කන්දක් සේමා review

by Srimal

කන්දක් සේමා review

Share

කන්දක් සේමා චිත්‍රපටයට අන්තර්ජාලයේ පළවන පළවෙනිම review එක.

අවුරුදු හත අටක් පුරාවටම කලඑළි බහන්න දින ගණන් කර කර ඉඳලා “කන්දක් සේමා” එළියට බහින්න සූදානම්. ඊයේ එහි විශේෂ මාධ්‍ය දර්ශනය නරඹන්න මටත් හැකි වුණා. පොත නොකියවා තිබුණත් වසර ගණනක් පුරා විටින් විට දැකපු ජපානයේ අතිශය සුන්දර දර්ශන නිසාම චිත්‍රපටිය එනකල් හිටියේ නොඉවසිල්ලෙන්... ඒත් ඊයෙ චිත්‍රපටිය බලන්න ඕන නිසාම මම 'සුමිත්‍රා රාහුබද්ධ' ඒ විශිෂ්ඨ කතුවරිය අතින් ලියවුණු 2010 වසරේදී ස්වර්ණ පුස්තක සම්මානය,
ගොඩගේ සාහිත්‍ය සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය, රාජ්‍ය සාහිත්‍ය සම්මානය හා අලුත් පියාපත් යන සම්මාන සියල්ලම දිනාගත් 'කන්දක් සේමා' පොත පුළුවන් තරම් කියවල ඉවර කරනව කියල හිතාගෙන කියවන්න ගත්තා.

වාසනාවට මම කියවපු ඒ පිටු පනහා ඇතුළතම තමයි චිත්‍රපටියත් ගොඩනැගිලා තිබුණේ. ඒ නිසා වැඩියමක් නොපෙන්නුවත් මේ අහවල් චරිතය කියල හඳුනගන්න මහ ලොකු අමාරුවක් වුණේ නෑ.

'නූපා..' අවිවාහක නාකි පිරිමි පිරුණ නීගතාවේ එහෙව් නාකි මිහෙක්ව කසාද බැඳලි ජපානෙට ආපු ලස්සන කෙල්ලෙක්. පොතේ නූපාට චිත්‍රපටියෙදි පණ පොවන්නෙ නිරෝෂා පෙරේරා. නිරෝෂා හරි ලස්සනයි. චිත්‍රපටියේ හැමතැනකම.

නිරෝෂා ගැන මතක් කරද්දි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ දෙයක් තියෙනවා. පොතේ කතෲ සහ චිත්‍රපටයේ විධායක නිශ්පාදකවරිය ප්‍රකාශ කරල තිබුනා නූපාගේ චරිතයට නිරෝෂා ගැලපෙන්නේ නෑ කියල බොහොමයක් පාර්ශවවලින් චෝදනා එල්ල උනා සහ රූගත කිරීම් සඳහා ජපානයට යාමට වීසා ලබාගැනීමට අයැදුම් කිරීම සඳහා පොලීමේ සිටියදී පවා දුරකථන මාර්ග ඔස්සේ නිරෝෂව එම චරිතයෙන් ඉවත් කරන මෙන් බලපෑම් කල බවට.. මම හිතන්නේ ඒ චෝදනා කරපු අය නිරෝෂා ඒ චරිතයට ගැලපෙන්නේ නෑ සහ ඒ වගේ චරිත රඟපාන්න බෑ කිව්ව පිරිස අනිවාර්යයෙන්ම කන්දක් සේමා නැරඹිය යුතුමයි. නිරෝෂාගේ රංගන ජීවිතයේ විශිෂ්ටතම චරිත නිරූපණය ඔවුන් නැරඹිය යුතුමයි.. ඒ සියල්ලන්ටම නිරෝෂා තම රංගනය හරහා පිළිතුරු දී තිබෙනවා.

එක්තරා යුගයක් තිබුණා ජපානයේ මහළු ගොවීන්ට ආසියාතික රටවල තරුණියන් විවාහ කර දෙන. මෙම විවාහ හරහා ඒජන්ත වරු බොහෝ මුදල් සරි කර ගත්තා. දුගී දුප්පත් තරුණියන් වගේම කිසියම් හිරිහැරයකට ලක්වූ තරුණියන්ද මෙබදු විවාහ කරගෙන ජපානයට ගියා. නුපා ජපානයට ගියෙත් එබදු කාරණාවක් නිසයි.
මෙය එක්තරා ආකාරයක සමාජ දේශපාලන කතාවක්.

ඒත් මේක පොත ආභාෂය කොටගෙන නිර්මාණය වූවක් මිසක පොතමයි කියල හිතාගෙන චිත්‍රපටිය බලන්න එපා. මොකද පොතේ ටිකක් බර තැන් චිත්‍රපටියෙදි වෙනස් කරල තියෙනවා. උදාහරණයකට නූපා මසායා සන්ව කසාද බැඳලා දවස් තුනකට පස්සෙ තනියම ජපානයට ගිහින් එයාපෝට් එකේදි එකම වගේ ජපන් මූණු ගොඩක් අතරේ තමන්ගෙ සැමියව හොයද්දි කුණු කෙලත්, කබ තලිත් පුරෝගෙන ඇය ගාවට ආපු මසායා සං චිත්‍රපටියේ හිටියෙ නෑ. හිටියේ පොතේ වගේම ප්‍රථම වතාවට නූපාව කැන්දන් නීගතාවේ ගෙදර ගිය හැටියේ මෙට්ටයට වැදිලා රෙද්දක් පොරවන් නිදාගත්තු මසායා සං. කොළඹ හැදිලා වැඩුණත් අහිංසක දුප්පත් ගති තියෙන නූපා පොතේ අත් කොට හැට්ටයකුත් විලුඹ ගාවට දිග සායකුත් ඇඳන් ජපානෙට ගියාට මේ නූපා ගියේ ලස්සන ඔසරියක් ඇඳලා.
ඒ වගේ පොඩි තැන් ඇරෙන්න ඉතුරු සංසිද්ධීන්නම් පොතේ හැටියට පෙලගස්සවල තිබුණා. මේකෙ සුළු චරිතවලට හිටියත් සුමල් වුණ බිමල් ජයකොඩි, දිස්නා වුණ ජයනි සේනානායකගේ රංගනයන් ගැන කිසිවක් කියන්න වුවමනා නැති තරමටම තාත්විකයි.

ආදරණීය සැමියෙකුගේ බිරිඳක් වෙලා දරු පැටවු ටිකක් හදාගෙන මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න හීන මවපු නූපාගේ ජීවිතේ අවසානයේ කැරකෙන්නෙ ඇය නොහිතපු දිශාවකට. ලංකාවේ පෙම්වතුන් නිසා විඳින්නට සිදුවුණ අමිහිරි අත්දැකීම් එක්ක නාකි ජපනෙක් හරි බැඳලා ජපානයේ සකුරා, ටියුලිප් මලින් පිරුණු ලස්සන ලොකු ගෙදර නෝනාහාමු වෙන්න හිතන් ජපානෙට ගිය නූපාට වෙන්නෙ ⁣ගෙයි ගෙම්ඹෙක් වෙන්න. ඇගේ ජීවිතේට ආපු හැම සුළි සුලඟක්ම ඇය කන්දක් වගේ දරාගත්තා. 'නොදුටු තැන්වලත් ආදරය තියෙන බව' ඇය පසක් කරගත්තා.

අපි අතරෙත් නූපලා ඕනතරම් ඇති. සුමල්ලාත් ඇති. මසායා සංලත් ඇති. ඉතින් ඒ හැමෝටම නොවැම්බර් 02 වැනිදා සිට තරගත වෙන 'කන්දක් සේමා' විඳගන්න අවසරයි. ♥️🫶

ජපානයේ සුන්දර දර්ශන ඔබව හැබෑවටම ජපානයට ගෙනියයි. ඒ හිම කැටවල සීතල ඇත්තටම ඔයාට දැනෙයි. නූපා හිතින් මවාගත්ත පෙම්බරා එක්ක වගේම ඔයාටත් පෙම්බරෙක් එක්ක සකුරා මල් පිරුණු මාවතක තුරුල් වෙලා ඇවිදින්න හිතෙයි. ඒ තරමටම ⁣පටන්ගැන්මේ ඉඳන්ම විෂුවල්ස්නම් හරිම ලස්සනයි.🎎🏔💕

අහ් අමතක වුණා. මේ චිත්‍රපටියේ අපි පුංචි කාලෙ ඉඳන් හරිම ආදරේ කරපු 'ඔෂීන්' ගේ පුංචි කාලෙ චරිතය නිරූපණය කළ අයාකෝ කොබයෂිත් රංගනයෙන් දායක වෙනවා. ඇය සෝරා සං. නූපාගේ දුකට සැපට ඇය ළඟින්ම ඉන්න යෙහෙළිය. නිරෝෂා හරි වාසනාවන්තයි ඇය එක්ක රංගනයේ යෙදෙන්න.

තව දෙයක් අවසානෙට චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය පමණක් රුපියල් ලක්ෂ 800ක්.. ප්‍රචාරන කටයුතු සඳහා වෙන් කල පිරිවැය නැතිව.. ලංකාව වගේ රටක ලක්ෂ 800ක් කියන්නේ චිත්‍රපටයක් සඳහා වෙන් කල දැවැන්ත පිරිවැයක්.. බය නැතිව පැකිළීමකින් තොරව නිශ්පාදකවරුන් මේ වගේ ගුණාත්මක නිර්මාණ කිරීම ගැන ස්තූතියි.

චිත්‍රපටය වෙනුවෙන් අපේ rate එක: 7/10 ★★★★☆

✍️ ශ්‍රී කොම් වෙනුවෙන් එරන්දි කෞශල්‍යයා | ශ්‍රීමාල්