උතුරු ඉන්දීය-දකුණ ඉන්දීය සිනමාව සහ Boxoffice!

by Swarnareka Sewwandi

උතුරු ඉන්දීය-දකුණ ඉන්දීය සිනමාව සහ Boxoffice!

Share

දකුණු ඉන්දියාව සහ උතුරු ඉන්දියාව තුළ ආදායම් වාර්තා අතර මේ වගේ වෙනසක් ඇයි..? එකම රටේ කොටස් දෙකක boxoffice හැසිරීමේ දැවැන්ත වෙනසක් තිබීමට හේතුව කුමක්ද ? දකුණෙන් දෙන්නේ බොරු දත්තද? එහේ ආදායම් වාර්තා එන විදියට සක්කරයටවත් හිතාගන්න බැරිද ? මෙය, ලංකාවේ ඉන්න ඉන්දීය ප්‍රේක්ශකයන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් බව පැහැදිලී. පහල තියෙන්නේ ඒ සම්බන්දව මම අහලා තියෙන දේවල් කීපයක් සහ එම දත්ත විශ්ලේෂක අදහස් කීපයක පරිවර්තන. විවාදයට නම් නෙවේ සංවාදයට! මෙහි වැරදි හෝ වෙනත් හේතු හෝ ඕනෑම දෙයක් අදහස් ලෙස තව කෙනෙක්ගේ දැනුම වෙනුවෙන් එක්කිරීම ඉහළින්ම අගයකරනවා. නිරීක්ෂණ ▪️දකුණු ඉන්දියාව ▪️ දකුණු ඉන්දීය සිනමාපට සැලකීමේදී, පළමු දින ඉතාම විශාල ආදායමක් ලබාගන්නවා, විශේෂයෙන් සුපිරි තරුවකගේ සිනමාපටයක් නම් සිනමාපටයට පළමු දින ලැබෙන රිවීව්ස් හොද හෝ නරක වේවා පළමු දින අති දැවැන්ත ආදායමක් ලබාගන්නවා, දෙවන දිනය විට එය අවම 50%-60% ක ප්‍රතිශතයකින් පහල බැසීම සිදුවෙනවා. ලැබෙන ප්‍රතිචාර සෘණාත්මක වූ විට බැස්ම මීටත් වඩා වැඩි වෙන්න පුලුවන්, එසේම සිනමාපටය හොද හෝ නරක වේවා දිනෙන් දින අදායම සැලකිය යුතු ලෙස පහල යෑමක් දැකිය හැකිය. බොහෝ සිනමාපට සති දෙක යනවිට ඔවුන්ගේ ආදායම 95%ම ලබාගෙන අවසන් සහ සිනමාශාල වලින් ගැලවී , OTT වල ප්‍රදර්ශනය අරඹනවා. එසේම එහි වාසියක් ලෙස, ඉක්මනින් OTT නිකුත් කිරීම නිසා ඔවුන්ගේ සිනමාපට ඉහල අගයන්ට අලෙවි වීමත් සිදුවෙනවා. ▪️උතුරු ඉන්දියාව▪️ උතුරු ඉන්දියාව සැලකීමේදී, පළමු දින පූර්ව ප්‍රචාරකපටය හෝ ගොඩ නැගී ඇති hype එක, ප්‍රධාන නළුවා, ශානරය (ඇක්ශන්/රොමෑන්ස්/නාට්‍යමය) වැනි සාධක අනුව පළමු දින ආදායම ලබනවා. සිනමාපටයට ලැබෙන ප්‍රතිචාර ඉතා යහපත් නම් දෙවන දින සිට එය වඩාත් ඉහල යා හැකියි. එවන් විටෙක සති අන්තයේ ලබන ආදායම්, පළමු දින ලැබූ ආදායම පරයා ‍යෑමක්ද දැකිය හැකියි. එසේම සතියේ දින පුරාවටත් විශාල බැස්මකින් තොරව ඒකාකාරී ආදායමක් ලබනවා. සිනමාපටය සාර්තක නම් එය සිනමාශාල තුළ මාස 1-2 දක්වා වුවද තිරගත විය හැකිය. ප්‍රතිචාර අයහපත් නම් ආදායම සීග්‍ර පහල වැටීමක් සහ සිනමාහල් වලින් ගැලවී යෑම සිදුවෙනවා. ▪️▪️▪️▪️▪️▪️ දකුණු ඉන්දීයා අදායම් වාර්තා සැලකීමේදී වෙබ් අඩවි වාර්තා, බෙදාහරින්නන්ගේ වාර්තා, නිර්මාණකරුවන්ගේ වාර්තා අතරද විශාල වෙනසක් තිබෙන බවක් දකින්න ලැබෙනවා. අවසාන සමස්ථ ආදායම් තත්වයද පරාසයක් තුළ දක්වා තිබෙන අවස්තා වැඩියි. උදාහරණ ලෙස Jailer කෝටි 607-610 PS1 කෝටි 450-500 KGF 2 කෝටි 1200-1250 උතුරු ඉන්දියාව තුළ බොහෝ විට එය දශමස්තාන දක්වාම දැකගැනීමට ලැබෙනවා. Dangal - කෝටි 2023.83 Jawan - කෝටි 1148.32 Pathaan- කෝටි 1050.30 මෙම වාර්තාවල බෙදාහරින්නන්, නිශ්පාදක සමාගම, වෙනත් වෙබ් අඩවි දක්වන ගණන් අතර විශාල වෙනසක් දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. 🟥ඇයි මේ වෙනස්කම්? කෝමල් නෙහ්තා මේ වෙනස පිළිබද මෙසේ පැහැදිළි කිරීමක් සිදුකරනවා. එම පැහැදිලි කිරීම පහතින් මේ වෙනස ඇතිවීමට හේතුව සිනමා ක්ශේත්‍ර දෙක තුළ ආදායම මැනීමේ ක්‍රම වල තිබෙන වෙනසයි. සාමාන්‍යයෙන් බොලිවුඩ් සිනමාපටයක ඔබට දැකගන්න ලැබෙන්නේ එදිනට සිදුකල නිවැරදිම ආදායම් තත්වයයි. නමුත් දකුණේ සිනමාපටයක් එහි පවතින ප්‍රදේශ සියල්ලට (circuits) එක් ස්ථාවර ආදායම් වලට අලෙවි කර අවසන් කරනවා. ඒ අලෙවි කර ලැබූ සම්පූර්ණ ආදායම් පළමු දිනටම එකතුකරනු ලබනවා. නමුත් එය පළමු දින ආදායම නොව, අදාල සිනමාපටය එම සර්කිට් එක තුළ තිරගත වන සම්පූර්ණ දින 15 හෝ 20 හෝ සදහා ලබන මුළු ආදායමයි. නමුත් මෙම එකතු කිරීම නිසා, දෙවනි දින සිට ආදායමේ විශාල බැස්මක් දැකගැනීමට ලැබෙනවා, දෙවන දින ආදායමේ බැස්මක් සිදුවිය හැකිමුත්, නමුත් ‍යතාර්තයේ එය එතරම් විශාල අගයකින් සිදුවන්නක් නොවේ. උතුරේ පවතින සර්කිට් වල ගණනය මීට වෙනස් ආකාරයකට සිදුවෙනවා. එම සර්කිට් වල,(දිල්ලි, රාජ්ස්ථාන් ,බොම්බේ) එදිනෙදාට ලැබෙන සැබෑ ආදායම ගණනය කරනු ලබනවා. 🟥ලැබෙන දත්ත වැරදිද? මෙම ගණනය කිරීම් ක්‍රියාවලි දෙකෙහිම කිසිදු වරදක් නැහැ.සිනමාපට සිනමාහල්වල තිරගත වී අවසන් වූ පසු ලබාදෙන සමස්ථ වාර්තාවලදී දෙකේම නිවැරදි අගයන් අන්තර්ගතබව සලකන්න පුලුවන් . නමුත් දිනෙන් දින ආදායම් වාර්තා දෙස බලාසිටින ප්‍රේක්ශකයන්ට දකුණේ ආදායම් වාර්තාවල අස්වාභාවික හෝ විශ්වාසනීය නොවන ගතියක් දැකගැනීමට ලැබෙනවා . ඒ අනුව ප්‍රේක්ශකයාගේ කෝණයෙන් උතුරේ ආදායම් ගණනය කිරීම් වාර්තා දෛනිකව වඩා නිවැරදි අතර සාර්තක චිත්‍රණයක් ප්‍රේක්ශකයන්ට මවා දෙනවා. ▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️ මේ ප්‍රධාන හේතුවට අමතරව සුළු හේතු ලෙස , ✅ දකුණු ඉන්දීයාව තුළ සිටින අතිශය පාක්ශික හා ක්‍රියාකාරී ප්‍රේක්ශකාගාරයද දැක්විය හැකියි. ඔවුන් සිනමාපටය හොද හෝ නරක වේවා ප්‍රතිචාර හෝ විචාර වලට අවධානය දීමෙන් තොරව පළමු දිනම තම තරුව වෙනුවෙන් සිනමාපට නැරඹීමට සිනමාහලට යනවා. එසේම අන්තර්ජාලය තුලත් ඔවුන් ක්‍රියාකාරී bookmyshow , ට්විටර් සහ වෙනත් සමාජ මාධ්‍ය තුළ ඔවුන් පැමිණෙන සිනමාපටය වෙනුවෙන් ඉහලම අවධානයක් ගොඩනැගීමට දායක වෙනවා. ඉන් බැහැරත් අඩි සියගණනක විශාල ප්‍රමාණයේ කටවුට් නිර්මාණය වැනි ක්‍රියාකාරකම්ද සිදුකරනවා. ඇතැම් විට මෙම ප්‍රේක්ශකාගාරය තරමක් කලහකාරීද විය හැකිය , එහෙයින් පලමු දින පළමු දර්ශනය හිමිදිරියේම ලබාදීම සිනමාශාලා අයිතිකරුවන් විසින් ප්‍රතික්ශේප කිරීමද දැකිය හැකිය. ✅ උතුරු ඉන්දීය ප්‍රේක්ශකාගාරය දකුණු ඉන්දීය සිනමා ප්‍රේක්ශකයන්ට වඩා මදක් ඇල් මැරුණු ප්‍රේක්ශකාගාරයක් ලෙස දැක්විය හැකියි. ඉතාම පාක්ශික ප්‍රේක්ශකයන් පමණක් පළමු දින පළමු දර්ශනය නැරඹීමට උත්සුක වනවා. සාමාන්‍ය ප්‍රේක්ශකාගාරය කුමන තරුවකගේ සිනමාපටයක් පැමිණියද බොහෝ දෙනෙක් ඊට උදෑසන ලැබෙන ප්‍රතිචාර , නැරඹූ අයගේ කට වචනය පිළිබද මෙන්ම විචාරක ප්‍රතිචාරද සලකා තම ටිකට් පත මිලදී ගැනීමට යොමුවෙනවා. මෙම රසික ආකාර දෙකේ ඉහත හැසිරීම් හොද හෝ නරක දෙකම තීනව.