කාලත්‍රමාපනී

by Yashitha Bhashana

කාලත්‍රමාපනී

Share

සුමින්ද සිරිසේන, කාලත්‍රමාපනී සහ චන්දන වීරසිංහ

මීට වසර 23 කට පෙර මා සාමාන්‍ය පෙළ ශිෂ්‍යයෙකුව සිටි සමයේ තාරකා විද්‍යාවට බොහෝ සෙයින් ඇළුම් කළෙමි. මා උසස් අධ්‍යාපනය හැදෑරු කොළඹ මහානාම මහා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය මාර්ගයෙන් ග්‍රහලෝකාගාරයට අනුබද්ධිත අන්තර් පාඨශාලීය තාරකා විද්‍යා සංගමයට පවා බැඳී සිටියේ එහෙයිනි. මා මේ කතා කරන 2000 වර්ෂයේ දී ලාංකේය තාරකා විද්‍යා ලෝලීන්ට අතිශයින් සුවිශේෂි වැඩසටහනක් කොළඹ විශ්ව විද්‍යාල භූමියේ පිහිටි අපූරු හැඩයක් ගන්නා ඒ ගොඩනැගිල්ල තුළ දියත් විය. ‘Astro 2000’ ලෙසින් හැඳින්වුණු එය මෙරට තාරකා විද්‍යා ලෝලීන්ට අතිශය නැවුම් හා අපූරු අත්දැකීමක් විය.

දිවයිනේ සෑම දිග්බාගයකින් ම පාසැල් හා විවෘත යන අංශ දෙකකින් තරඟකරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සහභාගී වූ ‘Astro 2000‘ තාරකා විද්‍යා ප්‍රදර්ශනයට සමගාමීව දිවයිනේ පාසැල් රැසක සිසු සිසුවියන් සහභාගී වූ තාරකා විද්‍යා චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්විණ. මේ චිත්‍ර ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මගේ සිතේ මැකි නොයන කහටක් වැනි වූ අඳුරු මතකයක් ඇතත් ඒ පිළිබඳව පසු දිනෙක වෙනමම සටහනක් තබන්නට සිතා සිටින බැවින් ඒ ගැන මෙහි කතා කරන්නට අදහස් නොකරමි. තාරකා විද්‍යා දේශන, වැඩමුළු මෙන් ම තාරකා විද්‍යා දැනුම මිනුම තරඟ වලින් ද මේ අපූරු උත්කර්ෂවත් ප්‍රදර්ශනය සැදුම් ගෙන තිබිණ.

ඒ කෙසේ නමුත් මේ ප්‍රදර්ශනයේ කාගෙත් නෙත් සිත් පැහැර ගත් වැඩසටහන වූයේ ඉහත කිසිවක් නොවේ. ඒ එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු විද්‍යා ප්‍රබන්ධ ටෙලි චිත්‍රපටය මෙහි දී දැක බලා ගැනීමට ලාංකේය ප්‍රජාවට ඉඩ කඩ සලසා දී තිබීමයි. ඉන් පෙර කිසිදු රූපවාහිනී නාලිකාවක විකාශනය වී නොතිබුණු බැවින් එය නැරඹීම සඳහා කා තුළත් පැවතියේ දැඩි උද්යෝගයකි. විශේෂයෙන් ම එය විද්‍යා ප්‍රබන්ධ ලෝලීන් වූ අප තුළ ඇති කර තිබුණේ දැඩි කුතුහලයකි.

අද (2023 දෙසැ 07 වැනි දා) සිය ජීවන මගේ අවසන් ගමන යන කෘතහස්ත රංගන ශිල්පි සුමින්ද සිරිසේනයන් මෙහි ප්‍රධාන චරිතයට පණ පෙවී ය. එහි ඔහුගේ රංගනය අති විශිෂ්ට එකක් විය. ඔහුට අමතරව පීටර් අල්මේදා සමගින් රමණි සිරිවර්ධන වැනි ප්‍රවිණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය සැපයූ ‘කාලත්‍රමාපනී‘ ය, එකල පැවති සම්මතයන් අතින් ගත්ත ද පැවතියේ පියවර ගණනක් ඉදිරියෙනි. එය සැබවින්ම ඊළඟ මට්ටමේ නිර්මාණයක් විය. අද පවා CGI හා පරිගණක තාක්ෂණය උපරිමයෙන් යොදාගෙන කරන ලාංකේය නිර්මාණ සමඟ කරට කර සිටිය හැකි අන්දමේ පසුතල නිර්මාණ හා රංගන දායකත්වයෙන් අනූන වූ එය එදා අප තුළ ඇති කළේ අමන්දානන්දයකි අදින් දශක තුනකට පමණ පෙර 1994 වර්ෂයේ දී නිර්මාණය වූ ‘කාලත්‍රමාපනී‘ ය, අපට සිහිපත් කරනුයේ ‘Space: 1999’ වැනි ටෙලි කතා මාලා සහ Stanley Kubrick ගේ ‘2001‘ අභ්‍යවකාශ වීර චාරිකාව වැනි අන්තර්ජාතික මට්ටමේ නිර්මාණයි. එහි එන අපූරූ පසුතල නිර්මාණ අදටත් වලංගු බව මගේ හැඟීමයි.

මේ නිර්මාණය පසුපස සිටින අසහාය නිර්මාණකරුවා අන් කිසිවෙක් නොව ප්‍රවීණ චිත්‍ර ශිල්පී චන්දන වීරසිංහයන් ය. එස්. එම්. බන්දුසීලයන්ගේ අතේ එල්ලී ආතර් සී. ක්ලාක් ශ්‍රීමතාණන්ගේ විද්‍යා ප්‍රබන්ධ සිංහලෙන් රසවිඳ ඇති කිසිවෙකුට ඒ නම අමතක ව තිබිය නොහැකිය. එදා සිට අද දක්වා ම බන්දුසීලයන් සිංහලට නැඟු සෑම විද්‍යා ප්‍රබන්ධ කෘතියකම කංචුකය හැඩ වූයේ ඔහුගේ සුරතිනි. එමතු නොව ඒ හැමෙකකම ඇතුළත චිත්‍ර නිර්මාණය වූයේ ද වීරසිංහයන්ගේ අතිනි.

චන්දන වීරසිංහයන් මා දකින්නේ ලැබිය යුතු ‘නිසි ගෞරවය - නිසි තැන‘ නොලැබුණු නිර්මාණකරුවෙකු ලෙසයි. පුරා පැයකට ආසන්න කාලයක් දිවෙන ඔහුගේ ඒ අපූර්ව නිර්මාණය එදා ජාතික නාලිකා කිසිවක විකාශය නොවුණේ එහි ‘හාස්‍යජනක ජවනිකා‘ අඩංගු වී නොතිබීමේ එකම පවට වීම ඛේදජනකය.

‘හීන්සැරයක්‘ අප වෙත ගෙනැ ආ ඔහුගේ මීළඟ විද්‍යා ප්‍රබන්ධ නිර්මාණය වන ‘චන්ද්‍ර සුළඟ‘හි වැඩ කටයුතු ද අතරමඟ නතර වී ඇත්තේ නිෂ්පාදන බර පැන පිළිබඳ ගැටළුවක් හේතුවෙනි. මේ අසහාය නිර්මාණ ශිල්පියාගෙන් ශ්‍රී ලාංකේය විද්‍යා ප්‍රබන්ධ කලා ක්ෂේත්‍රයට ලබා ගැනීමට තිබූ බොහෝ දේ මග හැරී ගොස් ඇත්තේ දෛවයේ සරදමක් ලෙසිනි.

අඩුම වශයෙන් ඔහුට හිමි විය යුතු නිසි ගෞරවය ලබා දෙනු වස් ‘කාලත්‍රමාපනී‘ ය ජාතික නාලිකාවක හෝ YouTube වැනි වර්තමානයේ පුළුල්ව පැතිර ඇති මාධ්‍යයක් හරහා විකාශය වන්නේ නම් ඉතා අගනේය යන්න මගේ හැඟිමයි.

එය අද අප හැර යන සුමින්ද සිරිසේනයන් වෙනුවෙන් කළ හැකි ලොකු ම උපහාරය ද වනවා නිසැකය.

සුමින්ද සිරිසේන නම් වූ අග්‍රගණ්‍ය අසහාය කලාකරුවාණෙනි,
ඔබට සුබ ගමන්!

සඳුන් සමීර සිරිබන්දු (සන්සරසිදු)
2023 - 12 - 07 වැනි දා (බ්‍රහස්පතින් දා)

නිසල රූ අනුග්‍රහය - චන්දන වීරසිංහ මහතා
විශේෂ ස්තූතිය! - සත්‍ය හෙට්ටිආරච්චි