Nas Dailyගේ අඳුරුපැතිකඩ

by The Sri COM, Afi Aiza

Nas Dailyගේ අඳුරුපැතිකඩ

Share

අද අපි Sri COM at 7 සෙග්මන්ට් එකෙන් කතා කරන්න යන්නේ ලොව පුරා ජනප්‍රිය ඊශ්‍රායල් ජාතික Vlogger කෙනෙකු වන Nas Daily ගැන.

මේ දවස්වල ලංකාවෙ ගොඩක් ප්‍රසිද්ධ content creator කෙනෙක් තමයි Nas Daily කියන්නේ. මේ දවස් වල කියල කිව්වට Nas Daily කියන්නෙ අවුරුදු ගණනාවක් තිස්සෙ ලෝකය වටේ විවිධ රටවල් වලට ගිහින් වෙනස් විදිහෙ තොරතුරු එක්ක වීඩියෝස් හදන හුඟක් ප්‍රසිද්ධ YouTuber කෙනෙක්. මේ දවස් වල ලංකාවෙ මොහු ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි මෑතකදි Nas Daily ටීම් එක ශ්‍රී ලංකාවට පැමිණීම.

ඉතින් Nas Daily කියන්නේ, කලින් කිව්ව වගේම, අවුරුදු ගාණක් තිස්සෙ වෙනස් විදිහේ වීඩියෝස් කරලා තමන්ට ආවේණික solid fanbase එකක් හදාගත්තු solid චැනල් එකක්. Nas ට අද ලොව පුරා ඉන්න රසික රසිකාවියන් ගණන ලක්ෂ ගානකටත් එහා යනවා කිව්වොත් නිවැරදියි. ඒත් ඉඳලා හිටලා මොහු පිළිබඳ ව ආන්දෝලනාත්මක තොරතුරුත් හෙළි වෙනවා.

මේ තියෙන්නේ පිලිපීන ජාතික මාධ්‍යවේදිනියක් වුන Louise De Guzman නැමති තරුණීය ඔහු ගැන 2021 වසරේ අගෝස්තු 5 වනදා Facebook සමාජමාධ්‍ය තුළ තැබූ සටහනක්.

“මන් වසර දෙකක් යනකන් නිහඬව හිටියත්, මෑතකදි සිදුවුන යම් සිදුවීම් නිසා මේ දේවල් කියන්න තීරණය කළා.

2019 වසරේ, මගේ කතාවක් වුනු The Cacao Project කියන ලිපිය පිළිබඳව වාර්තා කරන්න Nas Daily මගේ නගරයට පැමිණියා. ඒ වෙද්දි මම Nas Daily සහ ඔහුගේ වීඩියෝස් මගේ පියා සමග දිනපතා බලන ලොකු රසිකයෙක්. ඒ කාල වකවානුවේ මගේ ගම ආශ්‍රිතව ගොවියන්ට මම කරන උදව් UNEP
(එක්සත් ජාතික පරිසරික ක්‍රියා පිළිවෙල) විසින් හඳුන්වා ගැනීම එක්ක ම මාධ්‍ය තුළ මම තරමක් ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ නිසාම මගේ මිතුරියක් වුනු Shai Lagarde විසින් Nas Daily වැඩසටහන පිළිබඳව දැනුම් දුන්නා.

මගේ පවුල ඔහු සහ අනෙකුත් සමාජ මාධ්‍ය සම්බන්ධ පුද්ගලයන් ඉතාමත් ආදරණීය ලෙස පිලිගත්තේ ඉහලම ආගන්තුක සත්කාර ලබාදෙමින්. ඒත් කොහොම උනත්, ඉතාම කෙටි කාලයකින්, මන් අවුරුදු ගානක් ඉහළින් ම හිතාගෙන හිටපු පුද්ගලයා, ඔහුගේ නරඹන්නන් විශ්වාස කරන කෙනා නොවන බව දැනගැනීම මගේ හිතට ඉතාමත් ලොකු කලකිරීමක් ඇති කළා.

ඔහු මගේ දෑස් ඉදිරිපිටම කිහිප වරක් සමච්චල් ලෙස අපගේ ප්‍රාදේශිය උච්චාරණය (accent) සහ භාෂා ශෛලිය අනුකරණය කළා විතරක් නෙවේ Tagalog භාෂාවේ ඇතැම් වචනවල ශබ්දය හාස්‍යජනක බවද පැවසුවා. ඔහු නැවත නැවතත් මගේ නගරයේ මිනිසුන් “අපොහොසත්” බව පැවසුවා.
“ගොවියන් හරිම දුප්පත්” “ඇයි පිලිපීනයේ මිනිස්සු මේ තරම් දුප්පත්”

තවත්, ඔහු පැවසුවා කවුරුත් ගොවියන් සහ ගොවිපළවල් ගැන දැනගන්න කැමති නැති බව සහ එවැනි දේවල් අන්තර්ගත වීඩියෝ පථ නැරඹීම පොළඹවන්නේ නැති බවත්. ඔහුට අවශ්‍ය උනේ හොඳ අන්තර්ගතයක්, පිලිපීන ජාතිකයන්ගේ “views” වැඩියෙන් ලබාගන්න පුළුවන් සරල, හොඳ කතාවක් මිසක් සත්‍ය කතා පිළිබඳව කතා කිරීම හෝ වෙනසක් ඇති කිරීම නෙවෙයි. තව, ඔහු විහිළුවෙන් මෙන් පැවසූ දෙයක් තමයි ඔහු කරන්න අවශ්‍ය ‘Philippines’ කියන මාතෘකාව සමඟ වීඩියෝ පථයක් සමාජ මාධ්‍යගත කිරීම පමණක් බවයි. ඒ මඟින් ඔහු views මිලියන ගානක් සහ පිලිපීන සංස්කෘතිය රැකගැනීම පිළිබඳ කමෙන්ට් ගනණාවක් ලබාගත හැකි බව.

මගේ පවුල විසින් ඔහුව ඉතාමත් ගෞරවනීය ලෙස අපගේ නිවස තුළට පිළිගත්තත් ඔහුගෙන් අප වෙත කිසිම ආකාරයක ස්තූතියක් ලැබුනේ නැහැ. ඒ වෙනුවට ඔහු දිගින් දිගටම පැවසුවේ අපි ඔහුගේ වටිනා කාලය කා දමන බවයි. ඔහු වෙනුවෙන් මුලු උදෑසන වරුවෙම මගේ මව විසින් සාදා පිසන ලද කිසිම ආහාරයක් ලබා ගැනීම ද ඔහු ප්‍රතික්ෂේප කළා.

මා එතෙක් කල් මාධ්‍යවේදීන්, වාර්තා චිත්‍රපට හදන්නන්, මහාචාර්ය වරුන් වැනි විශේෂ පුද්ගලයන් සමග විවිධ අවස්තාවන් වල වැඩ කර තිබුනත්, Nas Daily සමගින් මම මුහුණ දීපු ඒ අමිහිරි අත්දැකීමට සම කරන්න පුළුවන් කිසිම අවස්තාවක් මට හමුවෙලා නැහැ. මගේ ගම්වාසීන් පිළිබඳව අප්‍රසන්න ලෙඩ විවේචන එල්ල කිරීම, දේශීය සිරිත් සහ සංස්කෘතීන් කෙරෙහි කිසි තැකීමක් නොදැක්වීම වගේම ඔහු වාර්තා කරන දේ පිළිබඳව කිසිම පැහැදීමක් නොමැතිව ඔහු තුළම යම් කතාවක් ඔහු හදාගෙන තිබුනා. ඒ නිසාම ඔහු බලාපොරොත්තු වුන මනා ලෙස නිම කරපු කතාන්දරයක් මගෙන් නොලැබීම නිසා ඔහු කලකිරීමකට පත් වුනා.

දවස අවසන් වෙද්දි මගේ මහන්සිය වැඩි වී, මගේ ඉවසීම අඩු වී තිබුනා විතරක් නෙමේ, මගේ ඉවසීමේ හැකියාව ඉතාමත් අඩු මට්ටමකට ඇවිත් තිබුනා. ඔහු කිසිම කෙනෙක් ට ආහාර ගැනීමට හෝ විවේකයක් ගැනීමට වත් ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම ඔහුට “නැරඹීමට සුදුසු අන්තර්ගතයක්” ලබා ගැනීමට නොහැකි වීම පිලිබඳව මා හට දිගින් දිගම චෝදනා එල්ල කරමින් ඔහු පැවසුවේ ලෝකයේ හැමදේම නැරඹීමට සුදුසු නැති බවයි.

අපගේ දුරකථන ඇමතුමේදී මම ඔහුට පැහැදිලිව පැවසූ දෙයක් තමයි මගේ වාර්තාව ඔහුට මුළුමනින් ම මවාගැනීම අපහසු බව. ඒ වගේම ඒ වාර්තාවේ අපගේ සැලකිල්ලට භාජනය විය යුතු කරුණු ගණනාවක් තිබෙන බවත්, අද නොවුනත් තව වසර පහකට පසුව අවශ්‍ය වන අන්තර්ගතයක් මේ වාර්තාවේ අඩංගු බවත් මම පැවසුවා. කොහොම උනත් ඔහුගේ කතාවේ ඔහු නිගමනය කර තිබෙන්නෙ මම Cacao වෙනුවට පොල් (coconuts) ආදේශ කර ඇති බවයි. ඒත් ඇත්ත වශයෙන් මෙය හුදෙක් විහිළුවක් වගේම ගොවියන්ගේ ආදායම් මාර්ග පුළුල් කිරීමේ මගේ අරමුණට සහමුළින් ම පිටුපාන කරුණක් වුනා. කොහොම උනත් අවසානයේ ඔහු පිටත් වීම වඩාත් හොඳ බව අප සියළු දෙනාම තීරණය කළා.

මේ පුද්ගලයා විසින් අපගේ විදේශීය බැල්ම සඳහා වන අවශ්‍යතාව ප්‍රයෝජනයට ගන්නා බව මට ඒ වෙනකන් වැටහුනේ නැහැ. මම මෙතෙක් කල් නිශ්ශබ්දව හිටපු හේතුව තමයි මම ඔහුට එරෙහිව හඬ නැගුවොත් අනිවාර්යයෙන් මට විරුද්ධ සේනාවක් ගොඩනැගෙන බව දන්න නිසා. ඒ වගේම මගේ වසර ගණනාවක මහන්සිය ඔහු වැරදි තොරතුරු අඩංගු වුනු එකම එක වීඩියෝ පථයකින් විනාශ කරන බව දැනගෙනත් මම මේ ගැන නිශ්ශබ්ද ව ඉන්න තීරණය කළේ මට මගේ නගරයේ මිනිසුන් සහ ගොවියන් ගේ ජීවන රටාව අනතුරකට ලක් කරන්න අකමැති නිසායි.

මා මටම පවසා ගත් කාරණය තමයි, ඔහුගේ සත්‍ය මුහුණ කවදා හරි හෙළි වෙන බව.

කොහොම උනත්, ඔහු නැවතත් මේ වගේම දෙයක් Whang-Od සහ Bubot නම් ගෝත්‍රිකයන් ට කරන්න පෙළඹිලා තියෙනවා. Gracia නම් ගෝත්‍රික කාන්තාවකගේ ප්‍රකාශ වලට එරෙහි වී තවමත් Nasගේ පැත්ත ගන්න පිලිපීන පුද්ගලයන් මා තවමත් දකිනවා.

පිලිපීනයන් මෙම ක්‍රියාවලට එරෙහි විය යුතුයි - අපි හුදෙක් වීඩියෝ පථ සඳහා භාවිතා කරන්න පුළුවන් අන්තර්ගත නෙමේ. අපි මුදල් ඉපැයීම සඳහා භාවිතා කළ යුතු සංස්කෘතියක් නෙමේ. අපි ලෝකයා අපිව දකිනවට වඩා උසස් ජාතියක්.

Nas Daily වැනි මිනිසුන් වර්තමාන ලෝකයේ යටත් විජිතවාදියන්. ඒ වගේම මම 2019 පටන් ම නිශ්ශබ්දව සිටියා. ඒත් මට තවත් මේ දිහා බලන් ඉන්න බැහැ.

මේ සිද්ධියෙන් පස්සෙ මගේ වාර්තාව පිලිබදව පැවැතුවුනු සාකච්ඡා සියල්ල දිහාම මම බලන්නේ සැක සහිතව. ඒ පිළිබඳව කතා කරන කිසිම පුද්ගලයෙක් දිහා මට විශ්වාසවන්ත බැල්මක් හෙලන්න බැහැ. ඒ වගේම මෙවැනි හැසිරීම් තියෙන පුද්ගලයන් සමග ඉවසීම ප්‍රගුන කිරීම මම මුළුමණින්ම අතෑරලා තියෙන්නේ. ඊට හේතුව තමයි මට හුඟක් වටින මිනිස්සු මේ විදිහට භාවිතා වෙන දිහා බලාගෙන සිටීමට බැරිකම. මට එදා කරන්න බැරි වුනු දේ අද Gracia විසින් කරලා තියෙනවා. Nas Daily සහ එවැනි පුද්ගලයන් අපගේ මිනිසුන් නොමනා ලෙස භාවිතා කිරීමට එරෙහි වීම.

ඉතින් මගේ නිශ්ශබ්දතාවය බිඳ දමා මගේ අදහස් ක්‍රියාවට නංවනවා. Nas පිලිපීන ජාතිකයන් පසුපස පන්නන්නේ අපගේ රට පිළිබඳව වාර්තා කිරීම ඔහුට ප්‍රසිද්ධත්වය අත් කර දෙන බව ඔහු දන්න නිසා. ප්‍රසිද්ධත්වය සහ නැම්ම තීරණය කරන්නේ අපි.

අපගේ වෙනක්කම් පසෙක තබා, හුදෙක් භාණ්ඩ ලෙස භාවිතා වීමට එරෙහි වුනොත්, පිලිපීන ජාතිකයන් ලෙස අපිට අපේ රට විශිෂ්ට තැනකට ගෙන එන්න පුළුවන් හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව තොරතුරු ලබා දුන් Shai ට ස්තූතියි.”

ඉතින් මෙහෙම තමයි Louise Nas සමඟ ඇයගේ අත්දැකීම විස්තර කරන්නේ.
Nas ලංකාවට ගෙන්නන්නේ සංචාරක මණ්ඩලයෙන් ලංකාවට සංචාරකයන් ගෙන්වාගැනීමේ වැඩපිළිවෙලක් සඳහා වීඩියෝ පට කිහිපයක් නිර්මාණය කර ගැනීමට මේ වන විට එයින් වීඩීයෝ 2ක් Nas මුදා හැරල තියෙනවා. ඒක්වෙ දෙවැනි වීඩියෝ එක වෙන්නේ “The County that quit Coffee” (කෝපී පානය සහ නිෂ්පාදනය නතර කල රට) තව ඔහු වීඩියෝවෙහි caption එකට මෙසේ එක් කර තිබෙනවා “Yes, they stopped drinking it and they stopped making it. Because they found something better.” (ඔව්, ඔවුන් කෝපි පානය සහ නිෂ්පාදනය නතර කර තිබෙනවා. හේතුව ඔවුන් ඊට වඩා හොඳ දෙයක් හොයාගෙන තිබෙනවා)

වීඩියෝ එකට අනුව Nas පවසන්නේ ශ්‍රී ලංකාව කෝපි නිෂ්පාදනය කල රටවල් අතර ලෝකයෙන් මුල් ස්ථාන වල සිටි අතර පසුව වසර ගණනාවක් පර්‍යේශන කල තේ නම් පානය සොයාගෙන කෝපි නිෂ්පාදනය සහ පානය සම්පූර්ණයෙන්ම නතර කර තේ පමණක් නිෂ්පාදනයට සහ පානයට හුරු බවයි.

ඉහත සඳහන් කරල තියෙන කරුණු ගැන ශ්‍රී ලාංකිකයන් විදිහට අපි ඇත්‍ත දන්නවන්නේ 🙂

ඒ වගේම Nas කියන්නේ Views එහෙමත් නැත්තන් නැරඹුම් වාර සහ මුදල් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන පුද්ගලයෙක් බව බොහෝ දෙනෙකු චෝදනා එල්ල කරනවා ඒ සඳහා ඔවුන් උදාහරණයක් දෙමින් පෙන්වා දෙන්නේ ඔහු සහ ඇගේ පෙම්වතිය වන ඇලීනි සමඟ breakup හෙවත් වෙන් වෙන බවට 6 වතාවක් පමණ වීඩියෝ පට නිර්මාණය කරමින් සමාජමාධ්‍ය හරහා මුදා හැරි බවයි.

පහුගිය දවස් වල Nas ලංකාවට ආපු ගමනේදී ලාංකිකයන් විශාල පිරිසක් ඔහුව මුණ ගැහුනා. ඉතින් ඔයාල මොනවද මේ ගැන හිතන්නේ? ඔයාලගෙ අත්දැකීම් කියාගෙන යමු

ශ්‍රී කොම් වෙනුවෙන් ඇඩ්මින් Afi Aiza