බෙන්නූ ග්‍රහකයෙන් ලබාගත් සාම්පල වසර 7කට පසුව පෘථිවියට ගොඩබසී..

by Yashitha Bhashana

බෙන්නූ ග්‍රහකයෙන් ලබාගත් සාම්පල වසර 7කට පසුව පෘථිවියට ගොඩබසී..

Share

☄️| NASA lands ancient asteroid sample in utah desert after 7-year mission.

2175දී පෘථිවියේ ගැටීමට නියමිත බෙන්නූ නම් ග්‍රහකයෙන් ලබා ගත් එහි පාෂාණ කොටස් සාම්පලය රැගත් අභ්‍යාවකාශ යානය පසුගියදා සාර්ථකව පෘථිවිය වෙතට ගොඩ බෑවා. වසර හතක කාලයක් පුරා ක්‍රියාත්මක වූ OSIRIS-REx මෙහෙයුම පසු (24) සාර්ථක ලෙස නිමාව දුටුවා. ඒ එහි අවසන් ඉලක්කය වූ බෙන්නූ ග්‍රහකයෙන් ලබාගත් සාම්පල පෘථිවිය මතට ගොඩබස්වමින්.

NASA ආයතනය විසින් 2016 දී අභ්‍යවකාශගත කෙරුණු OSIRIS-REx හෙවත් ‌”Origins, Spectral Interpretation, Resource Identification, Security, Regolith Explorer” මෙහෙයුමේ ඉලක්කය වූයේ Bennu නමින් හැඳින්වෙන පෘථිවියට ආසන්නයේ පිහිටා ඇති 2175දී පෘතුවියේ ගැටේයැයි සැක කරන ග්‍රහකය අධ්‍යයනය කිරීමයි. 2018 දී ග්‍රහකය වෙත ළඟා වූ එය ඒ වටා කක්ෂගත වෙමින් ගොඩබැසීමට සමත් වූයේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසු වයි. එය සිතූ තරම් පහසු කටයුත්තක් වී නො තිබුණේ ග්‍රහකයේ පෘෂ්ඨය උපකල්පනය කර තිබූ පරිදි මෙහෙයුමට උචිත භූ ලක්ෂණ ප්‍රකට නො කරන බව පෙනී යාම නිසයි. කෙසේ නමුත් යානයේ ගොඩබෑමේ ක්‍රියාපටිපාටිය නැවත කේතනය කිරීමෙන් එය ග්‍රහකය මත ගොඩබැස්වීමට OSIRIS-REx කණ්ඩායම සමත් වී තිබුණා.

2020 දී ග්‍රහකයෙන් සාම්පල රැස් කිරීම සිදු වුණු අතර 2021 දී එය පෘථිවිය බලා ආපසු ගමන ඇරඹුවා. OSIRIS-REx පෘථිවියේ සිට බෙන්නූ දක්වාත්, එහි සිට යළි පෘථිවිය දක්වාත් පියාසර කළ මුළු දුර ප්‍රමාණය සැතපුම් බිලියන 3.86ක්.

පෘථිවියෙන් කිලෝමීටර 102,000ක් ඈතින් තිබිය දී OSIRIS-REx යානයෙන් අවුන්ස 8.8ක ග්‍රහක සාම්පල රැගත් කැප්සියුලය වෙන් වුණු අතර පැයට කිලෝමීටර 44,498ක වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ අතර අවසන් අදියරේ දී එහි ප්‍රවේගය පැයට කිලෝමීටර 11 දක්වා අඩු කරමින් පැරෂුටයක් ආදාරයෙන් ගොඩබැස්සවීය. ඒ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යුටා කාන්තාරයේ පිහිටි පරීක්ෂණ සහ පුහුණු අඩවිය වෙතටයි. (Utah Test and Training Range)

මෙම සාම්පල කොටස් මේ වන විට ඉහත සඳහන් පරීක්ෂණ ආයතනයේ විද්‍යාගාරයක අධි-පිරිසිදු කාමරයක වෙන් කොට තබා තිබෙන අතර ඒවායේ රසායනික දත්ත වාර්ථා ඉදිරියේදී පරික්ෂන කටයුතුවලින් අනතුරුව ප්‍රකාශයට පත් කරයි.

පෘථිවියට ඉහළින් සාම්පල අඩංගු කැප්සියුලය අත් හල OSIRIS-REx යානය තවත් ග්‍රහකයක් අධ්‍යයනය කිරීමට පිටත්ව තිබෙනවා. මෙවර එහි ඉලක්කය වී ඇත්තේ Apophis නම් ග්‍රහකයයි. එම නිසා මෙහෙයුමේ නාමය OSIRIS-APEX හෙවත් Origins, Spectral Interpretation, Resource Identification, Security-APophis EXplorer ලෙස වෙනස් කර තිබෙනවා.