෂ්‍යයාට දෙන්න... කොපමණ දඬුවම් විඳින්නට සිදුවුණත් ඔහු එය නොපැකිළව කරාවි...

So as Robert Oppenheimer...

මාවල් රසිකයින් අතර සුප්‍රසිද්ධ අයන් මෑන් පණගන්වන රොබර්ට් ඩව්නි ජූනියර් ඕපන්හයිමර්හි ලුවිස් ස්ට්‍රෝස් නම් AEC සාමාජික ඇමරිකානු කෝටිපති ව්‍යාපාරිකයාගේ භූමිකාව දරනවා. Chaplin සහ Tropic Thunderහි ඔහුගේ රංගනය පරදා මෙවර ඩව්නිගෙ ස්ට්‍රෝස් චරිතය රසික සිත දිනන බව විශ්වාසයි. ඔහුගේ ස්වරූපය මට සිහිපත් කළේ ජෙරමි අයන්ස්ව... ස්ට්‍රෝස්ගේ හැසිරීම නම් සුපිරි... කම්මැලි නැතිව බලා ඉන්නට පුළුවන්... He is too Academy Deserved!

ෆ්ලොරන්ස් පියූ, මැට් ඩේමන්, එමිලි බ්ලන්ට්, කෙනත් බ්‍රනා, රැමී මලෙක්, කේසි ඇෆ්ලෙක්, ඩේන් ඩීහාන්, ඩෙවෝන් බෝස්ටික්, ගැරී ඕල්ඩ්මන්, ටෝනි ගෝල්ඩ්වින්, ඩේවිඩ් ඩස්මැල්ෂියන් වැනි සුපුරුදු මුහුණු බොහොමයක් ඔබට හමුවේවි.විශේෂයෙන්ම ජොෂ් හානට්ගේ රංගනය අමතක කළ නොහැකියි. ඔහු ඉතා ප්‍රශංසනීය ලෙස අර්නස්ට් ලෝරන්ස්ගේ චරිතයට පණ පොවනවා. එමෙන්ම බෙනී සැෆ්ඩිගේත්, ජේසන් ක්ලාක්ගේත් රංගනයන් අති විශිෂ්ඨයි...

ට්‍රිනිටි පිපුරුම තව ටිකක් දරුණු වුණා නම් හොඳයි කියායි මගේ පෞද්ගලික මතය... පිපුරුමත්, 1.58 අංකයත් අතර රහස සොයාගැනීම ඔබට භාරයි.

සිනමාපටය පුරා ශබ්ද පරිපාලනය තරමක් මදි බවක් දැනුණා. ඇතැම් අවස්ථාවල inconsistent background score දැනුණත් සමස්තයක් වශයෙන් සිනමාපටය පුරා පසුබිම් සංගීතය ඉතා හොඳින් භාවිතා කරලා තිබෙනවා.

සිනමා විෂුවල්ස් ගින්දර.... 🔥 වේශ නිරූපණය අනභිභවනීයයි.... කැමරා කෝණ භාවිතය ගැන නම් කියන්න වචන නෑ... අති සුපිරි... Netflix, Diversity හෙවත් විවිධත්වය ගැන ඔබලා ඉගෙන ගන්න නෝලන්ගෙන්! Woke නොවී විවිධත්වය භාවිතා කරන විදිහ!

මුළු සිනමාපටයම සුන්දර නමුත් තාර්කික සිහිනයක්... ඔබ සිනමාශාලාවකම විඳගත යුතු සිහිනයක්... නෝලන් රසිකයෙක් වේවා නොවේවා, ඔබ ඒ අත්දැකීම ගැන පසුතැවිලි නොවන බව නම් ස්ථිරයි. ( ඒත් අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා එක්ක නම් යන්න එපා. ඔව් ඒක තියෙනව හැබැයි තිබිය යුතු ප්‍රමාණයට... 🤭) මගේ පෞද්ගලික මතයට අනුව ගත්තොත් 9.9/10 මම යෝජනා කරනවා ඕපන්හයිමර් වෙනුවෙන්. Barbie චිත්‍රපටය ලෝකය පුරා වඩාම ආදායම උපයාවි, නමුත් ඒත් ඕපන්හයිමර් මේ ලෝකය ඉවර වෙනකම් මිනිස්සුන්ගේ ඔලුවෙ ඇතුළේ හොල්මන් කරාවි. So the world will remember this movie...

The World will remember this day!

ඉතින් Oppenheimer සියල්ලන්ටම නිදහස් වූ පසුව අපි ඒ ගැන ගැඹුරින්ම කතා කරමු. එතෙක්...

❝…එතකොටත් ඔබ විශ්වාස කළාද දාම ප්‍රතික්‍රියාව නොනැවතී සිදු වේවි කියලා...❞
❝මම විශ්වාස කරනවා අපි එහෙම කළා කියලා!❞

✍️Admin: අයේෂා අනුරුද්ධ • ශ්‍රී කොම්