මොකක්ද මේ Drag Reduction System කියන්නේ?

by Pasindu Herath

මොකක්ද මේ Drag Reduction System කියන්නේ?

Share

DRS කියන්නේ මොකද්ද ? 🏎️ 🏁

භෞතික විද්‍යාව,යාන්ත්‍රික විද්‍යාව,ගණිතය,රසායන විද්‍යාව, ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්රික් උපරිමම වශයෙන් භාවිතා වෙන ක්‍රීඩාවක් තමයි Formula 1 කියන්නේ.

කොටස් 14,500+ කින් සමන්විත ෆෝමියුලා 1 රථයක් කියන්නේ ලෝකයේ තියන වේගවත්ම රථය. සරලවම කිව්වොත් ධාවන පථයක ධාවනය කරන රොකට් එකක් කියන්න පුළුවන්.

මං ගිය අවුරුද්දේ සීසන් එකේ Formula 1 තරඟයක් කියන්නේ මොකද්ද , මූලික නීති මොනවද කියලා චූටි සරල හැදින්වීමක් කළා.අද කියන්නේ F-1 රථයක තියන වගේම F1 තරඟයක වැදගත්ම අංගයක් වන DRS නැත්තම් Drag Reduction System එක ගැන.

F 1 රථයක් නිර්මාණය කරන්නේ උපරිම වේගයක් ලබා ගන්න පුළුවන් වෙන විදියට කියලා හැමෝම දන්නවා.ඒ නිසාම මේ රථයක Aerodynamic Design එක ගැන ඒ ඒ කණ්ඩායම්වල ඉංජිනේරුවන් සෑහෙන්න හිතනවා. මොකද මිලි තප්පරයක් වුණත් F1 වලදී විශාල ඉම්පැක්ට් එකක් ඇති කරනවා.

රථයේ හැඩය, Front Wing, Rear Wing, බාජ් බෝඩ්ස්, එන්ඩ් ප්ලේට්ස්, එන්ජින් කවර් සහ Front Wing Nose එක Aerodynamics වලදී ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. මේ කොටස් තමන්ට ඕන ඕන විදියටම නිර්මාණය කරන්න බැහැ. FIA නීති වලට අනුකූලව නිවැරදි මිලි මීටරයටම බලලා නිර්මාණය කරන්න ඕන. එහෙම නොකලොත් සෑහෙන අව්ලක් වෙනවා.එහෙම වෙච්ච අවස්ථාවන් තියෙනවා.

ඔයා F1 බලන කෙනෙක් නම් අහලා ඇති DRS ගැන ගොඩක් වෙලාවට කමෙන්ට්‍රි කරන අය කතා කරනවා. මොකද මේක ඒ තරම්ම වැදගත් තීරණත්මක දෙයක්.

මොකද්ද DRS කියන්නේ ? Drag Reduction System 🚨

මේක සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ භෞතික විද්‍යාව මත. Rear Wing එක නැත්තම් සිංහලෙන් කියනවා නම් පසුපස තටුව- නිර්මාණය කරන්නේ යම් කිසි සුවිශේෂී කෝණයකට. එකෙන් වෙන්නේ පැයට කිලෝමීටර් 370+ වේගයෙන් එන සුළං ප්‍රවාහයක් ඉහළට විසි කිරීම මගින් රථය මතට Downforce එකක් ඇති කරන එක. මේක පහත රූප රාමු මගින් තේරුම් ගන්න උත්සහ කරන්න.

අපි නැවත්වූ මෝටර් බයිසිකලයක් මත නිසොල්මන්ව සිටියොත් යම් වේගෙකින් අපේ සිරුරේ සුළං ගැටෙනවා තේරෙනවා. හැබැයි අපි කෙමෙන් කෙමෙන් මෝටර් බයිසිකලයේ වේගය වැඩි කළොත් අපේ සිරුරේ වදින සුළං ප්‍රවාහයේ වේගයත් වැඩි වෙනවා කියලා තේරෙනවා. ඔය වගේ සංසිද්ධියක් තමයි වෙන්නේ සුළං එක්ක වෙන්නේ.හැබැයි මෙතනදී design එක නිසා සිදුවීම වෙනස්.

Rear Wing නිර්මාණය කරලා තියෙන සුවිශේෂී කෝණය නිසා F 1 රථයේ වදින අධික වේගවත් සුළං ප්‍රවාහය කෙලින්ම සමාන්තර ලෙසම පිටු පස්සට යන්නේ නෑ.යම් කිසි විදියට කෝණිකව ඉහළට ගමන් කිරීමක් වෙන්නේ.

එතනදි ඊට සාපේක්ෂව Downforce එකක් රථයේ ටයර් වලට යෙදෙනවා. ඒ නිසා රථය පොළවට බදලා අල්ලා ගැනීමක් වෙනවා.ලිස්සන්නේ නෑ. හොඳට ග්‍රිප් වෙලා හිටිනවා.

මේ නිසා පැයට කිලෝමීටර 250+ වේගෙකින් වුණත් වංගු ගන්න පහසු වෙනවා. මේ ග්රිප් එක අනිවාර්යෙන් F 1 රථයකට අවශ්‍යම වෙනවා වේගයෙන් යන්න. ඒ වගේම ග්රීප් එක නැත්තම් පාලනය ගිලිහී යනවා.

දැන් DRS ඔන් කරන අවස්තාවේදී වෙන්නේ අර කියපු Rear Wing එකේ පියනක් වගේ තීරුවක් ඉහළට විවෘත වෙලා අර සුළං ප්‍රවාහය ඉහළට නොයා කෙලින්ම Wing එක හරහා යන්න ඉඩ සලසා දෙනවා. මෙතනදි රථයට ලැබෙන Downforce එක 30% කින් විතර අඩු වෙනවා. ඒ කියන්නේ තව දුරටත් සුළං මගින් ලැබෙන ප්‍රතිරෝදය (Drag) සෑහෙන දුරට අඩු වෙනවා. පිටුපස තටුව විවෘත නොවී තිබුණා නම් වාතයට විශාල ප්‍රතිරෝධයක් ඇති වෙනවා. තටුව විවෘත වීමත් එක්ක වායු ප්‍රතිරෝදය අවම වෙලා පැයට කිලෝමීටර් 17-23 ක් දක්වා වූ උපරිම වේගයක් රථයට ලබා ගන්න පුළුවන් වෙනවා.

මෙතනදි වෙනත් කිසිම ආයාසයක් දැරුවේ නෑ.සරල භෞතික විද්‍යා සිද්ධාන්තයක් මගින් ක්ෂණික වේගයක් අත් කර ගැනීමක් සිදු වුණා පමණයි.

මේ නිසා තමන්ට ඉස්සහරින් යන රථය ක්ෂණියකින් ඕවර්ටෙක් කරන්න පිටුපස රථයට පුළුවන් වෙනවා.

මේක කරන්න වෙන්නේ කෙලින් තියන track පෙදෙස් වල විතරයි. මොකද DRS ඔන් වෙලා අර වායු ප්‍රවාහය Rear Wing එක හරහා යන්න පටන් ගත්ත ගමන් F1 රථයේ Downforce එක 30% කින් අඩු වෙනවා.ඒ කියන්නේ ග්‍රීප් එක අඩු වෙනවා.මේකේ බලපෑම එන්නේ වංගුවකදී. මොකද නිවැරදි ග්‍රිප් එකක් දෙන්න තරම් Downforce එකක් ලබා දෙන්න බැරි වුණු ගමන් රථය track එකෙන් විසික් වෙලා විශාල අනතුරකට මුහුණ පාන්න සිදු වෙනවා.

මේ නිසා DRS භාවිතා කිරීමට FIA මගින් නීති කිහිපයක් හඳුන්වල දීලා තියෙනවා.

තරඟය පවත්වන සර්කිට් එකේ කෙලින් තියන DRS Zone වල විතරයි DRS ඔන් කරන්න පුළුවන් වෙන්නේ.

සාමාන්‍යයෙන් එක track එකක DRS Zone 2 ක් හෝ 3 ක් තියනවා.

හැබැයි අයිකොනික් මොනාකෝ සර්කිට් එකේ සහ ජපානයේ සුසුකා, ඉතාලියේ ඉමොලා සර්කිට් තුනේ තියෙන්නේ එක DRS Zone එකක් විතරයි.

ඒ වගේම DRS ඔන් කරන්න නම් තරඟය ආරම්භ වෙලා අඩුම තරමේ එක ලැප් එකක් වත් ඉවර වෙල තියෙන්න ඕන, ඒ වගේම safety car එක ට්‍රැක් එකෙන් ඉවත් වෙලා එක ලැප් එකක් ගත වී තියෙන්න ඕන, අනිත් එක තරඟය නතර කරලා ආරම්භ කරද්දී නෑවතත් එක ලැප් එකක් ගත වී තියෙන්න ඕන.(2024 New FIA Rules regarding DRS)

ඉස්සර ඕක තිබුණේ අඩුම තරමේ ලැප් 2 ක් ඉවර වෙල තියෙන් ඕන කියලා.මේ පාර ඉඳන් ලැප් 1 ක් දක්වා අඩු කරලා තියෙනවා.

අනිත් වැදගත්ම දේ තමයි DRS යොදාගන්නෙ බොහෝ වෙලාවට අපට ඉදිරියෙන් යන රථය පසු කරයන්න අමතර වේගයක් ලබා ගන්න.එතකොට DRS ඇක්ටිවේට් කරන්න නම් අපි ඕවටෙක් කරන්න බලපොරොත්තු වෙන රථය සහ පිටුපසින් ගමන් කරන අපේ රථයේ ටයිම් ගැප් එක අනිවාර්යෙන් තප්පර 1 ට වඩා අඩු වෙන්න ඕන.එහෙම නැත්තම් DRS වලට අවස්ථාවක් නැහැ.

මේ තප්පරයක් ඇතුලත ඉන්නවද කියලා කාලය ගණනය කරන්නේ DRS detection points වලදී. මේවා කලින්ම FIA එකෙන් තීරණය කරලා තියෙන්නේ කොහෙද මේ DRS detection points තියෙන්නේ, මොනවද DRS කලාප කියලා.

DRS ඔන් කරන්න F 1 රථයේ සුක්කානමේ DRS බටන් එකක් තියෙනවා. ඒ වගේම මේක deactivate වෙන්නේ අපි බ්‍රේක් පැඩල් එක ලාවට පොඩි ටච් එකක් දීමෙන් හෝ ඇක්සලෙටර්ය වේගය අඩු කිරීමෙන්. එහෙම කිරීමෙන් කෝනර් (වංගු) වලදී ක්ෂණිකව DRS ඔෆ් වෙලා රථය ට්රැක් එකෙන් විසික් නොවී අවශ්‍ය grip එක තියාගන්න ක්ෂණිකව අවස්ථාව සලසා දෙනවා.

ඒ වගේම හදිසි අනතුරකදී හෝ යම් සුන්බුන් track එක මත තිබුණොත් හෝ වාර්ශාව පතිත වන අවස්ථාවකදී DRS ඔන් කරන්න අවස්ථාව දෙන්නේ නෑ.

DRS භාවිතා වෙන්නේ 2011 සීසන් එකේ ඉඳන්. ඉස්සරම මේ ක්‍රමය තිබුණේ නෑ. මේ DRS තියන එක නිසා රේස් එකට අමුතු කෘතිම බවක් ඇවිල්ලා කියලා චෝදනා කරන අයත් නැතිවම නෙමෙයි.

කොහොම වුණත් මිලි තප්පර ගාණක් ඇතුලත F1 රථයට කිසිදු ආයාසයකින් තොරව අමතර පැයට කිලෝමීටර 25 ක වගේ වේගයක් ලැබෙන එක ජයග්‍රහනය පවා වෙනස් කරන විශාල සාධකයක්.

DRS ගැන කතා කරද්දී පහුගිය සීසන් 13 ටම නිර්මාණය වුණු හොඳම DRS සිස්ටම් එක පහුගිය වසරේ Redbull ලාගේ RB19 රථයේ තිබුණා කිව්වොත් අතිශයෝක්තියක් නෙමෙයි.

එක් අවස්ථාවක ලුවිස් හැමිල්ටන් පවා පුදුමයට පත් වෙනවා RB 19 රථයේ වේගය දැකලා.

DRS සිස්ටම් එකේ පියන ඇරෙන්න පුළුවන් වෙන්නේ 85 mm ක් විතරයි. ඉස්සර පුළුවන් වුණේ 50 mm ක්. ඒ වගේම නීති හැම රථයකටම පොදු වුණත් DRS ඔන් කරාම ස්පීඩ් වෙනස් වෙන්න රථයේ අනෙකුත් aerodynamics design බලපානවා.

RB 19 රථය aerodynamics සහ mechanics හොඳටම පාවිච්චි කරපු අවස්ථාවක් තමයි පහුගිය සීසන් එක. ඒ නිසයි ලෝකෙම වගේ F1 ලෝලීන් රෙඩ්බුල් රථයේ තියන හොල්මන් ස්පීඞ් එක ගැන පුදුමයයෙන් කතා කළේ.

මෙතන තියෙන තාක්ෂණය Triple DRS Effect කියලත් හඳුන්වනවා. රථයේ Diffuser එක, Wing Beam එක සහ DRS සිස්ටම් එක යන පද්ධති තුනම එක්ව ක්‍රියා කරද්දී වුණු දේ නිසා තමයි සාමාන්‍ය අනිත් F1 රථ DRS වලදී පැයට කිලොම්ටර් 18 ක් වගේ speed එකක් ගද්දී RB 19 රථය ඇතැම් අවස්ථාවලදී DRS ඔන් වෙද්දී පැයට කිලෝමීටර් 34 ක වගේ දැවැන්ත අගයක් ගත්තේ. සරලවම කිව්වොත් රෙඩ්බුල් ටිම් එකේ aerodynamics පාට් ගැන තනි තනිව හිතන්නේ නැතිව ඔක්කොම ඒකට වැඩ කරද්දී ගන්න පුළුවන් result එක ගැන හොඳට හිතලා තියෙනවා.

මේක සරලයි වගේ පෙනුනට මිලි මීටර බාගයක වෙනසකින් ලොකු වෙනසක් කරන්න පුළුවන් දෙයක්.

සරලව DRS ගැන කියන්න තමයි උත්සාහ කළේ.අද වෙනකොට DRS නැත්තම් තරඟයක් ජයගන්න බැරි වෙන තරමටම DRS පද්ධතිය වැදගත් වෙලා තියෙනවා.

තවත් වෙලාවක තවත් formula one හැල්ලක් දාන්නම්.

1.රූපය :- DRS activate කළ හා නොකළ අවස්ථාවක්.
2.රූපය :- Turbulent air flow එක F1 රථයක ගමන් කරන අයුරු
3.රූපය :- RB 19 රථයේ DRS පද්ධතිය.

ප.ලි:- 2022 සීසන් එකේ ඉඳන් බාජ් බෝඩ්ස් ෆෝමියුලා වන් රථවලින් අයින් වෙලා තියෙන්නේ.

✍️Admin: Pasindu Herath
© thesricom.lk 2024