බැබිලෝනියාවේ ගින්දර.

by Pasindu Herath

බැබිලෝනියාවේ ගින්දර.

Share

අද SriCOMat7 සෙග්මන්‍ට් එකෙන් අපි කතා කරන්නේ ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන නිර්මාණය වූ විශිෂ්ටතම වාර්තාමය චිත්‍රපටයක් ගැන.

Fire in Babylon 🌴🔥🏏

අවු.27 කට පස්සේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ව්සින් ඕස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියානු භූමියේදිම පරාජය කරලා ලකුණු 8 තියුණු සහ විශිෂ්ට ජයක් ඊයේ ලබාගත්තා. මේක ඇවිල්ලා පිනට දිනපු ජයක් නෙමේ. ජෝශප් ශමාර්ගේ විශිෂ්ට දක්ෂතාවත් එක්ක ලබපු ජයක්.

පාදයේ ආබාධයක් තියාගෙන රට වෙනුවෙන් ක්‍රීඩා කරලා ලකුණු 62 කට කඩුලු 7 ක් බිඳ හෙලීම ප්‍රශංසනීයයි.

මේ ජය කොදෙව්වන්ට වගේම ක්‍රිකට් ලොලින්ටත් සෑහෙන සංවේදී අවස්ථාවක්. බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘතයක් වෙන බ්‍රයන් ලාරා මේ ජය ලබපු වෙලා සතුටු කඳුළු හැලුවේ මේක එතරම්ම වැදගත් ජයක් නිසා.

මේ හින්දා මට ආයෙත් Fire in Babylon ක්‍රිකට් documentary film එක ආයෙත් බලන්න හිතුනා. මේක අද බැලුවේ දෙවැනි පාරට. බටහිර ඉන්දීය pov එකෙන් නිර්මාණය වෙලා තියෙන මේ ෆිල්ම් එකේ ලෝක ප්‍රකට ලේජන්ඩ්ලා බලාගන්න පුළුවන්.

ඕස්ට්‍රේලියාව තුලදී ටෙස්ට් ජයක් කොදෙව්වෝ පළමු වරට ලබන්නේ 1930 වසරේදී. හැබැයි ඔවුන්ට 1979 වෙනකම් කිසිදු ටෙස්ට් සිරිස් එකක් ඔස්ට්‍රේලියානු භූමිය තුලදී ජයගන්න ලැබෙන්නේ නෑ.

1975/76 කොදෙව්වෝ ඔස්ට්‍රේලියානු සංචාරයට යන්නේ සාමාන්‍ය පරිදි සෙල්ලම් කරන්න බලාගෙන. හැබැයි ඔවුන් සිරිස් එකේ තරඟ 5 ම පරාජයට පත් වෙන්නේ ශාරීරිකව වගේම මානසිකවම තද බල ප්‍රහාර වලට ලක්වෙලා.

ජෙෆ් තොම්ප්ස්න් වගේ පැයට කිලෝමීටර් 160+ වේගයෙන් බිහිසුණු ආකාරයේ බවුන්සර් පන්දු යවන ඔස්ට්‍රේලියානු වේගපන්දු බළඇණිය ඉස්සරහ කොදෙව්වෝ එකා එකා පිට තුවාල වෙනවා. ඔවුන්ට ජෙෆ් තොම්ප්සන් සහ ඩෙනිස් ලිලී ප්‍රමුඛ මාරාන්තික ඕස්ට්‍රේලියනු පන්දු යවන බල ඇනියට මුහුණ දෙන්න බැරි වෙනවා.

1975/76 ඔස්ට්‍රේලියානු තරඟ සංචාරය ක්ලයිව් ලෝයිඩ් නිමා කරන්නේ ඒවනි බිහිසුණු පන්දු යවන බළඇණියක් කොදෙව් කණ්ඩායමටත් නිර්මාණය කර ගැනීමේ තිර අදිටනින්.

ඒ අනුව වසර කිහිපයක් යද්දී එංගලන්තය පවා පරාජය කරන්න පුළුවන් මයිකල් හෝල්ඩින්ග්ස් ප්‍රමුඛ දක්ෂ වේග පන්දු බළඇණියක් ක්ලියිව් ලොයිඩ් නිර්මාණය කරගන්න සමත් වෙනවා.

1975 සහ 1979 ලෝක කුසලාන ද්විත්වයම ජයගෙන තිබුණත් ඕස්ට්‍රේලියාවේ දී ටෙස්ට් සිරිස් එකක් ජයගන්නවා කියන එක බටහිර ඉන්දීය කොදෙව්වන්ට හීනයක්. හීනයක් විතරක් නෙමෙයි මාරාන්තික සටනක්.

ඔවුන්ට නැවත අවස්ථාවක් එනවා.1979/80 ඕස්ට්‍රේලියා තරඟ සංචාරය. මෙවරත් කොදෙව්වන්ට ඔස්ට්‍රේලියානු බිහිසුණු පන්දු යවන්නන්ට මුහුණ දෙන්න පහසු වෙන්නේ නෑ. හැබැයි විවියන් රිචඩ්ස්-ලෝකය බිහිකරවු විශිෂ්ටතම පිතිකරුවා, ජෙෆ් තොම්පස්න් - ලිලී වැනි පන්දු යවන්නන්ගේ මාරාන්තික පන්දු යැවීම් තඹ දොයිත්තුවකට මායිම් නොකර සෙල්ලම් කරනවා.

ඒ වගේම මෙවර කොදෙව්වො මයිකල් හෝල්ඩින්ග්ස් ප්‍රමුඛ "4 හෝස්මන්" නැමති වේග පන්දු බළඇණිය එක්ක එන්නේ ඔස්ට්‍රේලියානු පිත්කරුවන් අන්ද මන්ද කරන්න බලාගෙන.සිතූ පරිදිම ඔස්ට්‍රේලියානු පිතිකරුවන් කොදෙව් පන්දු බල ඇණිය ඉස්සරහ දෙකට නැමෙනවා.

තරඟවලියේ ප්‍රථම තරඟය ජය පරාජයෙන් තොරව නිමා වෙද්දී ඉතිරි තරඟ ද්විත්වයම 2-0 ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් ජයගන්නේ පළමු වරට ඔස්ට්‍රේලියානු භූමිය තුලදී ඔවුන් ලබාගත් ජය විදියට ඉතිහාසයට එක් කරමින්.

තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙන්නේ 96.5 ක සාමාන්‍යක් තියාගෙන සෙල්ලම් කළ ලකුණු 396 ක් ලබාගත් සර් විවියන් රිචර්ඩ්ස්. තරඟාවලියේ වැඩිම කඩුලු ලාබීන් වෙන්නේ කොදෙව් කණ්ඩායමේ කඩුලු 16 ක් ලබාගත් කොලින් ක්‍රාෆ්ට් සහ කඩුලු 14 ක් ලබාගත් ජොයෙල් ගානර් විසින්.

සැබවින්ම ඒ තරගාවලියේ දී "Four Horsemen" ලා ඔස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ කරන්නේ එතැන් පටන් සමස්ත ටෙස්ට් ක්‍රිකට් ලෝකයම දශක දෙකකට පමණ බටහිර ඉන්දීය කොදෙව්වන් ඉස්සරහ දන නැමීමේ මූලාරම්භය ලෙස.

එතැන් පටන් බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් ටෙස්ට් ක්‍රිකට් ලෝකය ආක්‍රමණය කරනවා.

1980 මාර්තු සිට 1995 වසරේ මාර්තු දක්වා අවුරුදු 15 ක් පුරාවට කොදෙව්වො කිසිම ටෙස්ට් සිරිස් එකක් පරාජයට පත් වෙන්නේ නෑ.

ඔව්... අවුරුදු 15 ක් පුරාවට එකම ටෙස්ට් සිරිස් එකක්වත් පරාජය වෙන්නේ නෑ.කිසිම කණ්ඩායමක් එහෙම ක්‍රිකට් ආධිපත්‍යයක් දරල නෑ.

ඒ කාලය තුළ ටෙස්ට් සිරිස් 29 ක් ඔවුන් ජයගන්නවා. ඒ තරම් සෑහෙන දිගු ඩොමිනන්ස් එකක් තියාගන්න බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වෙනවා.

ඒ වගේම 1982-84 කාලයේදී පමණක් ක්ලායිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ කොදෙව්වේ පිට පිට තරඟ 27 ක් ජයගන්නවා. ටේස්ට් තරඟ ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පිට පිට ජයගත් අවස්ථාව.

කොහොම වුණත් 1997 න් පස්සේ ඊයේ වෙනකම් කොදෙව්වන්ට ඕස්ට්‍රේලියාවේ දී තරඟ ජයක් ලබන්න ලැබුණේ නැහැ.ඊයේ ජය ගැනීම අති විශිෂ්ඨ වන්න එක හේතුවක් ඒක.

Fire in Babylon ෆිල්ම් එක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ තවත් එක් යුගයක් ගැන නොමැකෙන මතකයන් ගොඩක් එකතු කරලා හදපු documentary එකක්. මේක නොබලපු ක්‍රිකට් පිස්සෙක් නැති තරම් ඇති. අද බටහිර ඉන්දීය කොදෙව් ජය නැවත ආයේ කතාව බලන්න මාව පෙළඹුවා.

සාමාන්‍ය කණ්ඩායමක්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විවිධ හැල හැප්පීම් මත්තේ අවුරුදු 15 ක අපරාජිත ක්‍රිකට් ඩොමිනන්ස් එකක් තියා ගැනීම දක්වා වූ පසුබිම් කතාව ගැන Fire in Babylon වල ලස්සනට පෙන්නලා තියෙනවා

ක්ලියුව් ලොයිඩ්ගේ නායකත්වයෙන් ලෝකයක් හොල්ලපු තරුණ කොදෙවන්ගේ කතාව වගේම නොවුනත් ඒ වගේම අත් දැකීම් අඩු තරුණ කොල්ලො ටිකක් ඊයේ ඕස්ට්‍රේලියාව පරාජය කළා ඔවුන්ගේම භූමියේදී. මේවා ඓතිහාසික සිද්දි.