අසිමිත ජනප්‍රියත්වය හෙතුවෙන් රංගනයට සමුදුන් Home Alone නළු "මැකොලි කැල්කින්"

by Menuka Risith

අසිමිත ජනප්‍රියත්වය හෙතුවෙන් රංගනයට සමුදුන් Home Alone නළු "මැකොලි කැල්කින්"

Share

අද අපි Sri COM at 7 සෙග්මන්ට් එකෙන් කතා කරන්න යන්නේ අතිශය ජනර්පිය Home Alone චිත්‍රපටයෙහි හිටපු පුංචි නළුවා ගැන.

90 දශකයේත්, ඊට සමගාමී කාලයේත් ඉපදුනු පරම්පරාවේ අය මැකෝලි කල්කින් (Macaulay Culkin) නොදැන ඉන්න බැහැ.

මැකෝලි කල්කින් කියන නමින් නොදන්නවා වුනත්, සුප්‍රසිද්ධ "Home Alone" චිත්‍රපට මාලාවේ ළමා නළුවා කියලා කිව්වම හැමෝම ඔහුව දන්නවා.

අද ඔහු Hollywood Walk of Fame ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා.

Richie Rich, Home Alone වගේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට වල ප්‍රධාන චරිතය රඟපාපු ඔහු, 90 දශකයේ හොලිවුඩ් වලට නැතුවම බැරි ළමා නළුවා වුනා.

ඒ විතරක් නෙවෙයි වයස අවුරුදු 10ක් වෙද්දි ඇමෙරිකානු ඩොලර් මිලියන 13ක විතර ධනයකට හිමිකම් කියපු, චිත්‍රපටයකට ඩොලර් මිලියන හයක් වගේ විශාල මුදලක් අය කරන නළුවෙක් වුනා.

ඔහුගේ මේ අයකිරීම් කිසිවිටෙකත් අසාධාරණ වුනේ නෑ. ඒ කාලයේ මැකෝලි ගේ චිත්‍රපට වලට ඊට වඩා කිහිප ගුණයකින් ආදායම් උපයලා දෙන්න රසිකයන් සැදීපැහැදි හිටියා.

හොලිවුඩ් කියන්නේ හරිම තරගකාරී පිට්ටනියක්. හොලිවුඩ් වලට ඇවිල්ලා සාර්ථක වෙන්න ලේසි නැහැ.

හැබැයි ළමා කාලයේදීම හොලිවුඩ් වල සුපිරි තරුව වුනු මැකෝලි පසුකාලීනව අපිට චිත්‍රපටයකින් දැකගන්න ලැබුනේ නැහැ.

ඒකට හේතුවක් තිබුනා.

වයස අවුරුදු 15 වෙද්දි හොලිවුඩයේ වඩාත්ම ඉල්ලුමක් තිබුනු, ඩොලර් මිලියන 30ක විතර වත්කමක් තිබුනු මැකෝලි එක්වරම හොලිවුඩයෙන් විශ්‍රාම ගත්තා.

මැකෝලි ගේ විශ්‍රාම ගැනීම විශේෂ වෙන්නේ, "මානසික සුවය උදෙසා සුපිරි තරු විවේක ගැනීම" රැල්ලක් වීමට සෑහෙන කලින් ඔහු මේ තීරණය ගැනීම නිසා.

වර්තමානයේ නම් බොහෝ නළු නිළියො, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ "මානසික සුවය" වෙනුවෙන් කියලා තමන්ගේ ක්ෂේත්‍ර වලින් මාස කිහිපයක් විවේක ගන්නවා. ඒක පොඩි "පොලිටිකලි කරෙක්ට්" රැල්ලක්.

හැබැයි වයස අවුරුදු 15 දී, අවුරුද්දකට ඩොලර් මිලියන කිහිපයක් උපයන, තරු ජීවිතයක් උරුම කරලා දීපු රැකියාවකින් මැකෝලි සහමුලින්ම විශ්‍රාම ගන්නවා.

ඔහු කියනවා මින් ඉදිරියට ඔහුට සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න අවශ්‍යයි කියලා. කුඩා කාලයේදීම ලැබුනු ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, තරු ජීවිතය ඔහුව හෙම්බත් කරලා තිබුනා.

ඒ විතරක් නෙවෙයි, මැකෝලි සිය දෙමාපියන් තමන්ගේ සියලූම වත්කම් වල හිමිකාරීත්වයෙන් ඉවත් කිරීමටත් කටයුතු කරනවා.

හොලිවුඩය නිසා මැකෝලිට, මුදල් සහ ජනප්‍රියත්වය හිමි වුනාට බොහෝ දේවල් අහිමි කරලා තිබුනා.

ඔහුට පවුල, ආදරය, මිත්‍රත්වය සහ ජීවිතයේ එක්වරක් පමනක් හිමිවන සුන්දර ළමා කාලය අහිමි වුනා.

ඒ විතරක් නෙවෙයි, අධික ආතතිය දරාගන්න නොහැකිව ඔහු කුඩා කාලයේදීම මත්ද්‍රව්‍ය වලටත් හුරු වුනා. ඔහුගේ දෙමාපියන් ඔහුව දරුවෙකුට වඩා මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස භාවිතා කරලා තිබුනා.

ඔහුගේ සෑම ඉපැයීමකින්ම 15% බැගින් මව සහ පියා ලබා ගෙන තිබුනා. මැකෝලි ගේ සෞඛ්‍ය මානසිකවත්, ශාරීරිකවත් පිරිහිලා තිබුනා.

පසුකාලීනව තමන්ගේ ජීවිතය විනාශ කළා කියලා ඔහු දෙමාපියන්ට සෘජුව චෝදනා කළා.

ඇමෙරිකාවේ දූ දරු - දෙමාපිය සම්බන්ධය අපේ රටට වඩා වෙනස්. අපේ රටේ බහුතරයක් දෙමාපියන් තමන්ගේ ජීවිතය දිය කරන්නේ දරුවන් වෙනුවෙන්.

බොහෝ දරුවන් විවාහ වෙලා වැඩිහිටියො වුනාට පසුවත්, දෙමාපියන්ට කලින් වගේම ගරු කරනවා. ඔවුන් රැක බලාගන්නවා.

මේ තත්ත්වය ඇමෙරිකාවේ වෙනස්. ඇමෙරිකාවේ දූ දරු - දෙමාපිය සම්බන්ධතාවයේ "හැඟීම්" මූලික කොටස, අපේ රටට වඩා ටිකක් අඩුයි.

ඇමෙරිකාවේ දරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ වුනාම ගෙදරින් යනවා, ඔවුන් ඉගෙන ගන්නෙත් 'ස්ටුඩන්ට් ලෝන්' වලින්.

අපේ රටේ දෙමව්පියන් වගේ තමන්ගේ සන්තකයම දරුවන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඇමෙරිකාවේ දෙමාපියන් වියදම් කරන්නේ නැහැ. තමන්ගේ මුදලින් ආවාහ - විවාහ කරලා දීලා, මුනුපුරු මිනිපිරියන් රැක බලාගන්න සංස්කෘතියක් ඇමෙරිකාවේ නැහැ.

මුදල් සම්බන්ධ කාරනා වලදී ඇමෙරිකානු දෙමාපියන්ගේ හැසිරීම තවත් වෙනස්.

බ්‍රිට්නි ස්පීයර්ස් කියන්නේත්, අපේ කථානායක මැකෝලි වගේම කුඩා වයසින් තරුවක් වුනු ඇමෙරිකානු ගායිකාවක්. 90 සහ 2000 දශක වල පොප් සංස්කෘතියේ වැඩිම ඉල්ලුමක් තිබුනු බ්‍රිට්නි යොවුන් වයසේදීම මිලියනපතිනියක් වුනා.

ඇය වසරකට ඩොලර් මිලියන 10ක් විතර ඉපැයූවා, නමුත් ඇයගේ මුදල් වල භාරකාරත්වය තිබුනේ ඇයගේ පියා සතුව. අධිකරණය විසින් බ්‍රිට්නිගේ පියා ඇයගේ භාරකරු ලෙස පත් කරලා තිබුනා.

ඒ හේතුවෙන් වයස අවුරුදු 18 න් පසුවත්, ඇයගේ නීත්‍යානුකූල භරකරුවා විදියට කටයුතු කළේ ඇයගේ පියා. 2021 වසරේදි වයස අවුරුදු 40ක් වුනු බ්‍රිට්නි නඩු කියලා ඇයගේ "පාලන" අයිතිය පියාගෙන් ඉවත් කරගන්නා තුරුම බ්‍රිට්නිගේ මුදල් පාලනය සහ වෘත්තීය තීරණ ලබා ගැනීමේ අයිතිය ඇයගේ පියා විසින් දැරුවා.

ඒ කාලයේ බ්‍රිට්නි නිදහස් කරනු කියලා සටන් පාඨ කියමින් ඇයගේ රසිකයන් උද්ඝෝෂණ පවා කළා.

අපේ කථානායක මැකෝලී සහ ඔහුගේ දෙමාපියන් අතර තිබුනේත්, බ්‍රිට්නි ට වගේම මූල්‍යයමය වටිනාකම මත පදනම් වෙච්ච සම්බන්ධතාවයක් කියලා ඔහු කියනවා.

අවුරුදු 15 දෙමාපියන්ගේ භාරයෙන් ඉවත් වෙලා, තමන්ගේ මුදල් වල භාරකාරීත්වයෙන් දෙමව්පියන් ඉවත් කරපු මැකෝලි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා.

විශාදයෙන් සහ ආතතියෙන් පීඩා විඳිනවා. චිත්‍රපට වෙනුවෙන් එක දිගට මහන්සි වෙලා නිදි වරද්දි ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිබුනා.

ඔහුට කුඩා කළ සිට අහිමි වූ ආදරය සෙවීමටදෝ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් විවාහ වෙනවා. වසර දෙකකින් පමණ දික්කසාඳ වෙනවා. මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.

ඒ ලොවක් වසඟ කළ මේ යොවුන් නළුවාගේ දුක්බර අතීත කතාව.

කුමක් හෝ වාසනාවකට වර්තමානයේ මැකෝලි ඔහු බලාපොරොත්තු වුනා වගේ සාමාන්‍ය,සතුටුදායක ජීවිතයක් ගත කරනවා. 42 හැවිරිදි ඔහු දැන් පියෙක්.

ඒ වගේම ඔහු මෑතක සිට යළිත් චිත්‍රපට වලට සහ වෙනත් කලා කටයුතු වලට සම්බන්ධ වෙලා වැඩ කරනවා.

ලෝකයේ බොහෝ දෙනෙක් හීන මවන ජීවිතයක් මැකෝලි ට කුඩා කාලයේදීම ලැබෙනවා. මිලියනපතියෙක් වෙනවා. ජනප්‍රිය සුපිරි තරුවක් බවට පත් වෙනවා.

හැබැයි ඔහු "සාමාන්‍ය ජීවිතයක්" වෙනුවෙන් ඒ සියල්ල අත්හරිනවා.

ඒක අසාමාන්‍ය තීරණයක්.

නමුත් තිරයක් පිටිපස්සේ ඉදන් හිනා වෙලා ඉන්න මැකෝලි දැකපු අපිට, තිරයෙන් පස්සේ සැඟවිලා තිබුනු ඔහුගේ ඛේදාන්තය පෙනුනේ නැහැ.

රෑට නින්ද නොයන, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ යෞවනයා අපි දැක්කේ නැහැ. ඇත්ත ආදරයක් නොවිඳපු, ATM මැෂීන් එකක් වුනු පොඩි දරුවා අපිට පෙනුනේ නැහැ.

ඔහුගේ තීරණය සර්ව සාධාරණ එකක් වෙන්නේ ඒ පසුබිම නිසා.

වෙලාවකට ජීවිතයේ පරිපූර්ණත්වය අපි හිතනවට වඩා, සරල දෙයක් වෙන්න පුලුවන්. මැකෝලි කැල්කින් ගේ ජීවිතය අපිට උගන්වන පාඩම ඒකයි.

සටහන: ඉරේෂාන් සිරිවර්ධන