අද #SriCOMat7 සෙග්මන්ට් එකෙන් Tintin ගැන බලමු.

by Menuka Risith

අද #SriCOMat7 සෙග්මන්ට් එකෙන් Tintin ගැන බලමු.

Share

ටින්ටින් නොස්ටැල්ජියාව සහ තවත් කතා...

මෙම සටහන, අද ජනවාරි 10 වෙනිදාට යෙදෙන ටින්ටින් ගේ 95 වෙනි උපන්දිනය නිමිත්තෙනි. (93 වෙනි උපන්දිනයට දැම්ම ලිපියේ නැවත පල කිරීමකි)

මෙහි අරමුණ, ටින්ටින් ලංකාවේ අපට සමීප වූ අයුරු සිහිගන්වමින්, අපේ ගීක් Community එකට වැදගත් යයි හැඟෙන කරුණු කිහිපයක් ඉස්මතු කිරීමයි.

ටින්ටින් චරිතය නිර්මාණය කරන ලද්දේ, "ජෝර්ජ් ප්‍රොස්පර්"(Georges Prosper) නම් බෙල්ජියානු ජාතික චිත්‍ර ශිල්පියා විසිනි.
"හර්ජ්" (Hergé) යනු ඔහුගේ අන්වර්ථ නාමයයි.

ටින්ටින් ටෙලිවිෂන් සහ සිනමා නිර්මාණ වලට පදනම් වූයේ, හර්ජ් විසින් නිර්මාණය කළ ටින්ටින් චිත්‍රකතා මාලාවයි.(Comic series)

1929 ජනවාරි දහවෙනිදා (10) Tintin in the Land of the Soviets නම් මුල්ම ටින්ටින් චිත්‍ර කතාව ප්‍රකාශනයට පත් කොට ඇත. එබැවින් ජනවාරි 10 ටින්ටින් ගේ උපන්දිනය ලෙස සැළකෙයි.

70, 80 දශක වලදී ඉංග්‍රීසි කොමික් (Comic) පොත් ඇසුරු කළ, මෙරට සුලු පිරිසකට ටින්ටින් අමුත්තෙකු නොවීය.

නමුත් ටින්ටින් ලංකාවේ ජනප්‍රිය තරුවක් බවට පත් වූයේ, සිංහල හඬ කැවූ ටින්ටින් කාටූනය ජාතික රූපවාහිනියෙන් විකාශය වීමත් සමඟයි.
මෙහි සිංහල පිටපත සකසා ඇත්තේ ටයිටස් තොටවත්ත ශූරින් (ටයි මාමා) 

විසිනි.

පාලමක් මතින් වේගයෙන් ඇදෙන දුම්රිය.. 

ස්නෝවි අතින් 

ගෙන ඉන් පිටතට පනින ටින්ටින්.. ඊට පසුබිමෙන් වූ තේමා වාදනය

.. පොඩ්ඩන්ගෙ මෙන්ම වැඩිහිටියන්ගේ ද ආකර්ෂණයට ලක්විය.

The Adventures of Tintin (ටින්ටින් ගේ වීරක්‍රියා) නමින් රූපවාහිනී කාටුන් වැඩසටහන් දෙකක් නිෂ්පාදනය වී ඇත. මේ ද්විත්වයම නිර්මාණය කර ඇත්තේ හර්ජ් ගේ මුල් කොමික් කතා ඇසුරෙනි.

ඉන් පලමුවැන්න 1958 දී Belvision studios වෙතින් නිෂ්පාදනය වූවකි.

දෙවැන්න 1991 දී Ellipse Programme හා Nelvana Limited නම් ආයතන එක්වී නිෂ්පාදනය කළ ටින්ටින් කාටුනයයි. ලංකාවේ විකාශය වූයේ මෙයයි.

ජාතික රූපවාහිනියේ ටින්ටින් විකාශය වීමෙන් පසුව, සිරස ටීවී ඔස්සේ ටින්ටින් වෙනස් කතාංග කිහිපයක් නැරඹීමට අපට අවස්ථාව ලැබුණි.

එහිදී ඔවුන් කොටස් වශයෙන් විකාශය කළේ ටින්ටින් පැරණි කාටුන් චිත්‍රපට දෙකකි.

ඒවා පහත පරිදි වේ.

Tintin and lake of Sharks (1972) (ටින්ටින් සහ මෝරුන්ගේ විල)

ගම්මානයක් මැද මහා විලක්.. එහි පතුලේ සැඟවූ සොරාගත් කෞතුක භාන්ඩ... ජාවාරම මෙහෙයවන රස්ටපොප්‍යුලස්...ළිඳේ පනිට්ටුවේ වෝකිටෝකියක් සඟවාගෙන ඔත්තු සපයන මෙහෙකාරිය.. ඔබට මතක ඇති.

මෙහි කතාව හර්ජ් ගේ නොව, ඔහුගේ හිතවතෙකු වූ ග්‍රෙග් (Greg) නම් බෙල්ජියානු චිත්‍ර ශිල්පියාගෙයි.
මේ කතාව ඇතුලත් චිත්‍රකතා පොත නිකුත් කර ඇත්තේ, චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් පසුවයි.

Tintin and the temple of the sun (1969)
(ටින්ටින් සහ හිරු දෙවොල)
හර්ජ් ගේ පළිඟු බෝල හතේ ඉන්කාවරුන්ගේ ශාපයේ කතාවම, වෙනස්ම රිද්මයකට රස විඳීමට මෙමගින් අපට අවස්ථාව ලැබුණි.

මෙම කාටුන් චිත්‍රපට ද්විත්වයෙන් අනතුරුව, සිරස ටීවි විසින් ජාතික රූපවාහිනීයේ විකාශය වූ ටින්ටින් ම නැවත සිංහල හඬ කවා ඉදිරිපත් කරන ලදි.

නමුත් සිරස ටීවී ඔස්සේ, කලු දිවයින (The Black Island) හා නිල් නෙළුම (The Blue Lotus) යන කතාංග විකාශය නොවූ බවට මතකයක් ඇත.

එමෙන්ම ජාතික රූපවාහිනීයේ කැප්ටන් හැඩොක් ගේ මුවින් නික්මුණු "බිබිලි නගින බෙලිකටු" යන ජනප්‍රිය කියමන, සිරසෙ කැප්ටන් ගෙන් අසන්නට නොලැබුණි.

මෙවැනි විවිධත්වයන් සමග, නාලිකා දෙකෙන්ම අප නොමද විනොදාස්වාදයක් ලැබූ බව නම් කිව යුතුමය.
ඒ වෙනුවෙන් කැප වුණු, දායක වුණු සියලුම ශිල්පීන්ට හෘදයාංගම ස්තූතිය...


එකල ටින්ටින් කෙතරම් ජනප්‍රිය වී ද යත්, චොකලට් දවටන මත ද ඔහුගේ රුව සටහන් විය. විටෙක චොකලට් එකටත් වඩා අපට අවශ්‍ය වූයේ දවටනය ලබා ගැනීමටයි. (මේවා නම් මෑතක් වන තුරුම වෙළෙඳ පොළේ දක්නට ලැබුණි.)

එමෙන්ම ටින්ටින් කොමික් පොත් වලට ද අපේ රටේ පෙරට වඩා යම් ජනප්‍රියත්වයක් ලැබුණි. නමුත් ඉංග්‍රීසියෙන් පළ වීමත්, මිල අධික වීමත් නිසා ඒවා පරිහරණයට පෙළඹුණේ සීමිත පිරිසකි.

මේ තත්වය වටහාගත් ඇතැම් ලේඛකයන්, ටින්ටින් කොමික් පොත් ඇසුරෙන් ඒවා ළමාකතා 

ලෙස රචනා කොට සිංහල ටින්ටින් පොත් එලිදැක්වූහ.
මෙම ටින්ටින් පොත්, පොත් සාප්පු වල මෙන්ම පාසැල් අසල පදික වේදිකාවේ පවා දැක ගත හැකි විය.

එමෙන්ම සිංහලයට නැගුණු ටින්ටින් කොමික් පොත් කිහිපයක් ද එකල බෙහෙවින් ජනප්‍රිය විය. මේවායේ ඇතුලත චිත්‍ර කලුසුදු වූ අතර වර්ණවත් පිටකවරයකින් සමන්විත විය. එලෙස පළ වුණු "ටින්ටින් ඇමරිකාවේ" සහ "නිල් නෙළුම" යන පොත් අදටත් මතකයේ රැඳී තිබේ.

පසුකාලයක දී, සරසවි ප්‍රකාශකයන් විසින් ටින්ටින් චිත්‍රකතා වල ලංකාවේ ප්‍රකාශන අයිතිය ලබා ගැනුණි.
පසුව ඔවුන් එළිදැක්වූ, ඉංග්‍රීසි පොත් විලසින්ම වර්ණවත් රූප සහිත සිංහල ටින්ටින් චිත්‍රකතා පොත් පාඨකයන් අතර ජනප්‍රිය විය.

ටින්ටින් යලිත් අප අතර කතා බහට ලක්වූයේ, ස්ටීවන් ස්පීල්බර්ග් ගේ ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය හේතුවෙනි.
ටින්ටින් රසිකයන්ට මෙය නවමු අත්දැකීමක් විය.
නමුත් ටින්ටින් සිනමාවට ගෙන ඒමේ ඉතිහාසය, හතලිහ දශකය තරම් ඈතට දිවෙන්නකි.
එබැවින් ස්පීල්බර්ග් ගේ චිත්‍රපටයට ප්‍රථමයෙන්, ඒ ඉතිහාසය පිළිබඳව විමසා බලමු.

ප්‍රථම ටින්ටින් චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ 1947 දී ප්‍රංශයේදී ය.

The Crab with the Golden claws (රන් අඬු ඇති කකුළුවන්) නම් වූ එයට, හර්ජ් ගේ එනමින් ම ඇති චිත්‍රකතාව පදනම් වී ඇත.

එය stop motion චිත්‍රපටයකි.
(එක් එක් චරිත වලට අනුරූ සෑදීම... චරිතයේ හැසිරීමට ගැලපෙන පරිදි ඒවා ක්‍රමිකව වෙනස් කරමින්, ඡායාරූප ගත කිරීම... එම ඡායාරූප පෙළ වේගයෙන් ධාවනය කොට චලනයක් නිර්මාණය කර ගැනීම stop motion ක්‍රමවේදයයි.)

ඉන්පසුව බිහිවුණු ටින්ටින් කාටුන් චිත්‍රපට දෙක ගැන ඉහත දී සඳහන් වුණි. (මෝරුන්ගේ විල, හිරු දෙවොල)

නමුත් ලංකාවට එතරම් සමීප නොවූ තවත් අපූරු ටින්ටින් චිත්‍රපට දෙකකි.

ජනප්‍රිය කාටුන් චරිත වෙනුවෙන් නළු නිළියන් යොදාගෙන නිර්මාණය කළ චිත්‍රපට ඔබ රසවිඳ ඇති. (Asterix, Scooby Doo...)

එවැනි ටින්ටින් චිත්‍රපට ද නිර්මාණය වී තිබුණු බව සමහර විට ඔබ නොදැන සිටින්නට ඇත.

1961 වසරේදී තිරගත වුණු Tintin and the Golden fleece නළු නිළියන් රංගනයේ යෙදුණු ප්‍රථම ටින්ටින් චිත්‍රපටයයි.
ප්‍රංශ භාෂාවෙන් නිර්මාණය වූ මෙය, පසුව ඉංග්‍රීසි බසින් ද ප්‍රදර්ශනය කර ඇත.
මෙහි ටින්ටින් ලෙස රඟපෑවේ Jean-Pierre Talbot (ජීන්-පියරේ ටැල්බට්) නම් බෙල්ජියානු නළුවායි.

මෙහි අන්තර්ගත වූ කතාව, හර්ජ් ගේ කිසිම පොතකට අදාල නොවූවකි.
නමුත් හර්ජ් ගේ ටින්ටින් කතා වල "ටින්ටින් ගතිය" සුරැකෙන පරිද්දෙන් එය ගොඩ නැගීමට, නිර්මාණකරුවන් උත්සහ දරා තිබුණි.
ජීන්-පියරේ ඇතුලු රංගන ශිල්පීන් ද කාටුන් චරිත මනාව අධ්‍යනය කොට, උපරිම සාධාරණයක් කිරීමට කැපවී ඇති බව දක්නට ලැබේ.
ටින්ටින් විනාශ වූ බවට යම් යම් අවලාද නැගුන ද, චිත්‍රපටයට ලැබී ඇති සමස්ත ප්‍රතිචාරය යහපත් යයි සැලකිය හැක.

මේ නිසාම ඔවුන් 1964 දී Tintin and the Blue Oranges නමින් තවත් ටින්ටින් චිත්‍රපටයක් නිපදවීය. නමුත් එය එතරම් සාර්ථක වී නැත.
(මෙම චිත්‍රපට වල කොටස් යූටියුබ් තුලින් නැරඹිය හැක.)

අප දැන් ස්පීල්බර්ගේ ටින්ටින් දෙස හැරෙමු.
The Adventures of Tintin නම් මෙම චිත්‍රපටය motion capture තාක්ෂණය ඇසුරෙන් නිමවූවකි.

මෙය 2011 වසරෙදි තිරගත වුවද, ස්පීල්බර් ටින්ටින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මුලින්ම අදහස් කරන්නේ 80 දශකයේදීය.
ඔහු ඒ සඳහා පෙළඹුණ ආකාරයද සිත් ගන්නා සුළුය.

1981 දී ඔහුගේ Raiders of the Lost Ark චිත්‍රපටය තිරගත විය. මෙය Indiana Jones චිත්‍රපට මාලාවේ පළමුවැන්නයි.

එකල ඇතැම් විචරකයන් මෙම චිත්‍රපටය ටින්ටින් ගේ වීරක්‍රියා සිහිගන්වන බව පවසා ඇත. ස්පීල්බර්ග් පවසන පරිදි ඔහු ටින්ටින් ගැන දැනගන්නේ එවිටයි.

කවුද මේ ටින්ටින්? ඔහු සොයා බලන්නට විය. ටින්ටින් කොමික් පොත් කියවමින් රසවිඳින්නට විය.
ඒ අනුව ඔහු හර්ජ් ගේ කතා වලට අසීමිතව ආදරය කරමින් ඒවයේ රසිකයෙක් විය.

මේ බව ඔහු දුරකථනයෙන් හර්ජ් ට ද පැවසීය.

පුදුමයට කරුණ නම් මේ වන විටත් හර්ජ්, ස්පීල්බර්ග් ගේ චිත්‍රපට රසිකයෙක් වී සිටීමයි.
ඔහු ස්පීල්බර්ග් ගේ පලමු චිත්‍රපටය Duel (1971) අතිශය ප්‍රිය කළේය.

එබැවින් හර්ජ් ට මෙම දුරකථන ඇමතුම ප්‍රීතිය දනවන්නක් විය.
ඔහු ඉන්දියානා ජෝන්ස් ගැන ද කතා කරමින් ස්පීල්බර්ග් ව අගය කළේය.

මෙහිදී ස්පීල්බර්ග් පවසා සිටින්නේ ටින්ටින් චිත්‍රපටයක් කිරීමට තමන් කැමති බවයි.

"මාගේ Comic නිර්මාණයට සාධාරණයක් ඉටු කළ හැකි යයි මට හැඟෙන එකම අධ්‍යක්ෂවරයා ඔබයි."
ප්‍රකාශ කළ හර්ජ්, ඒ සඳහා කතාබස් කර ගැනීමට තමා හමුවට එන ලෙස ස්පීල්බර්ග් ට ආරාධනා කළේය.

නමුත් ඒ වන විට ස්පීල්බර්ග් ලන්ඩනයේ ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටයක රූගත කිරීම් වල නිරත වී සිටියේය.
සති තුනකින් හමුවෙන්න ඔවුන් එකඟ විය. නමුත් රෝගාතුරව සිටි හර්ජ් දෙවන සතියේදී ජීවිතයෙන් සමු ගත්තේය.

මේ අපූර්ව නිර්මාණ කරුවන් දෙදෙනාට දුරකථනයෙන් විනා, එකිනෙකා අබිමුව සංවාදයේ යෙදීමට අවස්ථාවක් නොලැබුණි.

හර්ජ් ගේ අභාවයෙන් පසු, 1983 දී ස්පීල්බර් The Adventures of Tintin චිත්‍රපටය සෑදීමට නීත්‍යානුකූල අයිතිය ලබා ගත්තේය.
හර්ජ් තමන් කෙරේ තැබූ විශ්වාසයට ගරු කරමින්, විශිෂ්ට නිර්මාණයක් බිහිකිරීම ඔහුගේ අභිප්‍රාය විය.
නමුත් තම චිත්තරූප රිදීතිරයට ගෙන ඒමට, එවකට පැවති තාක්ෂණය ප්‍රමාණවත් නොවන බව ස්පීල්බර්ග් ට වැටහුණි.
මේ නිසාම ඔහුගේ ටින්ටින් ව්‍යාපෘතිය පසු පසට ඇදෙන්නට විය.

යලිත් ඔහු එම කාර්යයට අත ගසන්නේ 2008 වසරේදීය. ඒ 2010 දී චිත්‍රපටය තිරගත කිරීමේ බලාපොරොත්තුවෙනි.
නමුත් යම් යම් ගැටලු නිසා එය 2011 දක්වා ප්‍රමාද විය.
ස්පීල්බර් සමග මෙහි නිෂ්පාදනයට පිටර් ජැක්සන් ද එක් වේ. (The Lord of the Rings අධ්‍යක්ෂවරයා)

මෙහි කතාව සකස් කර ගන්නේ හර්ජ් ගේ කෘති තුනක් සංයුක්ත කිරීමෙනි. ඒවා පහත පරිදිය.

The Crab withthe Golden claws
රන් අඬු ඇති කකුළුවන්

The secret of the Unicorn
යුනිකෝන් නැවේ අභිරහස

Red Rackham's Treasure
රෙඩ් රැකම් ගේ නිධානය

motion capture තාක්ෂණය උපයෝගී කර ගත් මෙම චිත්‍රපටයට, Jamie Bell (ටින්ටින්), Andy Serkis (කැප්ටන්), Daniel Craig (රෙඩ් රැකම්), Simon Pegg, Nick Frost යන රංගන ශිල්පීන් ප්‍රධාන වශයෙන් දායක විය.

"ඔබ සහ පීටර් ජැක්සන් ටින්ටින් ගේ වීරක්‍රියා චිත්‍රපට මාලාවක් සැලසුම් කරනවාද ?"

චිත්‍රපටය තිරගත වූ අලුත මාධ්‍යයෙන් කළ එම විමසුමට ස්පීල්බර් පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

"ටින්ටින් තවත් වික්‍රමාන්විතයන් අවශ්‍ය යයි අප සිතන සාර්ථකත්වය චිත්‍රපටය අත්කර ගන්නේ නම්, පීටර් සහ මම එය කිරීමට කැමතියි"

මෙම චිත්‍රපටය ඉහල ආදායමක් 

ඉපයීමට සමත් වූවා සේම සම්මාන 

ගණනාවකට ද පාත්‍ර විය.

ඔවුන් අපේක්ෂා කළ සාර්ථකත්වය එය වන්නට ඇතැයි අපට සිතෙයි.
එතැන් පටන් ගෙවුණු දශකයක පමණ කාලයට සාපේක්ෂව, "තාක්ෂණය" ද පරිණාමය වී තිබේ.

ඉතින්... අපි ඉදිරියටත් ටින්ටින් චිත්‍රපට නැරඹීමේ අපේක්ෂාවෙන් පසුවෙමු.

මෙම චිත්‍රපටය සම්බන්ධයෙන්, ස්පීල්බග් "තාක්ෂණය" ගැන කී කතාව, සටහන අවසානයේ සඳහන් කිරීම උචිත බව හැඟෙයි.

"තාක්ෂණය වැඩ පහසු කරනවා. නමුත් එය වැදගත්ම දේ නොවෙයි. ඔබ සතුව හොඳ අදහසක් නැත්නම්, තාක්ෂණය මත පමණක් පදනම් වෙලා විශිෂ්ට චිත්‍රපටයක් කරන්න බැහැ."

ඇතැම් විට, ස්පීල්බග් ගේම වදන් ඔබට වඩාත් නිරවුල් වේවි, දැනේවි...

"Technology made things easy, but is not most important. If you do not have a great idea, you can not make a great movie based only on technology."

-Steven Spielberg-

ඉතින් ඔයාලටත් ටිං ටිං ගැන තියෙන මතකය පහලින් ටයිප් කරගෙනම යන්න 

Admin:  චරිත් කල්දේරා