හැමෝම කතාවෙන GTA VI

by Randinu Jayarathne

හැමෝම කතාවෙන GTA VI

Share

අද Sri COM at 7 සෙග්මන්ට් එකෙන් අපි GTA 6 ගැන දැනගමු.

පසුගිය දශක දෙක තුළ ඉහළම ජනප්‍රියත්වයක් ලැබූ Rockstar Games සමාගම විසින් නිෂ්පාදිත Grand Theft Auto video game මාලාවේ නවතම video game එක, Grand Theft Auto 6 හි නිළ පූර්ව ප්‍රචාරක පටය දින දෙකකට පෙර (4) නිකුත් වී තිබෙනවා. ලොව පුරා Grand Theft Auto හෙවත් GTA රසිකයන් රැසකගේ අවධානය ලබා ගැනිමට සමත් වූ මෙම video game මාලාවේ මීට පෙර නිකුත් වූ GTA 5 video game එක නිකුත් කර මේ වන විට වසර දහයක් පමණ ගත වී තිබීමත් Rockstar සමාගම විසින් GTA 5 game එකෙන් පසු ඔවුන්ගේ ඊළඟ video game එක වුණු GTA 6 සඳහා විටින් විට විවිධ ඉඟි පළ කරමින් මේ සඳහා කලින් කලට රසික අවධානය යොමු වීමත් නිසා මෙහි රසික ප්‍රජාව අතර මේ සඳහා විශාල උනන්දුවක් ඇති වී තිබෙනවා.

මීට පෙර දෙසැම්බර් 5 දින නිකුත් කිරීමට නියමිතව තිබූවත් දිනකට පෙර නිකුත් කළ මෙහි නිළ පූර්ව ප්‍රචාරක පටය Rockstar සමාගමේ නිළ යූටියුබ් නාලිකාව මගින් නිකුත් කළ පසු, පැය 24ක් යන්නටත් මත්තෙන් නැරඹුම් වාර මිලියන 72ක ටත් වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් ලෝකයේ පැය 24ක් ඇතුළත වැඩිම නැරඹුම් සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වූ සංගීතමය නොවන වීඩියෝ පටය ලෙස වාර්තා අතරට එක් වීමටත් සමත් වී තිබෙනවා. මෙම හදිසි නිකුත් කිරීමට හේතු වී ඇත්තේ පසුගියදා මෙම පූර්ව ප්‍රචාරක පටය leak වීමකට ලක් වී X(Twitter) සමාජ ජාලය තුළ ඉතා වේගයෙන් ප්‍රසිද්ධියට පත් වීම නිසා ප්‍රචාරක පටය නිකුත් කිරීමට සමාගම විසින් ගත් තීරණයත් සමගයි. ඉන්පසු එම video එක පළ කළ පුද්ගලයාගේ සමාජ මාධ්‍ය ගිණුම X මාධ්‍ය මගින් මකා දමා ඇති අතර මේ පිළිබඳව X හි අදහස් දක්වමින් Rockstar සමාගම පවසා සිටියේ "Our trailer has leaked so please watch the real thing on YouTube" යනුවෙනි. එනම් ඔවුන්ගේ පූර්ව ප්‍රචාරක පටය leak වී ඇති බවත් එය මේ වන විට නිළ වශයෙන් ඔවුන්ගේ යූටියුබ් නාලිකාව තුළින් නිකුත් කර ඇති නිසා එය නරඹන ලෙසට ඉල්ලා සිටින බවත් ය. මීට පෙරද 2022 වසරේදී Arion Kurtaj නම් හැකර්වරයෙකු විසින් මෙහි දර්ශන ඇතුළත් වීඩියෝ පට 90ක් පමණ leak කිරීමට සමත් වූ අතර මෙම ප්‍රචාරක පටය මගින් එම දර්ශන ද නිවැරදි ඒවා බවට සහතික කිරීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් GTA 6 හි නිෂ්පාදන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ වැය වී ඇති අතර පූර්ව ප්‍රචාරක පටයේ සඳහන් වන අයුරින් game එක 2025 වසරේ දී නිකුත් වීමට නියමිත වන අතර සමාගම විසින් පවසන්නේ 2025 වසර වන විට net bookings වලින් පමණක් ඇමරිකානු ඩොලර් බිලියන අටක පමණ ලාභයක් ඉපයීමට ඔවුන් අපේක්ෂා කරන බවයි. මින් පෙර නිකුත් වූ GTA 5 ක්‍රීඩාව ඉතා ඉහළ ආදායමක් ලැබීමට සමත් වූ අතර එය, ඇමරිකානු ඩොලර් බිලියන හයක ආදායමක් ලබා ගනිමින් ලොව චිත්‍රපට,සංගීත ඇල්බම සහ video games වැනි නිර්මාණ අයත් රසාස්වාදන (entertainment) කාණ්ඩය යටතේ වැඩිම ආදායමක් ලබා ගත් මාධ්‍ය නිර්මාණය, පිටපත් 190කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වීමෙන් පසු ලෝකයේ දෙවන වැඩිම ආදායම් ලැබූ video game එක, නිකුත් කිරීමෙන් පැය 24ක් ඇතුළත ඩොලර් බිලියනයක ආදායමක් පසු කරමින් ලොව ඕනෑම රසාස්වාදන (entertainment) නිර්මාණයක් කාණ්ඩයේ පැය 24ක් තුළ වැඩිම ආදායමක් ඉපයූ නිර්මාණය සහ නිෂ්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 285ක් වියදම් කර, නිකුත් වීමෙන් පැය 24කටත් වඩා අඩු කාලයකින් නිෂ්පාදන වියදම මෙන් x3 (තුන් ගුණයක) ආදායමක් ලබා ගනිමින් ඓතිහාසික වාර්තා රැසක් පිහිටුවා තිබෙනවා. එමෙන්ම මෙම game එක පළමු වතාවට කාන්තා කතා නායිකාවක් (female protagonist) ඇතුළත් පළමු GTA game එක ලෙසත් හඳුනාගත හැකියි. ඒ Lucia නම් ප්‍රධාන කාන්තා චරිතය සහ ඇයගේ පෙම්වතා එක්ව සිදු කරන මංකොල්ලකෑම් සම්බන්ධයෙන් මෙහි කතාව දිගහැරෙන අතර එය කුප්‍රකට Bonnie-Clyde style එකට සමානකම් කියයි. මෙහිදී character swapping feature එකක් ලබා දී තිබීමත් විශේෂත්වයක්. එමෙන්ම Rockstar සමාගම විසින් පවසන පරිදි GTA 6 හි locations ලෙස රසික ආදරය දිනාගත් Leonida නම් කල්පිත ප්‍රාන්තයේ පිහිටි Vice City නගරය පදනම් කරගත් locations යොදාගෙන ඇති අතර නව මුහුණුවරකින් යුක්ත වූ විශාල map එකක් සමග මෙම game එක නිර්මාණය වී තිබෙනවා. මෙහි දී මෙම map එක interconnected ලෙස නිර්මාණය කර ඇති අතර ඒ නිසා ක්‍රීඩා කරන්නන්ට මෙහි දී විවිධත්වයකින් යුත් පරිසර අත්දැකීමට හැකි වනු ඇති.

මෙය මූලික වශයෙන් PlayStation 5, Xbox Series S සහ Xbox Series X යන platforms සඳහා නිකුත් වීමට නියමිත වන අතර අප විසින් පෙර දී සඳහන් කළ පරිදි Rockstar සමාගමෙන් මෙම game එක පරිගණක සඳහා නිකුත් කිරීමක් පිළිබඳව කිසිදු සඳහනක් තවමත් ලබා දී නැහැ. එම පුවත නිසා ලොව පුරා පරිගණක ක්‍රීඩා ලෝලීන් රැසකට අසතුටුදායක තත්ත්වයකට පත් වී තිබීමත් දැකගත හැකියි. නමුත් Rockstar සමාගම විසින් GTA 5 නිකුත් කිරීමේ දී ද consoles සඳහා එය හඳුන්වා දීමෙන් අනතුරුව පරිගණක සඳහා හඳුන්වා දීමට ක්‍රියා කරන ලදී. මේ හේතුව නිසා තවමත් නිශ්චිතව ඒ පිළිබඳව තීරණය කළ නොහැකිය. එහෙත් මේ නිසා ඉදිරියේදී අලංකාර රූපරාමු සහිතව තාක්ෂණයෙන් උසස් gaming අත්දැකීමක් ලබාගත හැකි වන පරිදි console උපකරණ ක්ෂේත්‍රය තවදුරටත් දියුණුවට පත් වීමට මෙය හේතුවක් වනු ඇති. කෙසේ නමුත් තවත් features රැසක් එක් වීමට නියමිත මෙම video game එක මෙම දශකයේ වඩාත්ම ජනප්‍රිය සහ වඩාත්ම ආදායමක් ඉපයීමට සමත් video game එකක් වනු ඇති බවටත් අපේක්ෂිතයි.

අපේ broadcast channel එකට join වෙන්න https://m.me/j/AbafrFgYsmOa7e31/

✍️Admin: රන්දිනු ජයරත්න