Jackie Kennedy and Marilyn Monroe (Mad Men)
මේක කියන්නෙ මම නෙවෙයි, Mad Men කතා මාලාවේ Paul Kinsey. කතාව ඇදෙන්නෙ මෙහෙමයි. 1960 ගනන් වල ඇමෙරිකාවේ ප්‍රසිද්ධම advertising firm එකක් වුනු Sterling Cooper agency එකේ දීර්ඝ කාලීන සේවාදායකයෙක් වුනු Playtex සමාගම, ඔවුන්ගේ brassieres වලට අලුතෙන් වෙළඳ දැන්වීමක් හදන්න තීරණය කරනවා. ඒ ඔවුන්ගේ තරඟකාරී සමාගමක් වෙන Maidenform සමාගමෙන් කාන්තා ආධිපත්‍යය මුල් කරගත්තු දැන්වීම් ප්‍රචාරණයක් පටන් ගැනීමත්, ඒත් එක්කම Playtex සමාගමට කාන්තා ඇඳුම් වෙළඳපොළේ තිබ්බ ඒකාධිකාරය බිඳවැටෙන්න පටන් ගැනීමත් නිසයි. මේ වැඩේ භාර වෙන්නේ වෙනදා වගේම අපේ කතා නායක Don Draper ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමටයි.
මේ වෙනකොට වෙන කිසිම marketing team හිටපු නැති කෙනෙක් Don ගේ team එකේ හිටියා. ඒ තමයි කාන්තාවක්. Peggy කියන මේ කාන්තාවට, මේ 'පිස්සු මිනිස්සු' අස්සේ එහෙමත් නැත්නම් Mad Men කතා මාලාව ඇතුලේ ලොකු චරිතයක් කරන්න ලැබෙනවා. ඉහල පෙළේ රැකියාවක් තියා කාන්තාවකගේ අදහසක්වත් ගනන් නොගත්තු කාලයක, පොඩිම තැනකින් පටන් ගත්තු Peggy වගේ කෙනෙක් Don ගේ team එකේ හිටපු එක දැකපු අය ගොඩක් පුදුම වුනා. කොහොමහරි Peggy ව කපලා Don ඇරෙන්න අනිත් පිරිමි ටික විතරක් බාර් එකකදි සෙට් වෙනවා. මේ වෙලාවෙදි තමයි Paul ට මේ Jackie, Monroe අදහස එන්නේ.
Marilyn Monroe ගැන නම් ඔයාලා ගොඩක් දේවල් අහලා, දැකලා, කියවලා ඇති. ඒ නිසා Jackie Kennedy ගැන පොඩි විස්තරයක් මම කියන්නම්. Jackie Kennedy එහෙමත් නැත්නම් Jacqueline Kennedy Onasis කියන්නේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වුනු Jonn F. Kennedy ගේ බිරිඳ එහෙමත් නැත්නම් ජනාධිපති ආර්‍යාව. 1963 දී ජනාදිපතිතුමා ඝාතනය වුනාට පස්සේ ඇය වැන්දඹුවක් වෙනවා. කොහොමහරි ඇය ඇමෙරිකානු ජනතාවගේ බොහොම ආදරයට, ගෞරවයට පාත්‍ර වුනු කෙනෙක්. Marilyn ගැනත් පොඩි දෙයක් කිව්වොත්; Marilyn Monroe කියන්නේ ඇමෙරිකානු නිළියක්, ගායිකාවක් සහ නිරූපිකාවක්. 1950, 60 දශක වල Marilyn මුලු ඇමෙරිකාවේම ඉතාමත් ජනප්‍රිය තරුවක් වෙලා හිටපු කෙනෙක්. ඉතින් සමකාලීනයෝ වුනු මේ Jackie, Marilyn කාන්තාවන් දෙදෙනා කොහොමද සම්බන්ද වෙන්නේ?
මේ දෙන්නා සම්බන්ද කරන ප්‍රධානම කෙනා තමයි උඩින් කියපු John F. Kennedy ජනාදිපතිතුමා. Marilyn එක්ක JFK ට අනියම් ඇසුරක් තිබුණා කියන කටකතාව ඔයාලා ගොඩ දෙනෙක් අහලා ඇති. ඒ කාලය වෙනකොට රටේ ජනප්‍රියම නිළියකුයි, රටේ ජනාධිපතිවරයයි අතර මේ වගේ සම්බන්දතාවයක් තියෙනවා කියන්නේ ඒක රටේ කොයි වගේ ප්‍රවෘත්තියක් වෙන්න ඇතිද කියලා ඔයාලට හිතා ගන්න පුලුවන්නේ. Mad Men කතා මාලාවෙත් මේ සිදුවීම් වෙනකොට JFK, හිටපු ජනාධිපති Nixon ව පරදවලා මැතිවරණය දිනලා ඉවරයි. කොහොමහරි 1960 දශකය වෙනකොට රටේ ජනප්‍රියම කාන්තාවන් දෙදෙනා වුනේ Jackie සහ Monroe. මුලු රටේම කාන්තාවන් පාර්ශව දෙකකට බෙදිලයි හිටියේ. බහුතරය්ක් කාන්තාවන් ඒ දෙන්නගෙන් කෙනෙක්ව අනුකරණය කලා. "හැම ගැහැනු කෙනෙක්ම 'Jackie Kennedy' සහ 'Marilyn Monroe' දෙන්නගෙන් කෙනෙක්" කියන එක Paul Kinsey කිව්වේ මේ නිසායි. Mad Men Season 2 එකේ "Maidenform" episode එක බැලුවා නම් ඔයාලට දකින්න පුලුවන් Paul, office එකේ දොර ඇරලා එතන වැඩ කරපු හැම කාන්තාවක්ම Jackie සහ Monroe ගොඩවල් වලට වෙන් කරපු හැටි.
Monroe ගොඩක්ම ප්‍රසිද්ධ වුනේ ගොඩක් ආකර්ෂණීය, ලස්සන සිරුරක් තියෙන, ඕනම තැනක කැපිලා පේන, ඕනිම පිරිමියෙක් දෙපාරක් හැරිලා බලන, කටකාර, ලැජ්ජාශීලී නොවෙන කාන්තාවක් විදියට. Jackie ගොඩක්ම ප්‍රසිද්ධ වුනේ උගත්, බුද්ධිමත්, උසස් තත්ත්වයක් පවත්වාගෙන ගිය, වැඩිය සමාජශීලී නොවෙන කාන්තාවක් විදියට. මේ මේ දේවල් වලට කැමති කාන්තාවන් Monroe ව හරි Jackie හරි අනුකරණය කලා. ඒ නිසා තමයි Sterling Cooper වල, හැරිලා ගිහිල්ලත් පස්ස දිහා බලන Joan ව Monroe ගේ ගොඩටත්, තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න අයව Jackie ගෙ ගොඩටත් වැටුනේ. ඉතින් Paul ගේ අදහස වෙන්නේ මේ Monroe, Jackie personalities දෙකට හරියන්න වෙන වෙනම Playtex සමාගමෙන් යට ඇඳුම් ප්‍රචාරණයක් පටන් ගන්න කියන එක. "Line and Curve" ඔහු එහෙමයි ඒක කියන්නේ. Jackie, Monroe දෙන්නව දැකලා තියෙනවා නම් ඒකෙ තේරුම හිතා ගන්න පුලුවන්.
Advertisement එක හදන්නේ කාන්තා යට ඇඳුමකට වුනාට ඒවා නිශ්පාදනය කරන තැන ඉන්නෙත්, advertisement එක හදන තැන ඉන්නෙත් බහුතරයක් පිරිමි අය. ඉතින් ad එක හදන වෙලාවේ Paul අතින් තවත් අදහසක් ඉදිරිපත් වෙනවා. ඒ තමයි "Bras are for men" කියන එක 😅 ඒ කියන්නෙ මේකයි. කාන්තාවන් Jackie, Monroe දෙන්නව අනුකරණය කරන්නේ ඇත්තටම ඔවුන්ට උවමනා නිසා නෙවෙයිලු. මුලු රටේම පිරිමි අය Jackie, Monroe දෙන්නගෙන් කෙනෙක්ව තමන්ගේ කෙනා විදියට හිතේ තියාගෙන ඉන්න නිසා, පිරිමි අයගේ අවධානය දිනා ගන්න කාන්තාවන් Jackie, Monroe දෙන්නගෙන් කෙනෙක්ව අනුකරණය කරන්න ගත්තා කියලයි ඔහු කියන්නේ. ඒ අදහස brassieres වලට යෙදුවොත්, කාන්තාවන් ඒවා අඳින්නේ පිරිමි අයව සතුටු කරන්න කියන එක තමයි ඔහු කියන්නේ. ඇත්තටම අඳින්නේ ඇයි කියන එක දන්නේ අඳින අය තමයි 😅
පිරිමි අය සේරම වගේ ඒ අදහසට කැමති වුනත් Peggy ඒකට අකමැති වෙනවා. හැම කාන්තාවකටම Jackie කෙනෙක්වත් Monroe කෙනෙක්වත් වෙන්න ඕනි නැති බව ඇය කියනවා. අදහසේ හරි වැරැද්ද මොනා වුනත් කාලෙ හැටියට කාන්තා ඇඳුම් ප්‍රචාරණයට ඒක හොඳ අදහසක් නිසා ඒ අදහස ඉදිරිපත් කරන්න තීරණය කරනවා. අඩුම තමන්ගේ අදහසක්වත් ගනන් නොගන්න පිරිමින් කට්ටියක් එක්ක වැඩ කරන්න වුනු Peggy ටත් ඔවුන්ගේ අවධානය ලබා ගන්න Jackie, Monroe දෙන්නගෙන් කෙනෙක්ව තෝර ගන්නම වෙනවා. ඇය තෝර ගන්නෙ කවුද කියලා බලන්න ඔයාලට Mad Men බලන්නම වෙනවා.
JFK වගේම Jackie ලගේ හා Monroe ලගේ ආශ්‍රයන් තිබුණු තව කෙනෙක් show එකේදි අපිට හම්බවෙනවා. ඒ තමයි අපේ කතා නායක Don. නිරූපිකාවක් වෙන්න ආසාවෙන් හිටපු තමන්ගේ බිරිඳ දරුවන් ගෙදර ඉද්දී, එළියෙදී තමන්ට මුන ගැහෙන Jackie ලා Monroe ලා එක්ක රවුම් ගහන කෙනෙක් තමයි Don කියන්නේ. JFK ගේ කතාව ඉවර වුනේ කොහොමද කියලා ඔයාලා දන්නවනේ. Jackie ගේ ජීවිතය JFK ට නිළ වශයෙන් සම්බන්ද වෙලා තිබුන නිසා ඇයට ලොකු කාලයක් සතුටින් ඉන්න හම්බවුනාට Monroe ට නම් ලැබුනේ සතුටුදායක අවසානයක් නෙවෙයි. ඇය සියදිවි නසා ගත්තත් ජනාධිපතිකම ලැබුනු නිසා JFK ඇයගේ ජීවිතය නැති කලා කියලත් කටකතා තියෙනවා. Don ගේ ජීවිතයේ ඉන්න Jackie ලටයි Monroe ලටයි වෙන්නෙ මොනාද කියලා දැන ගන්නත් ඔයාලට Mad Men බලන්න වෙනවා. ඒ වගේම Jackie, Monroe දෙන්නගෙන් එක්කෙනෙක්වත් වෙන්න අකමැති වුනු Peggy සහ Jackie, Monroe දෙගොල්ලොම ජිවිතේට ඕනි වුනු Don ගෙයි relationship එක දැනගන්නත් ඔයාලට Mad Men බලන්න වෙනවා.
තවත් Mad Men article එකකින් හම්බෙමු එහෙනම්. අවසාන ප්‍රශ්නය කාන්තා පාර්ශවයට. ඔයා Jackie කෙනෙක්ද? Monroe කෙනෙක්ද? එහෙමත් නැත්නම් Peggy කෙනෙක්ද?
විශ්ව ජයසංඛ • ශ්‍රී කොම්