Pulp Fiction බැලුවද? තේරුනාද?

by Vishwa Jayasankha

Pulp Fiction බැලුවද? තේරුනාද?

Share

අද අපි Sri COM at 7 සෙග්මන්ට් එකෙන් කතා කරන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාස්ටපීස් එක ගැන. ඔයාගේ ජීවිතයට කවදා හරි ප්‍රාතිහාර්‍යයක් වෙලා තියෙනවද? නැතිවෙච්ච යතුරු ටිකක් හම්බවෙන, විභාගයක් පාස් වෙන වගේ වාසනාවට වෙන දේවල් නෙවෙයි. වාසනාවේ සීමාවට එහායින් තියෙන දෙයක්. හරියට මැරෙන්න ගියපු රිය අනතුරකින් කිසිම හානියක් නොවී බේරෙන එක, සමහර විට ඉපදෙනකොටම මැරෙන්න ගියපු ඔයාව වෛද්‍යවරු බේර ගන්න එක වගේ දෙයක්. හරියට ඔයා අදහන දෙවියන් හරි විශ්වය විසින් හරි ඔයාට දෙවෙනි අවස්ථාවක් දුන්නා වගේ දෙයක්. තේරෙන වයසකදී එහෙම දෙයක් වුනොත්, ඔයා එතනින් එහාට ජීවිතයේ මොනවද කරන්නේ? ඒක වාසනාවට බැර කරලා වෙනදා වගේම ජීවත් වෙනවද. නැත්නම් ඒ දෙවෙනි අවස්ථාව තමන්ගේ ජීවිතයේ turning point එකක් කර ගන්නවද? කොහොම හරි ඒ අවස්ථාව හොඳ විදියට යොදා ගන්න හෝ නොගන්න එක ඔයාගේ වැඩක්. ඒ වගේ ප්‍රාතිහාර්‍යයක් ජීවිතයට වෙලා තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම බලලා තියෙන්න ඕන චිත්‍රපටියක් ගැන තමයි අද කතා කරන්නේ. හොලිවුඩයේ දැනට ඉන්න විශිෂ්ටතම අධ්‍යක්ෂවරයෙක් වෙන Quentin Tarantino කියන්නේ කවුද කියලා ලෝකෙටම පෙන්නපු, ලොකු cultural impact එකක්, 2019 දී නිකුත් වුනු Joker චිත්‍රපටිය වගේම 1994 දී සිනමාශාලා වල හිටපු මිනිස්සු පිස්සු වට්ටලා එලියට එවපු, all time classic masterpiece එකක් වුනු, නමේ හැටියටම pulp එකක් වගේ එක genre එකකට කොටු කරන්න බැරි Pulp Fiction ගැන අද කතා කරමු. මම හිතන්නේ නෑ මේක කියවන අය කිසිම කෙනෙක් Pulp Fiction චිත්‍රපටිය සිනමාශාලා වල නරඹලා ඇති කියලා. ඒත් මොන විදියකට, කවදා බැලුවත්, පළවෙනි වතාවට බලලා ඉවරවෙද්දී 1994 දී පළවෙනි වතාවට Pulp Fiction බලපු කෙනෙක්ට ඇති වුන "මොන මගුලක්ද ඒ උනේ" කියන හැඟීම ඔයාලටත් ඇති වෙන්න ඇති. ඇත්තටම මොකක්ද ඒ උනේ? කොහෙවත් යන චරිත ටිකක්, එක එක time lines වලින් අරන් ඇවිත් අන්තිමට එකතු කරපු, තේරුමක් නැති වෙඩි තියා ගැනීම්, ගුටි කෙලි වගේ ප්‍රචණ්ඩත්වය පිරුණු චිත්‍රපටියක්ද Pulp Fiction කියන්නේ? Structure, Characters සහ Dialogues වලින් අපි Pulp Fiction තේරුම් ගන්න බලමු. ▫️Structure 90 දශකයේ චිත්‍රපටි වල අපිට නිතර දකින්න නොලැබෙන non linear time line එකක් තමයි Pulp Fiction චිත්‍රපටියේ අපිට දකින්න ලැබෙන්නේ. මෑත කාලයේදි නම් මේක නරඹන්නාගේ අවධානය රඳවා ගන්න යොදන trick එකක් වුනත් Pulp Fiction චිත්‍රපටියේදී linear time line එකක් පාවිච්චි කලා නම් ගොඩක් details miss වෙන්න ලොකු ඉඩක් තිබුනා. මුලින්ම අපිට බලාගන්න පුලුවන් වෙන්නේ Diner එකකදී වෙන Pumpkin සහ Honey Bunny ගේ කතාබහ. චිත්‍රපටිය ආරම්භ වෙන්නෙත් අවසන් වෙන්නෙත් මේ scene එකෙන්මයි. ඒ වගේම මුලු චිත්‍රපටියේම meaning එක පැහැදිලි කරන්න Tarantino යොදා ගෙන තියෙන්නේත් මේ scene එකමයි. ඒත් මේක linear time line එකේදි නම් අවසානය නෙවෙයි. Linear time line එකකදී නම් මේ scene එක මැදකට වැටීම නිසා සමහර විට මුලු Pulp Fiction එකම විහිලුවක් වෙන්න තිබුනා. Pumpkin, Honey Bunny ගේ starting scene එකෙන් පස්සේ අපිට දකින්න ලැබෙන්නේ චිත්‍රපටියේ main characters දෙක කියලා කියන්න පුලුවන් Jules සහ Vincent. Film එකේ වැදගත්ම කොටස skip කරලා අපිට මෙයාලගෙ ඊලඟ scene එක තමයි ඊළඟට බලාගන්න පුලුවන් වෙන්නේ. ඒ full suit පිටින් වැඩේට බැහැපු දෙන්නා කොට කලිසම් පිටින් වැඩේ ඉවර කරලා ආවේ ඇයි කියලා ප්‍රේක්ෂකයන්ටත් කුතුහලයක් ඇති කරලා. ඊළඟට අපිට බලාගන්න පුලුවන් වෙන්නේ Pulp Fiction iconic scenes වගයක් තියෙන Vincent සහ Mia ගේ scene එක. දෙන්නගේ dance එක එහෙම නම් ගොඩක් අයට අමතක වෙන්නෙ නැතුව ඇති. එතනින් පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් වුනු Butcher ගේ story එක අපිට බලාගන්න පුලුවන්. Scene එක අවසන් වෙන්නේ Marsellus සහ Butcher ගේ BDSM scene එකකින් 😅 Pulp Fiction movie එක summarize කරගන්න පුලුවන් scenes 2 අපිට බලාගන්න පුලුවන් වෙන්නේ ඊට පස්සේ. ඒ Vince, Jules, Marvis scene එකයි Pumpkin, Honey Bunny ending scene එකයි. ඉතින් ඇයි මෙහෙම structure එකක්? Pulp Fiction කියන්නේ එක විදියකට redemption movie එකක්. කර්මය, ඉරණම, අහඹුතාවය, ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්, දෙවැනි අවස්ථාවක් ගැන කතා කරන movie එකක්. මේ structure එකෙන් කර්මය ගැන හරි ඉරණම ගැන හරි විශ්වාස කරන නොකරන අයට වෙන ඉරණම ගැන අපිට හේතු එක්කම බලා ගමු. Pulp Fiction characters ගැන අපි ඊළඟට බලමු. ▫️Characters විචාරකයන් කියන විදියට Pulp Fiction චිත්‍රපටිය එක විදියකට චරිත කිහිපයකගේ purgatory එකක් විදියටත් ගන්න පුලුවන්. ඒ කියන්නේ ඒ ඒ චරිත ගන්න තීරණ අනුව ඔවුන්ට දෙවියන් හරි විශ්වය විසින් හරි දඬුවම් කරන හරි සමාව දෙන පවිත්‍රාගාරයක් වගේ දේකට. Pulp Fiction චිත්‍රපටියේ එන චරිත වල වුන දේවල් ගැන අපි බලමු. Butch - Butch ට Pulp Fiction එක ඇතුලේ ලොකු කොටසක් කරන්න තිබුණා. හරි වැරදි දෙකම Butch අතින් සිද්ධ වුනා කියන්න පුලුවන්. ඒකට හරියන්න ඔහුට දඬුවමත් සමාවත් දෙකම ලැබෙනවා ඔයාලා දකින්න ඇති. මුදලට තරඟ පාවා දීමේ නිරත වෙලා සිටීම නිසා Marsellus එක්ක සම්බන්ධයක් Butch ට තිබ්බා. ඒ වැරැද්ද නිසාම Butch ට තමන්ගේ ජීවිතය බේර ගන්න පැනලා යන්න සිද්ධ වුනා. ඒත් තමන්ගේ තාත්තා දිවි පරදුවට තියලා රැකගත්තු තමන්ගේ පවුලේ උරුමයක් වුනු අත් ඔරලෝසුව මතක් වෙලා ගේන්න ගියපු අවස්ථාවේදී Butch ට තමන්ගේ දඬුවම නිවැරදි කරන්න අහම්බෙන් දෙවෙනි අවස්ථාවක් නැත්නම් test එකක් ලැබෙනවා. අන්තිමට තමන්ගේ හදවතට එකඟව Marsellus ව බේර ගන්න Butch කටයුතු කරපු නිසා ඔහුගේ වැරදි වලට සමාවක් ලැබිලා නිදහසේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. Mia - TSA (Transportation Security Administration) එකට වඩා නිළියන්ගේ කකුල් සපත්තු වලින් එළියට ගත්ත director කෙනෙක් වෙන Quentin Tarantino ගේ බලවත් පෙරැත්ත හින්දම චරිතය භාර ගත්තු Uma Therman, Mia Wallace ගේ චරිතයෙන් අපිට බලාගන්න පුලුවන්. Vincent ගේ character එකට supporting character එකක් විදියට ආපු Mia, Pulp Fiction වල icon එකක් වෙලයි නැවතුනේ. තමන්ගේ boss ට තියෙන loyalty එක test කරන්න Vincent ට ලැබුණු test එකක් විදියට Mia ව ගන්න පුලුවන්. ඒ වගේම character එකක් විදියට ඇයටත් පොඩි test එකක් ලැබෙනවා. දකින දකින දේ නහයට දාගන්න පුරුද්ද නිසා ඔන්න මෙන්න කියලා නැතිවෙන්න තිබුණ ජීවිතය බේරලා දීලා Mia ටත් දෙවෙනි අවස්ථාවක් ජීවිතයට ලැබුනා. හැබැයි Mia ඒක කොයි විදියට පාවිච්චි කරයිද කියලා අපිට බලාගන්න ලැබුනේ නෑ. Marsellus - පෙර වැරදි වලට දඬුවමක් ලැබුණු Marsellus ට ඒත් එක්කම Butch ගේ මාර්ගයෙන් දෙවෙනි අවස්ථාවකුත් ලැබුනා. ඒ අවස්ථාව ලබා දීපු කෙනාට කළගුණ සලකන්නත් Marsellus අමතක කලේ නෑ. Pumpkin & Honey Bunny - නරකයි කියලා කෙලින්ම කියන්න බැරි වුනත් diner එක කොල්ලකන්න ක්ෂණිකව ගත්තු තීරණ, මේ දෙන්නගේම ජීවිත වලට ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා. තමන්ගේ hitman වෘත්තියෙන් විශ්‍රාම යන්න තීරණය කරලා හිටපු Jules නිසාත්, ඉවක් බවක් නැතුව ඔහේ වෙඩි තියන Vincent වැසිකිළියට ගිහින් හිටපු නිසාත් දෙන්නටම ජීවිතයට දෙවෙනි අවස්ථාවක් ලැබෙනවා. ඒ Jules ගෙන් ලැබෙන ලොකු දේශනාවක් එක්කයි. Vincent, Jules දෙන්නගේ characters එක්ක ඒ ගැන අපි අන්තිමට බලමු. කවදත් වගේ ප්‍රචණ්ඩත්වය තියෙන ඇමෙරිකාවේ, 90 දශකය ටිකක් අපරාධ වැඩිවෙලා තිබුණු කාලයක්. දවසකට වෙන අපරාධ ප්‍රමාණයත් එක්ක මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකම අඩු වෙලා යනවා කියලා දැනුනු, මිනිස්සුන්ගේ සදාචාරය, ගුණධර්ම වගේ දේවල් ගැන ආපහු හිතන්න වෙන, තමන් හොඳ දෙයක් කලොත් ආපහු හොඳ දෙයක් තමන්ට වේවිද කියලා මිනිස්සුන්ට හිතන්න වුනු කාලයක තමයි Pulp Fiction චිත්‍රපටිය එන්නේ. ජීවිතය කියන දේ කොච්චර අහඹුද කියලා පෙන්නපු, තමන් කරන පොඩි හොඳ දෙයක්, ගන්න හොඳ තීරණයක් ආපහු තමන්ට කොයි තරම් බලපෑමක් කරන්න පුලුවන්ද කියලා පෙන්නපු චිත්‍රපටියක් තමයි Pulp Fiction කියන්නේ. සමහරු කියන විදියට Pulp Fiction විශ්වයේ නිර්මාතෘ වෙන Quentin Tarantino තමයි අපි දැක්ක ඒ චරිත වල ඉරණම තීරණය කරපු දෙවියන් වහන්සේ 😶‍🌫️ ▫️Dialogues Pulp Fiction කියන්නේම dialogue oriented movie එකක්. Run time එක fill කරන්නවත්, කිසි තේරුමක් නැතිවවත් ඔබ්බවපු dialogues අපිට Pulp Fiction වලදී බලා ගන්න බැහැ. ඒ වගේම දෙබස් හරිම ස්වාභාවික විදියටත් අපිට බලාගන්න පුළුවන්. Marcellus ගේ brief case එක ගේන්න යන අතරමගදී Vincent, Jules අතර ඇතිවෙන යුරෝපය ගැන කතාබහ, Marsellus තට්ටු හතරකින් බිමට දාපු මනුස්සයා ගැන කතාබහ, diner එකේදී ඇතිවෙන ඌරු මස් බලු මස් ගැන කතාව සාමාන්‍ය මිනිස්සු එකතු වුණාම කතා කරන දේවල් වලට ගොඩක් සමානයි. ඒ වගේම බරපතල අවස්ථා වලදී සිද්ධ වෙන කතාබහ පවා හාස්‍යජනක විධියට ඉදිරිපත් කරලා තිබුණා. Butch ගේ පවුලේ උරුමයක් වුණු අත් ඔරලෝසුව, Butch ගේ තාත්තා වියට්නාම් වධ කඳවුරක ඉඳන් ජීවිතය පරදුවට තියලා ආරක්ෂා කරගත්ත හැටි කියන අවස්ථාව කොච්චර serious වුණත්, ගුධ මාර්ග දෙකක හංගලා තියා ගත්ත ඒ ඔරලෝසුව Butch පොඩි කාලෙදි අතට දෙද්දී හිනාවෙන එක වැරැද්දක් වුණත් හිනායන තරමටම දෙබස් හරිම විධියට තිබුණා. Marsellus ගේ BDSM එකෙන් පස්සේ Butch එක්ක ඇති වෙන කතා බහත් ගොඩක් හාස්‍යජනක විධියට නිර්මාණය කරලා තිබුණා. Marvin ගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තිබ්බාට පස්සේත් Jules, Vince අතරේ ඇති වෙන කථාබහෙන් memes පවා මේ වෙනකොට හැදිලා ඉවරයි. කොහොමත් Samuel L Jackson ඉන්න ඕනම scene එකක් meme එකක් විධියට ගන්න පුළුවන් 😂 Pulp Fiction රසිකයින්ට නම් මේ legendary dialogues ටික මතක ඇති. "I don't remember asking you a goddamned thing!" "I dare ya! I double dare you, motherf#$ker" "Does he look like a bit@h?" "I shot Marvin in the face." ඒ එක්කම අඩුම වයසකින් N-word pass එක ලැබුණු director කෙනෙක් වුණු Tarantino ගේ චරිතය වුණු Jimmie වගේම ගොඩක් අයගේ ප්‍රියතම චරිතයක් වුණු Winston Wolf වත් අමතක කරන්න බැහැ. Pulp Fiction වල අපිට දකින්න ලැබෙන වැදගත්ම dialogue එක කියන්නේ Jules විසින්. සම්පූර්ණ චිත්‍රපටයේම මූලික හරය නැත්නම් අදහස අපිට මේකෙන් ගන්න පුළුවන්. එක quote එකකින් චිත්‍රපටියක් විස්තර කරන්න හෝ අරගෙන යන එක ගොඩක් අමාරු දෙයක්. Hollywood වල මෑතකාලයේ ගොඩක් වෙලාවලදී ඒක උත්සාහ කළත් අවසානයට නැවතුනේ චිත්‍රපටයම ලොකු විහිළුවක් වෙලා. Tarantino පටන් ගත්තු මේ දේ අනිත් Hollywood directors ලා copy කරන්න උත්සාහ කළත් ඒක Pulp Fiction තරම් ගොඩක් ලොකුවට සාර්ථක වුණේ නෑ. Vincent, Jules and Ezekiel 25:17 හදිසි අවස්ථා වලදී එන වැසිකිළි අවශ්‍යතාවය නිසා ජීවිතයේ වැදගත් දේවල් මග ඇරෙන Vincent වගේ යාලුවෙක් ඔයටත් ඉන්නවද? Vincent ගේ ජීවිතය පවා නැති වෙන්නේ නොගැලපෙන වෙලාවක වැසිකිළියක ඉද්දී. Jules සහ Vince හොඳ යාළුවෝ වුණත් දෙන්නා අහසයි පොළවයි වගේ. දෙන්නම professional hitmen ලා වුණත්, Jules තමන්ගේ වැඩේ හරියට වගකීමකින් ඇදක් පළුද්දක් නැතිව කරන කෙනෙක්. Vincent නුත් තමන්ගේ වැඩේ කොහොමහරි කරගත්තත් තවත් ප්‍රශ්න ගානක් ඇති කරලා තමයි වැඩේ කරලා ඉවර කරන්නේ. Jules එක්ක බලද්දී, Vincent කියන්නේ බොහොම නොසැලකිලිමත් කෙනෙක්. තමන්ගේ insider වුනු Marvin ගේ මූණටම වැරදීමකින් වෙඩි තියලත් ගානක් නැතුව හිටපු විදියෙන් ඔයාලටත් ඒක තේරෙන්න ඇති. ජනප්‍රිය fan theory එකක් වෙන 1992 දී නිකුත් වුනු Reservoir Dogs සහ Pulp Fiction එකම universe එකකට අයිති කියන එකට අනුව Vincent Vega ගේ සහෝදරයා අපිට Reservoir Dogs වල Victor Vega විදියට බලාගන්න පුලුවන්. එහෙම ගත්තොත් දෙන්නම ඉවක් බවක් නැතිව වෙඩි තියන එකම ජාතියේ පිස්සෝ කියලා කියන්න පුලුවන්. තවත් fan theory එකකට අනුව Vincent, තමන්ගේ ජීවිත අනතුරේ දාපු Marvin ට නොසැලකිල්ල පිටින් දාලා වෙඩි තිබ්බ කපටියෙක් කියලත් කියනවා. Jules, Vincent දෙන්නගේ ඉරණම වෙනස් වෙන්නේ Marsellus ගේ brief case එක ගේන්න ගියපු අවස්ථාවේදී. Bathroom එකේ හැංගිලා හිටපු කෙනෙක් Vincent, Jules දෙන්නට වෙඩි තියනවා. නූලෙන් මග අරුණු වෙඩි පාරවල් වලින් දෙන්නම බේරෙනවා. Vincent පුරුදු විදියටම වාසනාවට ඒක බැර කළත් Jules ඒක Devine intervention එකක් එහෙමත් නැත්නම් දෙවියන් ඇවිත් තමන්ගේ ජීවිතය බේරලා තමන්ට දෙවෙනි අවස්ථාවක් ලබා දුන්නා කියලා හිතනවා. මේ සිදුවීම Vincent ට තවත් එක සිද්ධියක් වුණත්, Jules තමන්ගේ hitman career එක අතාරින්න පවා තීරණය කරනවා. බයිබලයේ එන Ezekiel 25:17 කොටස Jules විසින් තමන්ට පැවරුණු රාජකාරිය ඉවර කරන්න කලින් ජීවිතය නැති කරන්න යන කෙනාගේ මුනට කියන්න පුරුදු වෙලා හිටියා කියලා දකින්න ඇති. "The path of the righteous man is beset on all sides by the inequities of the selfish and the tyranny of evil men. Blessed is he who in the name of charity and good will shepherds the weak through the valley of darkness, for he is truly his brother's keeper and the finder of lost children. And I will strike down upon thee with great vengeance and furious anger those who attempt to poison and destroy my brothers. And you will know my name is the Lord when I lay my vengeance upon thee." අනිත් කොටස් කොහොම වුණත් Vengeance part එක නිසා තමන් මරන්න යන මනුස්සයට, Lord position එකේ ඉඳන් Jules මේ කොටස කියන්න පුරුදු වෙලා හිටියා. ඒත් Devine intervention එකෙන් පස්සේ තමන්ව කොල්ලකන්න ආපු Pumpkin ට, තමන්ට ලැබුණු දෙවෙනි අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් ජීවිත දානය දෙන්න Jules ක්‍රියා කළා. තවදුරටත් Lord position එකේම නොඉඳ තමන්වත්, Pumpkin වත් righteous man ගේ position එකට ආදේශ කරලා බලන Jules, Pumpkin ට අන්තිමට කියන්නේ මේ වගේ දෙයක්. "The truth is, you're the week. And I'm the tyranny of evil men. But I'm trying. I'm trying real hard to be the shepherd." මෙච්චර කාලයක් අඳුරේ ජීවත් වුණු Jules, Pumpkin, Honey Bunny වගේ දුර්වලයින්ට නපුරු ලෝකයේදී පිහිට වෙන blessed one කෙනෙක් වෙන්න තමන්ට ලැබුණු දෙවෙනි අවස්ථාව නැත්නම් ප්‍රාතිහාර්‍යය යොදා ගත්තා. තමන්ව කොල්ලකන්න ආපු අයට අතේ තිබ්බ සල්ලි ටිකත් දීලා පන පිටින්, ආයේ හොඳින් ජීවත් වෙන පොරොන්දුව මත යවපු Jules දිහා Vincent බලන් ඉන්නේ සමච්චලයෙන්. Brief case වැඩෙන් තමන්ගේ job එක ඉවර කරපු Jules නැති වුණත් Vincent තමන්ගේ වැඩ දිගටම කරගෙන ගියා. ඒත් ලොකු දුරකට නම් නෙවෙයි. තමන්ට Marsellus ගෙන් ලැබුණු ඊළඟ වැඩේ වෙන Butch ව ඉවර කරන එකේදී වැසිකිලිය උඩම මැරිලා යන්න Vincent ට සිද්ධ වෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්ද ඔයාගේ ජීවිතයෙත් turning point එකක් කරගන්නවද? ඔයත් miracles, second chances විශ්වාස කරන කෙනෙක්ද? කොහොම වුනත් ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️ ආ තව පොඩි දෙයක්. Marsellus ගේ brief case එකේ තිබුණු දේ දන්නවා නම් comment එකක් දාගෙන යන්න.