සරණාගත පිටසක්වල ජීවීන් සිටින “දිස්ත්‍රික්ක 9”

by Yashitha Bhashana

සරණාගත පිටසක්වල ජීවීන් සිටින “දිස්ත්‍රික්ක 9”

Share

District 9 - පිටසක්වලයින් සමග වාසේ 🚫🛸👽

අද කතා කරන්න යන්නේ ලංකාවේ චිත්‍රපට ලෝලීන් අතර ගොඩක්ම underrated සහ කතා බහ වෙනවා අඩු චිත්‍රපටයක් ගැන, එහෙනම් යමු මාතෘකාවට..

උදේ පාන්දර එළියට බහිද්දි පාරවල් අයිනෙ බල්ලෝ වගේ කුණු ගොඩවල් අවුස්ස අවුස්ස ඉන්න aliens ලා ඉන්න, හවසට හවසට සූදු පාරක් ගහන්න aliens ලගෙ වැයික්කියට යන මිනිස්සු ඉන්න, උන්ට කුඩු බෙදනවා වගේ cat food බෙදන, පාරවල් වල aliens ලා එක්ක ගුටි ඇන ගන්න, අකමැත්තෙන් වුනත් උන් එක්ක එකට ජීවත් වෙන්න සිද්ධ වෙන නගරයක් තිබ්බොත් කොහොමද?

මොන මන්දාකිණියෙන් ආවත් අන්තිමට ඇමෙරිකාවට, ඒකත් New York හරි DC වලට හරි විතරක් ගහලා යන alien කතාවක් නෙවෙයි මේක. වැරදිලා පෘථිවියට කඩන් වැටුනම මිනිස්සු යටතේ බර කාලයක් සරණාගතයෝ වගේ පිටසක්වලයින්ට ඉන්න වුනු එක ගැන කතාවක් තමයි District 9 කියන්නේ.

1982 අවුරුද්දේ පිටසක්වල යානාවක් පෘතුවියට එනවා. මවු යානයේ දෝශයක් නිසා ඒකට පෘතුවියෙන් පිටතට යන්න බැරි වෙනවා. යානාව නවතින්නේ දකුණු අප්‍රිකාවේ විශාලතම නගරය වෙන ජොහැන්ස්බර්ග් නගරයට උඩින්. යානාව එක්ක යානාව ඇතුලේ හිටපු පිටසක්වල ජීවීන් මිලියන 1.5 ක් විතර මිනිස්සුන්ගේ ග්‍රහණයට අහු වෙනවා. යානාවට පහලින් ජොහැන්ස්බර්ග් නගරයේ කොටසක් මේ ජීවීන්ව රඳවලා තියා ගන්න වෙන් කරනවා. District 9 විදියට තමයි මේක හඳුන්වන්නේ.

තාවකාලික පිළියමක් වුනත් අවුරුදු 20 කටත් වැඩි කාලයක් ඔවුන්ට පෘතුවියෙන් පිටවෙන්න නොදී මේ ජීවීන්ව හිර කරලා තියා ගන්නවා. District 9 එක සරණාගත කඳවුරකට වඩා සිර කඳවුරක් බවට පත් වෙනවා. අවුරුදු 20 ක් ගත වුනාට පස්සේ ලෝක වැසියන්ට, විශේෂයෙන්ම ජොහැන්ස්බර්ග් නගර වැසියන්ට මේ ජීවීන් තවදුරටත් පුදුමාකාර පිටසක්වල ජීවීන් නෙවෙයි. District 9 එකෙන් එළියට ඇවිත් නගරයේ කඩ සාප්පු, පොදු දේපල විනාස කරන මේ ජීවීන්ව ඔවුන් දැක්කේ තමන්ගේ එදිනෙදා වැඩ වලට බාධා කරන, අප්‍රසන්න, ඉස්සො වගේ තවත් විකෘතික ජීවීන් කොට්ඨාසයක් විදියට. ඒ නිසා ඔවුන්ව නගරයෙන් ඉවත් කරන්න හැමදාම වගේ ජොහැන්ස්බර්ග් නගරයේ උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වුවා. කොච්චර දියුණු තාක්ෂණයක් එක්ක ආවත් පෘතුවියේ මුඩුක්කුවක ඉන්න වෙන මේ ජීවීන්ට වෙන්නෙත් සාමාන්‍ය මුඩුක්කු වල හොරු, ජාවරම්කාරයෝ, කුඩුකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, සූදු කාරයෝ ඉන්න බෝට්ටුවටම වැටෙන්න.

පිටසක්වලයින්ගේ ආගමනයෙන් පස්සේ මොවුන්ව සාමාන්‍ය ජනතාවගෙන් ඉවත් කරලා තියාගන්නත්, ඔවුන්ගේ ක්‍රියාවන් පාලනය කරන්නත්, පිටසක්වල ජීවීන්ගේ සුභසාධනය වෙනුවෙනුත් ජාතීන් කිහිපයක් එකතු වෙලා MNU (Multi-National United) නමින් සංවිධානයක් පිහිටවනවා. කිසිම වාසියක් නැතිව තමන්ගේ රටේ ප්‍රධාන නගරයක විශාල කොටසක් පිටසක්වල ජීවීන්ට වෙන් කරලා තියාගෙන ඉන්න එකට මහජනතාව පවා විරුද්ධ වෙද්දී, සුභසාධනය කෙසේ වෙතත්, MNU එක මුඩුක්කු ගොඩක් අස්සෙ හරි මේ ජීවීන්ව රඳවාගෙන ඉන්නේ උන්ට ආදරේකට නෙවෙයි කියන ඔයාලට film එක බලද්දි තේරෙවි. මේ අවුරුදු 20 ගාන ඇතුලේම MNU එකත් දකුණු අප්‍රිකා රජයත්, පිටසක්වල ජීවීන්ගේ යානාවේ තාක්ෂණය වගේම ඔවුන්ගේ DNA වලින් පමණක් වැඩ කරන සුපිරි ආයුධ වලත් තාක්ෂණයත් ලබා ගන්න සීමා මායිම් නොසලකා ඔවුන්ට පුලුවන් හැම විදියෙන්ම උත්සාහ කරනවා.

මේ අරමුණ ඉටු කරගන්න බැරිවුන නිසාත්, මිනිස්සුන්ගේ විරෝධය නිසාත් පිටසක්වල ජීවීන් District 9 වලින් ඉවත් කරලා වෙනත් තැනකට පිටමන් කරන්න MNU එක වගේම රජයත් තීරණය කරනවා. උන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒක කරන්න ඉහළින් තීරණය කරලා තිබ්බත්, පිටසක්වල ජීවීන්ගේ වුනත් අයිතීන් ආරක්ශා කරමින්, ඔවුන්ගේ කැමැත්ත යටතේ, මානුශීයව සියලුම දේවල් කරනවා කියලා පිටත ලෝකයට පෙන්නන්න MNU එක ඉවත් කිරීමේ පෙර දැනුම් දීමක් එක්ක කණ්ඩායමක් District 9 වලට යවනවා. මේ කණ්ඩායම මෙහෙයවන්න ලැබෙන්නේ MNU වල ලොක්කෙක්ගේ දුවෙක් බැඳපු, ටිකක් විතර මෝඩ පහේ MNU වල සාමාන්‍ය ලිපිකරුවෙක්ට. මේ මෝඩ යකා හින්දා තමයි දශක දෙකකට පස්සේ MNU එකෙත්, පිටසක්වල ජීවීන්ගෙත් ඉරණම වෙනස් වෙන්නේ 😅 ඒ කොහොමද කියලා බලාගන්න ඔයාලට District 9 බලන්නම වෙයි.

කතාව පිටසක්වලයින් ගැන වුනාට ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න නම් ඔයාලට අහලා පුරුදු ඇති. ඇත්ත වශයෙන්ම චිත්‍රපටියට District 9 නම යොදා ගැනීමත් පිටසක්වල ජීවීන් රඳවා තබා ගන්න නගරය දකුණු අප්‍රිකාවේ නගරයක් විදියට තෝරා ගැනීමත් අහම්බයක් නෙවෙයි. මිනිස්සු සම්බන්ධයෙන් ජාතිවාදී ප්‍රශ්න සහ සරණාගත ප්‍රශ්නය අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රධාන ගැටලු වලින් දෙකක්. 1948-1994 කාලය දකුණු අප්‍රිකාවේ ජාතිවාදී ප්‍රශ්න උග්‍රවම තිබුණු කාලයක්. මේ කාලය ඇතුලත රජයේ අනුදැනුම ඇතුවම සුදු ජාතිකයන් නොවන අය දකුණු අප්‍රිකාවේ අගනගරය වෙන කේප් ටවුන් වල වෙනම කොටසක මුඩුක්කු පරිසරයක් තුල හිර කරලා තිබ්බා. ඒක හැඳින්වුණේ District 6 නමින්. පසුව ඔවුන්ව නැවත පදිංචි කිරීම් සිදු කලත් ඔඩුදුවා තිබුණු ජාතිවාදී ප්‍රශ්න වල අවශේෂ තවමත් දකුණු අප්‍රිකාව තුල පවතිනවා. චිත්‍රපටියට දකුණු අප්‍රිකාවේ නගරයක් තෝරා ගන්නත් පිටසක්වල ජීවීන් රඳවා තැබුණු කොටස District 9 නමින් හඳුන්වන්නත් නිර්මාණකරුවන් තීරණය කරලා තිබ්බේ මේ නිසයි.

ඒ වගේම අප්‍රිකා මහද්වීපයේ සරණාගත ගැටලුව ගැනත් District 9 වලදී කතා වෙනවා. පිටසක්වල ජීවීන් පෘතුවියේ ගත කරන්නේ සරණාගත ජීවිතයක්. ඔවුන් ගත කරන දුක්ඛිත ජීවිතයත්, ඔවුන් පොදු ස්ථාන වල ගැවසෙන එකට රටේ පදිංචි කරුවන් අකමැති වීමත්, ඔවුන්ට සිදුවන අකටයුතුකම් වලටත් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන විටත් නීතිය ක්‍රියාත්මක නොවීම් නිසා ඔවුන් ප්‍රචණ්ඩකාරීව හැසිරීමත්, ඔවුන් අතර අපරාධ ගහණය වැඩි වීමත්, වගේ ගැටලු මිනිස් සරණාගතයින් මුහුණ දෙන ගැටලු වලට සමාන වන විදියට නිර්මාණකරුවන් District 9 තුලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේමයි සරණාගතයින්ගේ සුභසාධනය වෙනුවෙන් පවත්වාගෙන යන ආයතන වල සිදුවෙන මූල්‍ය වගේම අනෙකුත් අකටයුතුකම් ගැන MNU එක වගේ ආයතනයකින් ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉවත් කිරීමේ පෙර දැනුම්දීමේදී පිටසක්වල ජීවීන්ගෙන් බලෙන් අත්සන් ලබා ගැනීමත්, දරුවන්ට පවා තර්ජනය කිරීමත් වගේ දර්ශන වලින් ඔවුන්ගේ ජීවිත සත පහකට මායිම් නොකරන විදිය ඔයාලට District 9 වලින් බලාගන්න පුලුවන්.

Film එක ගැන පොඩි විස්තරයක් කලොත්, මේක නිකුත් වෙන්නේ 2009 වර්ශයේදියි. මේක Found-Footage documentary type movie එකක්. ඒ කියන්නේ සිදුවීම් මාලාව අවසන් වෙලා වසර කිහිපයකට පසුව ඒ සම්බන්ධව නිකුත් වුනු news footages, interviews එකතු කරලා සිදුවීම ගැන හදපු වාර්ථාමය වැඩසටහනක්. ඩොලර් මිලියන 30 ක budget එකකින් casting, visual effects වගේ හැම පැත්තකින්ම උපරිම සාධාරණයක් කරලා නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 211 කට ආසන්න ආදායමක් හොයනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ අපිට හොලිවුඩයේ නිතර දැකලා පුරුදු මුහුණු නෙවෙයි. බහුතරයක් දෙනා දකුණු අප්‍රිකා නළු නිළියන්. ඒ වගේමයි කලින් කියපු කාරණා නිසා මේ චිත්‍රපටියට දේශපාලන බලපෑම් ඇති වෙන්න ඇති වෙන්න ඇති කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. චිත්‍රපටිය දකුණු අප්‍රිකාවේ නිකුත් වීම සති කිහිපයකින් පමා වීමත්, District 9 තුල සිටින මුඩුක්කු වාසීන් බහුතරයක් නයිජීරියානු ජාතිකයන් වීමත් ඔවුන්ගේ cannibalisms දර්ශන කිහිපයක් අන්තර්ගත වීමත් නිසා චිත්‍රපටිය නයිජීරියාවේ ප්‍රදර්ශනය තහනම් වීමත් මේ චිත්‍රපටියට වැටුණු ප්‍රශ්න කීපයක්.

Neil Blomkamp නම් දකුණු ඇමෙරිකානු අධ්‍යක්ෂවරයා තමයි District 9 අධ්‍යක්ෂණය වගේම කතාව රචනා කරන්නෙත්. ඒකට පාදක වෙන්නෙත් 2005 නිකුත් වුනු ඔහුගේම නිර්මාණයක් වෙන 'Alive in Joburg' කියන කෙටි චිත්‍රපටිය. Neil Blomkamp වෙනස් විදියට නිර්මාණ ඉදිරිපත් කරන අධ්‍යක්ෂවරයෙක් විදියට ප්‍රසිද්ධයි. District 9 වලින් පසුව ඔහුගේ නිර්මාණ එතරම් ප්‍රසිද්ධ වුනේ නැති වුනත් පසු ගියදා නිකුත් වුන වීඩියෝ ක්‍රීඩාවක් ඇසුරෙන් ඔහු නිර්මාණය කරන Gran Turismo චිත්‍රපටියට මේ වෙනකොට ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා වගේම සැලකිය යුතු මට්ටමේ හොඳ ආදායමක් ලබාගනිමින් මේ වන විට චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත වෙමින් පවතිනවා.

කොහොම District 9 වල දෙවන චිත්‍රපටයක් නිර්මාණය කරන බවත් එහි තිරපිටපතේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බවත් පසු ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේදී දැනුම් දීමක් කරල තිබුනා වගේම චිත්‍රපටයේ title එක District 10 කියල නම් කරපු බවත් වාර්තා උනා.

අපි මීට අවුරුද්දකට විතර කලින් දැම්ම පෝස්ට් එකකට ගොඩක් ඔස්තාර්ලා වගයක් “අමො අමො Neil Blomkamp කියන්නේ කවුද?” වගේ කමන්ට්ස් එහෙමත් දාල තිබුනා ඒ අයටත් මේ මූවී එක බලන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් ඉතින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න, වාසියකට සීමා මායිම් නොතකන, පොරොන්දු කඩ කිරීම්, රැවටීම් වගේම තවකෙක් වෙනුවෙන් ජීවිතේ අනතුරේ දාගන්න මිනිස්සුන්ගෙම කතාවක් aliens ලගෙන් පෙන්නන වෙනස්ම විදියේ නිර්මාණයක් රසවිඳලා බලන්න. ජය ✌️

✍️Admin: විශ්ව ජයසංඛ • ශ්‍රී කොම්