ලන්දේසීන් ගෙන ගිය මහනුවර රාජධානි සමයේ කෞතුක භාණ්ඩ 6ක් නෙදර්ලන්තය යළි මෙරටට ලබාදෙයි.

by Yashitha Bhashana

ලන්දේසීන් ගෙන ගිය මහනුවර රාජධානි සමයේ කෞතුක භාණ්ඩ 6ක් නෙදර්ලන්තය යළි මෙරටට ලබාදෙයි.

Share

🏴‍☠️| Netherlands to return looted colonial-era treasures to Sri Lanka. 🇳🇱➡️🇱🇰

වසර 156ට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයන්හි යටත් විජිත පාලනයක් ගෙන ගිය ලන්දේසීන් 1765 දී සෙංකඩගල රජ මාලිගාව වටළා ඇති අතර, එහි තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් එවකට ඕලන්දය වූ වර්තමාන නෙදර්ලන්තයට ගෙනගොස් තිබේ.

යටත්විජිත කෞතුක භාණ්ඩ ආපසු භාරදිය යුතුය යන්න පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹි නෙදර්ලන්තය ඒ වෙනුවෙන් පර්යේෂණයක් පවත්වා ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥ කණ්ඩායමක් ද එක්ව තිබේ. එම පර්යේෂණය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අවසන් වී තිබේ.
ශ්‍රී ලංකාවට අමතර ව ඉන්දුනීසියාවට අයත් කෞතුක භාණ්ඩයන් ද එලෙස ලබා දීමට නියමිත නමුත්, ශ්‍රී ලංකාවට නෙදර්ලන්තය විසින් එසේ කෞතුක භාණ්ඩ ලබාදෙන්නේ පළමු වරටයි.
නෙදර්ලන්තයේ රිජික්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණායැ යි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හය මහනුවර රාජධානි සමයට අයත් වූ ඒවා බව හෙළිදරව් වී තිබේ.

සිදු කළ පර්යේෂණ සොයාගැනීම්වලට අනුව මෙම කස්තාන දෙක රාජකීය වැඩපලෙහි නිර්මාණය කළ ඒවා ය. මනරම් ලෙස කැටයම් කළ පිහිය ද 18 වැනි ශත වර්ෂයේ කන්ද උඩරට ශිල්පීන්ගේ දක්ෂතාවන් මනාව පෙන්නුම් කරන අතර, එය උඩරට රාජකීය ඇඳුම් පැළඳුම්වල එක් අංගයක් ද වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
මහනුවර යුගයට අයත් මහ තුවක්කු දෙක ද මනා ලෙස කැටයම් කළ ඒවා බවත්, මේවා ශ්‍රී ලාංකේය තුවක්කු තාක්ෂණය පිළිබිඹු කරන අද්විතීය නිර්මාණ බවත්, කිලෝග්‍රෑම් 28ක් බැගින් යුක්ත වූ මෙම මහ තුවක්කු දෙක උඩරට රජුගේ බලඇණි විසින් භාවිතා කළ ජංගම බර අවි පිළිබඳ කදිම සාක්ෂි සපයන බවත් එහි සඳහන් ය.
රිදී, රත්‍රන් සහ මැණික්වලින් අලංකාර කරන ලද, ලෙව්කේ දිසාවගේයැ යි සැලකෙන කාල තුවක්කුව ද සුවිශේෂී කෞතුක භාණ්ඩයක් වන අතර, ලියවැල්, කල්ප වෘක්ෂය, නාරිලතා වැනි උඩරට මෝස්තරවලින් අලංකෘත ඒවා ලෙව්කේ දිසාව විසින් තෑගි කරන ලද්දක් බවට සටහනකින් ද සමන්විත බව ද මාධ්‍ය නිවේදනයේ සඳහන් ය.
ඉහත භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට භාර දෙන බවට 2023 ජුලි මස 06 වැනි දින ගැසට් නිවේදනයක් මඟින් නෙදර්ලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

Via: BBC News