මෙටා, ටික්ටොක්, x ඇතුළු දැවැන්ත සමාජමාධ්‍ය සමාගම් වල ප්‍රධානීන් රැසක් සෙනෙට් සභාව විසින් කැදවයි.

by Randinu Jayarathne

මෙටා, ටික්ටොක්, x ඇතුළු දැවැන්ත සමාජමාධ්‍ය සමාගම් වල ප්‍රධානීන් රැසක් සෙනෙට් සභාව විසින් කැදවයි.

Share

මෙටා, ටික්ටොක් ඇතුළු දැවැන්ත තාක්ෂණික සමාගම් වල ප්‍රධානීන් රැසක් සෙනෙට් සභාවක් විසින් කැඳවයි

පසුගියදා (31) ලෝකයේ විශාලතම සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රධානීන් හට ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාව මගින් කැඳවීමක් ලැබී තිබුණු අතර ඒ සමාජ මාධ්‍ය හරහා ළමුන්ට සිදු වෙමින් පවතින අයහපත් බලපෑම් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහායි. මෙලෙස Meta, Snapchat, TikTok වැනි සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් වන Mark Zuckerberg, Evan Spiegel සහ Should Zi Chew වැනි ප්‍රධානීන් රැසක් කැඳවා තිබුණු අතර මෙහි දී මෙම සමාජ මාධ්‍ය සමාගම් මූල්‍යමය ලාභ පමණක් අපේක්ෂාවෙන් ළමුන් සඳහා ගත යුතු ආරක්ෂක විධිවිධාන ගැන නොතකා සිටීම පිළිබඳව චෝදනා එල්ල විය.

රිපබ්ලිකන් සෙනෙට් සභික Lindsey Graham මහතා ආයතන ප්‍රධානීන් අමතමින් විශේෂයෙන් Meta ප්‍රධානී Mark Zuckerberg අමතමින් ප්‍රකාශ කළේ ඔවුන් "ඔවුන්ගේ අත්වල ලේ තවරාගෙන ඇති" බවයි. ඔහු එසේ පැවසූවේ සමාජ මාධ්‍ය තුළ දිනෙන් දින ඉහළ යන ලිංගික සූරාකෑම් හා ලිංගික අතවර වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වූ බවට ද චෝදනා එල්ල කරමිනි. මෙම සාකච්ඡාව අතරතුර සෙනෙට් සභාව විසින් වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කළ අතර එහි දී මෙවන් සංවේදී සිදුවීම් නිසා අසාධාරණයට ලක් වු ළමුන්ගේ අත්දැකීම් කිහිපයක් ඇතුළත් විය.

අධිකරණ කමිටුවේ ඩිමොක්‍රටික් සභාපති සෙනෙට් සභික Dick Durbin විසින් සමාජ මාධ්‍ය තුළ වැඩිවෙමින් පවතින කුඩා ළමුන් ඉලක්ක කරගත් ලිංගික අල්ලස් ගැනීම්, ලිංගිකව බ්ලැක්මේල් කිරීම පිළිබඳව අවධාරණය කරමින් පැවසුවේ මීට තාක්ෂණයේ පුළුල් දියුණුව හේතුවක් වී ඇති බව යි. මෙම අවස්ථාවේ දී මෙලෙස අපයෝජනයට ලක් වූ ළමුන්ගේ දෙමව්පියන් පිරිසක් ද දැකගත හැකි වූ අතර ඔවුන් සමාජ මාධ්‍ය ජාලා නිසා හානියට පත් වූ තම දරුවන්ගේ ඡායාරූප අතැතිව සිටින අන්දමද දැකගත හැකි විය.

මෙහි දී Mark Zuckerberg දැඩි ප්‍රශ්න කිරීම් වලට ලක් වූ අතර සෙනෙට් සභික Josh Hawley විසින් ඔහුට අගතියට පත් දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලා සිටින ලෙසට අභියෝග කරන ලදී. ඉන්පසු Zuckerberg විසින් අගතියට පත් පාර්ශවයන්ගෙන් සමාව ඉල්ලා සිටි නමුත් ඔහුගේ ආයතනයට එල්ල වූ චෝදනා කිසිවක් සම්පූර්ණයෙන් භාර නොගෙන සිටීමත් විශේෂත්වයක්. ඉන් පසු සෙනෙට් සභාව විසින් ඊමේල් පණිවුඩ කිහිපයක් ප්‍රදර්ශනය කළ අතර එහි Mark වෙත Meta සමාගමේ යෙදුම් වල ආරක්ෂිත උපක්‍රම වැඩිදියුණු කිරීම සඳහා ඉල්ලුම් කරමින් එවා තිබූ පණිවුඩ Mark විසින් ප්‍රතික්ෂේප කර තිබූ අන්දමද හෙළි විය. මෙහි දී 𝕏 (Twitter) CEO Linda Yaccarino පැවසුවේ ඔවුන් STOP CSAM නම් නීතිමාලාවකට යටත් ව ක්‍රියා කරන බවත් අනෙක් තාක්ෂණික සමාගම් ද වගකීම්සහගත අයුරින් ළමා අපයෝජනයන් වලට එරෙහි ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

තව ද මෙහි දී TikTok යෙදවුම හරහා ළමුන්ගේ මානසික සෞඛ්‍ය වෙත එල්ල වී ඇති බලපෑම පිළිබඳව කරුණු ඉදිරිපත් වූ අතර TikTok හි ප්‍රධාන විධායක නිලධාරියා විසින් සඳහන් කළේ ඔවුන් සතුව මිලියන 170 කට අධික මාසික ඇමරිකන් පරිශීලකයින් ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් තම පරිශීලකයන්ගේ විශ්වාසය රැකගැනීම සඳහා මෙන්ම ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2 කට වඩා වෙන් කිරීමට සූදානමින් සිටින බවත් ය.

මේ පළිබඳව වාර්තා කරමින් CNN ලිපියක සඳහන් කර තිබුණේ මෙම තාක්ෂණික සමාගම් විසින් රජය සතුටු කිරීම සඳහා විශාල මුදලක් වැය කරන බවත් එම නිසා ඔවුන්ව නිසි පරිදි පාලනය කිරීමට රජය අසමත් වී ඇති බවත් ය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසු සමාජ මාධ්‍ය තුළ ළමා ආරක්ෂණය පිළිබඳව වෙනස්කම් රැසක් සිදුවනු ඇත.