ඊශ්‍රායලයේ මුල් හිමිකරුවන් කවුද??

by Yashitha Bhashana

ඊශ්‍රායලයේ මුල් හිමිකරුවන් කවුද??

Share

අද Sri COM at 7 සෙග්මන්ට් එකෙන් අපි කතා කරන්නේ වසර 3300ට ආසන්න කාලයක් පැරණි ඊශ්‍රායලයේ මුල් හිමිකරුවන් කවුද?

(මේක ටිකක් විතර දිග හෑල්ලක්)

3000 Years Old-75 Years Young 🇮🇱

ඊශ්‍රායල් (Israel) කියන නාමය සහිත පැරණිම පුරාවිද්‍යාත්මක සාක්ෂිය හමුවෙන්නේ පැරණි ඊජිප්තුවෙන්.ඊජිප්තුවේ වසර 3,226 ක් පැරණි රූපාක්ෂර පුවරුවක තමයි ඊශ්‍රායල් නාමය සඳහන් වෙන්නේ. මේ පුවරුව Merneptah Stele නැත්නම් Israel Stele කියලත් හඳුන්වනවා.අද මේක ඊජිප්තුවේ කයිරෝ නුවර කෞතුකාගාරයේදී බලාගන්න පුළුවන්. බයිබල් ඉතිහාසයේ ග්‍රන්ථවලට අමතරව ඊශ්‍රායල් වදන හමුවන පැරණිතම පුරාවිද්‍යාත්මක සාක්ෂිය තමයි 1896 දී සොයාගත් මේ පුවරුව (2 රූපය)

කොහොම වුණත් එහි සඳහන් වෙන්නේ ජනතාවක් හඳුන්වන නාමයක් විදියට තමයි මත පළවෙන්නේ.

පලස්තීනය(Palastine) කියන නම මුලින්ම එන්නේ ක්‍රිස්තු පූර්ව 5 සියවසේ හෙරඩෝටස් විසින් රචිත ලියවිල්ලක "district of Syria,called Palastine" යනුවෙන්. ඒ වගේම රෝම අධිරාජ්‍යය විසින් ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ දී "සිරියා පලස්තීනා" ලෙසත් භාවිතා කරලා තියෙනවා අපි මේ කතා කරන්න යන භූමි භාගයේ කොටසකට.කොහොම වුණත් Philaset,philstu,Philaset යනුවෙන් පෙදෙසක් ක්‍රිස්තු පූර්ව 1150 දී තිබූ බවත් සමහර මත තිබෙනවා.ඒව බයිබල් ඉතිහාසය හා ගලපද්දි නිශ්චිත නොවූ විවිධ අදහස් එන බවක් තමයි පේන්නේ.

අපට එන්න මූලික අදහස තමයි අදින් අවුරුදු 3000 කට පෙර ඊශ්‍රායල් සහ පලස්තීන/පිලස්තීන/ෆිලස්තු ලෙස හැඳින්වූ ජනතාවක් වගේම ප්‍රදේශයක් සමකාලිනව තිබුණු බව.ඇතැම් විට මුල් කාලේ සීමා මායිම් වෙනස්ව හැඳින්වූවත් පසු කාලයේ එකම පෙදෙස හැඳින්වීමට මේ නාමයන් දෙකම භාවිතා කළා විය යුතුයි.

ඊශ්‍රායල්, පලස්තීන,යුදෙව් කතාවලට කලින් අපි මේ කලාපීය ඉතිහාසය පොඩ්ඩක් බලලා ඉමු. මෙසපොතේමියානු ශිෂ්ටාචාරය එහෙමත් නැත්තම් යුප්‍රටීස් ටයිග්‍රීස් නිම්න ශිෂ්ටාචාරයට අදින් අවුරුදු 7000-8000 ක වගේ පොහොසත් ඉතිහාසයක් තියෙනවා. නිකම්ම නෙමේ පුරාවිද්‍යාත්මක නටබුන් එක්කම.

වර්තමාන ඉරාක,ඉරාන,සිරියා,යෙමන් කලාපය තමයි මෙසපොතේමියානු ශිෂ්ටාචාරය කියලා හඳුනාගන්න පුලුවන් ප්‍රදේශය. මේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය කාල වකවානු සහ පාලනයන් අනුව තවත් ශිෂ්ටාචාර කිහිපයකට කඩන්න පුළුවන්.

සුමේරියන් ශිෂ්ටාචරය, අක්කේඩියන් ශිෂ්ටාචාරය,ඇසිරියානු ශිෂ්ටාචාර සහ බැබිලෝනියානු ශිෂ්ටාචාරය කියන්නේ එහි බිහිවූ ප්‍රධානම ශිෂ්ටාචාරයන් කිහිපයක්.

සුමේරියානු ශිෂ්ටාචාරයේ ආරම්භය ක්‍රිස්තු පූර්ව 5000 වගේ ඈත අතීතයකට දිව යනවා. ක්‍රිස්තු පූර්වයෙන් 1000-800 (අවුරුදු 3100 කට වගේ පෙරාතුව) වගේ වකවානුවක මේ කලාපයේ බලය ඉසුලුවේ ඇසිරියානු ශිෂ්ටාචාරය.

මේ කාලයේදී මධ්‍යධරණී මුහුදට නැගෙනහිරින්,ඇසිරියානු අධිරාජ්‍යයට ඊසාන දෙසින් සහ ඊජිප්තු රාජධානියට වයඹ දෙසින් තවත් කුඩා නගර සහ රාජධානි කිහිපයක් වර්ධනය වෙන්න පටන් ගත්තා. හරියටම කිව්වොත් මේ කුඩා රාජ්‍යයන් වර්ධනය වෙන්න පටන් ගත්තේ ඊජිප්තු සහ ඇසිරියානු අධිරාජ්‍යයන් දෙකට මැදින්.(3 රූපය)

මේ කුඩා රාජ්‍යයන් සහ නගර අතර පිලස්ටයින් රාජ්‍ය, ඊශ්‍රායල් රාජධානිය,අම්මොන් රාජධානිය සහ ජුඩේහා වගේ රාජධානි කිහිපයක්ම තිබුණා.(3 රුපය)

උතුරු කොටසේ සමාරියානු අගනගරය කරගත් ඊශ්‍රායල් වරු සහ දකුණු කොටසේ ජුඩේහා රාජ්‍යයේ ජෙරුසලම අගනගරය කරගත් ජුදාවරු ජීවත් වුණා.

කොහොම නමුත් ක්‍රිස්තු පූර්ව 722 වගේ වෙනකොට ඇසිරියානු අධිරාජ්‍ය විස්න් ඊශ්‍රායල් රාජ්‍ය ඇතුළු තවත් කුඩා රාජ්‍යවල බලය අල්ලා ගන්නවා. ඊශ්‍රායල් වල හිටපු ජනයා ජුඩේහා රාජ්‍ය වෙත ඒ නිසා පලා යනවා. ඉන් පසුව ඇසිරියානු අධිරාජ්‍ය ජුඩේහා ඇතුළු අනෙකුත් රාජ්‍යවල බලයත් ලබාගන්නවා.

ක්‍රිස්තු පූර්ව 690-590 ත් අතර කාලයේ ඇසිරියානු අධිරාජ්‍ය බිඳ වැටීමත් එක්ක අර කුඩා රාජ්‍යවල බලය ඊජිප්තු අධිරාජ්‍ය විසින් නැවත අල්ලගන්නවා.

ඉන් අනතුරුව ක්‍රිස්තු පූර්ව 587 දී බැබිලෝනියන් වරු ජෙරුසලමට පහර දී සොලොමන් රජුගේ දේවස්ථානය විනාශ කර දමනවා.යුදෙව්වන් හට බැබිලෝනියාව වෙත පලා යෑමට සිදුවෙනවා.

(මෙතනදි කියන්න ඕන බයිබලීය ඉතිහාස කතා අනුව සොල් රජු,ඩේවිඩ් සහ සොලමන් ආදී ඊශ්‍රයල් රාජ්‍යයේ රජවරුන් ගැන කතා කරනවා.ඔවුන් ක්‍රිස්තු පූර්ව 1000-900 අතර කාලයේ තමයි ඊශ්‍රායල් රාජ්ය පාලනය කරලා තියනවා කියන්නේ.)

මහා සයිරස් රජුගෙන් පසුව පළවෙනි ඩේරියස් රජු විසින් පර්සියානු අධිරාජ්‍ය(ආකිමෙනිඩ් අධිරාජ්‍ය) ඊජිප්තුව,ලෙබනනය ඇතුළු සුවිශාල ප්‍රදේශයකට ව්‍යාප්ත කරනවා.මහා සයිරස් රජු බැබිලෝනියාව යටත් කරගන්නවා.ඔහුගේ කාලයේදී පලාගිය ජුදා ජනයාට නැවත ජෙරුසලම වෙත පැමිණෙන්න අවසර දෙනවා.ඒ අනුව යුදෙව් ජනයා නැවත වරක් බැබිලෝනියන් වරු විනාශ කළ සොලෝමන් රජු විසින් නිර්මාණය කළ ජෙරුසලමේ දේවස්ථානය ගොඩනගනවා.

ඉන් අනතුරුව ක්‍රිස්තු පූර්ව 335 වගේ වෙනකොට ජෙරුසලම ඇතුළත් පර්සියන් අධිරාජ්‍ය මහා ඇලෙක්සැන්ඩර් අතට පත්වෙනවා.ඇලෙක්සැන්ඩර් මිය යාමත් එක්ක ඔහුගේ අධිරාජ්‍ය අවුල් වියවුල් ගොඩකට පත් වෙනවා.මේ අධිරාජ්‍යය කොටස් කිහිපයකට කැඩිලා ගිහින් ඇලෙක්සැන්ඩර්ගේ ග්‍රීක සෙන්පතිවරුන් යටතට පත්වෙනවා.

ජෙරුසලම ඇතුළු කලාපය ටොලමි සෙන්පතිගේ රාජ වංශය යටතේ පාලනය වෙන්න පටන් ගන්නවා.ඊට යාබදව තිබුණු සෙලියුකස් සෙන්පතීගේ අධිරාජ්‍ය සහ ටොලමි රාජ්ය අතර ගැටුම් හටගන්නවා.එහි ප්‍රතිඵලයක් හැටියට ජෙරුසලම සෙලියුසිඩ් රාජ්‍යය යටතට පත්වෙනවා.

මේ අතර යුදෙව් ජාතිකයන්ට විශාල සංස්කෘතික බලපෑමක් මේ ග්‍රීක සංස්කෘතියෙන් එල්ල වෙනවා. හෙලනිස්ටික් සංස්කෘතිය කියලා අපට මේක හඳුනාගන්න පුළුවන්.මේ සංස්කෘතික බලපෑම යටතේ ජුදාවරු තමන්ගේ අනන්ත්‍යව විනාශ කරගන්නේ නෑ. ඔවුන් සෙළියුසිඩ් රාජ්‍යයට විරුද්ධව සටන් කරලා කුඩා Judah රාජධානිය නැවත ක්‍රිස්තු පූර්ව 164 දී පිහිටුවා ගන්නවා.තවත් අවුරුදු 100 ක් Judah රාජ්ය සාමකාමීව පැවතුන.

ක්‍රිස්තු පූර්ව 63 දී රෝමානු ජෙනරාල් පොම්පේ විසින් මෙහි බලය අල්ලගනව.කොහොම වුනත් ක්‍රිස්තු පූර්ව 45 දී ජුලියස් සීසර් පොම්පේ පරාජය කරල මෙහි බලය ව්‍යාප්ත කරනවා.ජුලියස් සීසර් කියන්නේ අපි හිතන් ඉන්න චරිතය නෙමෙයි. මං මීට කලින් ජුලියස් ලොක්කා ගැන ලිපියක් දැම්මා. රෝම අධිරාජ්‍යයෙක් හැටියට ජුලියස් සීසර් Judah රාජධානියේ නීත්‍යානුකූල අයිතිය පිළිගන්නවා. ඒ වගේම යුදෙව් ආගමත් නීත්‍යානුකූල ලෙස පිළිගන්නවා.

හැබැයි යුදෙව් ජනතාව සහ රෝම ජනයා අතර පොඩි ප්‍රශ්නයක් තිබුණා.ඒ තමයි ඔවුන්ගේ ආගම.රෝම ජනයා බහු දේව වාදය අදහන පිරිසක් වීම සහ යුදෙව් ජනයා ඒක දේව වාදය අදහන පිරිසක් වීම තමයි ප්‍රශ්නය.

කොහොම වුණත් හැරල්ඩ් නැමති රෝමයට හිතැති යුදෙව් රජෙක් යටතේ ක්‍රිස්තු පූර්ව 40 වෙනකම් Judah රාජ්ය පාලනය වුණා.

මේ අතර ක්‍රිස්තු වර්ෂ 0 වෙනකොට ජේසුස් උපත ලබනවා.ඉන් අනතුරුව ක්‍රිස්තු වර්ෂයෙන් පළවෙනි සියවසේදී ක්‍රිස්තියානු ආගම ව්‍යාප්ත වෙනවා.

කෙසේ නමුත් ක්‍රිස්තු වර්ෂ 237 දී යුදෙව් ජනතාව අතර වර්ධනය වෙමින් තිබුණු ජාතිකත්ව මතවාදය, ආක්‍රමණික රෝමයෙන් තම භූමිය නිදහස් කරගැනීමට වැඩපිළිවෙළක් ගැන තිබූ කසු කුසුව නැවත රෝම අධිරාජ්‍ය ඔවුන්ට පහර දෙනවා. යුදෙව් ජනයා වර්තමාන ප්‍රදේශයෙන් උතුරු ඊශ්‍රායලය සහ ලෙබනනය අතර වූ ගැලීලි නම් පෙදෙසක් වෙත පලා යනවා.ඉන් පසුව Judah රාජ්‍යයේ ඉතිරි වූ යුදෙව්වන් වහලුන් ලෙස මැදපෙරදිග,යුරෝපය සහ අප්‍රිකානු රටවලට විකුණන්න රෝමවරු කටයුතු කරනවා.

ක්‍රිස්තු වර්ෂ 285 දී රෝම අධිරාජ්‍ය බටහිර සහ නැගෙනහිර වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කොන්ස්තන්තිනෝපලය මූලික නැගෙනහිර රෝම අධිරාජ්‍යයට තමයි ජෙරුසලම ඇතුළු Judah රාජ්‍ය අයත් වුණේ.මේ කාලයේ නැගෙනහිර රෝම අධිරාජ්‍ය පාලනය කළේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා.ඔහු විසින් ක්‍රිස්තියානු ආගම රෝමයේ රාජ්‍ය ආගම බවට ප්‍රකාශ කරනවා.

ඊළඟ වසර 400 යුදෙව් ජනතාව බයිසැන්ටියන් අධිරාජ්‍ය යටතේ පීඩාවට පත් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ අරාබිවරුන්ගේ නැගී සිටීම සිදු වෙනවා. ඔවුන් වර්තමාන ඊජිප්තු, සිරියා,ඉරාන,ඉරාක,යේමන්,ඕමාන්,ලෙබනන් ප්‍රදේශ යටත් කරගන්නවා.

මේ අතර ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී ඉස්ලාම් ආගම ආරම්භය සහ ව්‍යාප්තිය සිදු වෙනවා.

මේ කලයේදි නැවතත් ජෙරුසලම පාලනය වෙන්නේ ආරාබින් අතින්. යුදෙව්වන්ට අරබින් සහාය පල කිරීම සිදු වෙනවා ඔවුන් දෙගොල්ලන්ම ඒක දේවවාදය අදහන පිරිසක් නිසා.කොහොම නමුත් බහු දේව වාදය අදහන පිරිස් ආගමට හැරවීමට බල කිරීම සිදුවුණා.

ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේදී යුදෙව්වන් ස්පාඥය මූලික කරගත් අයිබීරියානු අර්ධද්වීපය ප්‍රමුඛ යුරෝපා පෙදෙස් වලට වෙළඳ කටයුතු සමඟ පැමිණෙනවා.ඉන් පසු යුදෙව් සහ ක්‍රිස්තියානු ජනයා එක්ව විසීම ආරම්භ වෙනවා.

ක්‍රිස්තු වර්ෂ 1078 දී සෙයික් පාලක පරම්පරාව විසින් ක්‍රිස්තියානු සහ යුදෙව් ආගමිකයන් හට පීඩා කරන්න පටන් ගන්නවා.

කොහොම වුණත් යුරෝපීය ක්‍රිස්තියානු පිරිස් අතර අදහසක් ගොඩ නැගෙනවා අරාබින් යුදෙව්වන් හට විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා.ඒ වගේම ජේසුස් වහන්සේ ඝාතනය වුණේ යුදෙව් ජාතිකයන් නිසා කියාල මතයක් ගොඩ නැගෙනවා. ක්‍රිස්තියානු ජනයාට ජේසුස් යනු දෙවියන්.දෙවියන් මැරූ ජනයා ලෙස යුදෙව් ජනයාව වෛරයට පාත්‍ර වෙනවා.මේ නිසා ක්‍රිස්තු වර්ෂ 1100-1200 කලයේදී යුරෝපා ක්‍රිස්තියානු පිරිස් විසින් යුරෝපයේ විසූ යුදෙව් ජනයා ඝාතනය කර දමනවා.

ක්‍රිස්තු වර්ෂ 1347 දී යුරෝපයේ ජනයා හරි අඩක් මිය ගිය අඳුරු මරණය නොහොත් Black Death කියන වසංගතය ඇති වෙනවා. අරාබින් විසින් කලක් පාලනය කළ ස්පාඤ්ඤය ප්‍රධාන කරගත් අයිබීරියානු අර්ධද්වීපය තුළ 5% ක් පමණ යුදෙව්වන් ඉතිරිව සිටියා.ඔවුන් යුරෝපා ක්‍රිස්තියානු සහ අරාබි ජාතිකයන් අතර වෙළඳාම කරගෙන ජීවත් වුණා.

අඳුරු මරණයට හේතුව යුදෙව්වන් කියලා මතයක් මුළු යුරෝපය පුරාම ප්‍රසිද්ධ වුණා. ආරබින් හා එක්ව යුදෙව්වන් ක්‍රිස්තියානු පිරිස්වල ළිං ජලයට වස දමා ක්‍රිස්තියානු පිරිස් ඝාතනය කළා කියලා තමයි ඔවුන් යුදෙව්වන්ට චෝදනා කළේ. මේ කාලය තුළ ස්පාඤ්ඤය පාලනය කළ ක්‍රිස්තියානු පාලකයන් විසින් යුදෙව්වන් හට ක්‍රිස්තියානු ආගමට හැර්වෙන්න බැරිනම් රට අතහැර යන්න කියලා බලකරනව.

ඒ අනුව 1450 වෙනකොට අඳුරු මරණයේ වසංගතයට වරදකරුවන් වූ ඉතිරි වූ යුදෙව්වන් යුරෝපය අතහැර ගොස් ඔටෝමන් තුර්කි පාලන ප්‍රදේශ සහ මධ්‍යධරණී මුහුදුබඩ කලපය තුළ පදිංචි වෙනවා. ( අඳුරු වසංගතයට සත්‍ය හේතුව යුදෙව්වන් නෙමෙයි. ඒක බැක්ටීරියාවක් ව්‍යාප්ත වීම නිසා සිදු වූවක්)

ක්‍රිස්තු වර්ෂ 1453 වෙනකොට රෝම අධිරාජ්‍යය සම්පූර්ණයෙන් අවසන් වී කොන්ස්තන්තිනෝපලය ඔටෝමන් තුර්කිවරු යටතට පත්වෙනවා.ඔවුන් යුදෙව්වන් ඔවුන්ගේ රාජ්‍ය තුළට පිළිගන්නවා.

මේ කාලයෙදීම පෝලන්තය,ලිතුවේනියාව වගේ ප්‍රදේශවලට යුදෙව්වන් ලක්ෂ 3 ක් පමණ සංක්‍රමණය වෙනවා. කොහොම වුණත් ක්‍රිස්තු වර්ෂ 16 වන සියවසෙන් පස්සේ පෝලන්තය සහ ලිතුවේනියාව අවට තිබූ ප්‍රශියන් රාජධානිය සහ ස්වීඩන් රාජධානිය මේ කලාපයට ප්‍රහාර එල්ල් කරනවා.ඒ අනුව නැවතත් ලක්ෂ ගණන් යුදෙව් ජනයා රුසියානු අධිරාජ්‍ය වෙත 1760-1800 කාලයේදී පලා යනවා.එනමුත් ඔටෝමන් තුර්කිවරුන් මෙන් රුසියානු ජාතිකයන් යුදෙව් ජාතිකයන් සුහදශීලී සේ පිළිගත්තේ නෑ. රුසියානු කලාපයේ දී ත් යුදෙව්වන් හට පීඩා එල්ල වෙනවා.

18 වන සියවසේ මැද භාගය සහ 19 වන සියවස මුල් භාගයේ යුදෙව්වන් ඇමරිකාවට සහ බටහිර යුරෝපයට සංක්‍රමණය වෙනවා. මේ කලයේදී ජෙරුසලම් පාලනය කරන්නේ ඔටෝමන්වරු.

ජෙරුසලම අයත් වුණේ පලස්තීන ජනයාට.මෙතන පලස්තීන කියලා වෙනම ජනතාවක් නැහැ,ඔවුනුත් අරාබි ජාතිකයන්ම තමයි නමුත් ඔවුන් පලස්තීන ලෙස වෙනම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන සිටියා.

1897 දී ස්විට්සර්ලන්තයේ දී යුදෙව්වන් තීරණය කරනවා ඔවුන්ට වසර 2000 ක් තිස්සේ සිදු වූ පීඩා වලට එරෙහිව තමන්ගේම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගත යුතු බව.මේක ජාතිකත්ව සහ ආගම්ක මුහුණුවරකින් තිබුණා. මේකට කියන්නේ සයෝන් (Zion) මතවාදය කියලා-Zionism

ඔවුන් තීරණය කළා ඔවුන්ගේ ඓතිහාසික දේශය වන ජෙරුසලම මූලික කරගෙන ස්වාධීන රාජ්‍යයක් පිහිටුවන්න.ඒ සඳහා පොරොන්දු දේශය වගේ කතා එහෙමත් එකතු වුණා.

1914-18 පළමු ලෝක යුද්දය....

මේ වෙනකොට යුරෝපය පුරා සැලකිය යුතු ලෙස යුදෙව් ජනයා ව්‍යාප්ත වෙලා හිටියා. පළමු ලෝක යුද්ධයෙිදී ජර්මනිය, ඔස්ට්‍රො- හංගේරියානු අධිරාජ්‍ය,ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය එක් පාර්ශ්වයක් සහ බ්රිතාන්ය,රුසියාව,ප්‍රංශය,ඉතාලිය, ඇමරිකාව තවත් පාර්ශ්වයක් ලෙස සන්ධානගත වී සිටියා.

මේ නිසා මේ පාර්ශව දෙකේම සිටි යුදෙව්වන් හට ඔවුන් ජීවත් වන රටට පක්ෂපාතී ද නැත්ද යන්න එම රටවල ආණ්ඩු මගින් ප්‍රශ්න කර සිටියා. ඔවුන්ට තම පක්ෂපාතීත්වය පෙන්නිම සඳහා යුධ පෙරමුණට යෑමටත් සිදු වුණා.මේ නිසා ඇතැම් විට පාර්ශව දෙකේ යුදෙව්වන් යුදෙව්වන් අතින්ම ඝාතනය වීමත් බොහෝ විට සිදුවුණා.

ලෝක යුධ සමයේදී යුදෙව්වෙකු ඇල්බට් අයින්ස්ටයින් ඇමරිකාවට සංක්‍රමණය වීමේදිත් ඔහුගේ පක්ෂපාතී බව,දේශපාලන මතවාදය ඇමරිකානු රජයට වැදගත් වුණා. අයින්ස්ටයින් හටත් ඒ වැනි පීඩා සිදුවුණා නම් සාමාන්‍යය යුදෙව් ජනයා ගැන කවර කතා ද ?

යුදෙව්වන්ගේ සයොන් මතවාදය ගැන හොඳ අවධානයකින් පසු වූ බ්‍රිතාන්‍ය තීරණය කරනවා වෙනම ගේමක් ගහන්න.ඔවුන් යුදෙව්වන් හට යෝජනා කරනවා 1917 බැල්ෆෝ සම්මුතිය මගින් යුදෙව් ස්වාධීන රාජ්‍යයක් ලබා දෙනා බවට.ඒ වගේම බ්‍රිට්ටෝ ගේමක් ගහනවා ඔටෝමන් අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගහපු අනිත් කැරලිකාර පාර්ශ්ව එක්ක ඔටෝමන් රාජ්‍යයෙන් ඔවුන්ව නිදහස් කරලා දෙන්නම් කියලා.

1918 පළමු ලෝක යුද්ධය අවසන් වෙන්නේ ජර්මනි පිල පරාජයට පත් වෙලා.තවදුරටත් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යක් පැවතුනේ නෑ. ඒ වෙනුවට මැදපෙරදිග කලාපය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ අධිරාජ්‍ය යටතේ බෙදී පැවතුන ප්‍රදේශ නිදහස් වී තිබුණත් පලස්තීනය තවමත් බ්‍රිතාන්‍ය යටතේ පාලනය වුණා.

පලස්තීනය, ජෝර්දානය ප්‍රමුඛ කලාපය බ්‍රිතාන්‍ය විසින් පාලනය කළා.පලස්තීනය පාලනය කළේ British mandate for Palastine යන නමින්.

මේ අතර 1919 දී ජර්මනිය ලෝක යුද්දය පරාද වීමත් එක්ක ඇඩොල්ෆ් කැට්ලර් නාසි පක්ෂයේ බලයට පත් වෙනවා. 1933 වෙනකොට කැට්ලර් ජර්මනියේ චාන්සලර් බවට පත්වෙන්නේ ශක්තිමත් ජර්මනියක් පිහිටුවීමට පොරොන්දු වෙමින්.

කැට්ලර්ගේ ප්රතිපත්ති ප්‍රකාශය තුළ Anti Semitism (යුදෙව් විරෝධී) පිළිවෙතක් ඇතුළත් වෙලා තිබුණ. මෙතනදි කියන්න ඕන කැට්ලර් යුදෙව්වෝ විනාශ කරේ අර හේතුවයි මේ හේතුවයි ගගා ඔහුගේ පෞද්ගලික හේතු එක්ක කන්ස්පයිරසි තියරි දාලා කතා ගොඩක් කියනවා.

අපි මෙතනදී තේරුම් ගන්න ඕන කැට්ලර්ගේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් තවත් ජාතියක් විනාශ කරන්න තවත් පිරිසක් මෙහෙයවන්න ඔහුට බෑ. ඒකට පොදු අරමුණක් ඕන.මෙතනදි වුණේ මෙහෙම දෙයක්. යුදෙව්වන් පළමු ලෝක යුධ සමයේදී ජර්මනියට ද්‍රෝහී වුණා කියන හේතුව යටතේ තමයි යුදෙව්වන්ට එරෙහි ප්‍රතිපත්තියක් නාසි පක්ෂය ගොඩනගන්නේ.ඒ වගේම සුපිරිසිදු ආර්ය ජර්මන් ජාතියක් ගොඩනගන්න ඕන කියන එක මේ කතාන්දරයේ අතුරු කතාවක්.

1941-45 දෙවන ලෝක යුධ සමය...

1930-45 කාලය තුලදී Holocaust නැමති සුප්‍රසිද්ධ මහා යුදෙව් සංහාරය සිදුවෙනවා.කැට්ලර් මෙහිදී යුදෙව්වන් මිලියන 6 ක් සමුල ඝාතනය කරා කියලා සඳහන් වෙනවා.

මේ කාලයේදී සායෝන් මතවාදය වගේම,බ්‍රිතාන්‍යයන් පොරොන්දු වෙලා තිබුණු නිදහස් යුදෙව් රාජ්ය අදහස් නිසා යුදෙව්වෝ බොහෝ දෙනෙක් පලස්තීන බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙනවා.යුදෙව්වන් මිලියන ගණනින් එද්දී අරාබි පලස්තීන ජනයා මෙයට විරුද්ධ වෙනවා.

ඒ අනුව 1929 කාලයේදී පළමු අරට දහස් ගණනකට මරණය කැඳවූ විරෝධතාවයක් පලස්තීනය තුළ යුදෙව්වන්ට එරෙහිව සිදුවෙනවා.

මේත් එක්කම යුරෝපයේ සිට පැමිණි යුදෙව්වන් සේම අරාබි පලස්තීන ජනයා සමග කාලයක් එකට සිටි යුදෙව් ජනයවත් යන දෙපිරිසම එකම කුලකයට ලඝු කරලා අරාබි පලස්තීන ජනයා විසින් පහර දෙනවා. ඒ වගේම පලස්තීනය තමන්ට නිදහස දෙන ලෙස බ්‍රිතාන්‍යයෙන් ද ඉල්ලනවා.

කොහොම වුණත් යුදෙව්වන්ගේ ආගමන විගමන කටයුතු පාලනය වුණේ බ්‍රිතාන්‍ය අතින්.මේ නිසා යුදෙව් ජනයා අරාබි පලස්තීන ජනයා වෙතින් එන ප්‍රහාර වලට වගේම බ්‍රිතාන්‍යට විරුද්ධව සටන් කරන්නත් හමුදා අනුඛණ්ඩයක් පිහිටුවා ගන්නවා.

1947 දී නිදහස් යුදෙව් රාජ්‍යයක් පිහිටුවීම බ්‍රිතාන්‍ය එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර දීලා අත පිහදාගන්නව.

ඒ අනුව ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙලා හරියටම මාස 3 ක් ගත වන තැන 1948 මැයි 14 නව ඊශ්‍රායල් රාජ්ය උපත ලබනවා.

මෙහිදී පලස්තීන - බ්‍රිතාන්‍ය කොටස් වලට කැඩීමෙන් තමයි බෙදලා දෙන්නේ.එකිනෙකට සම්බන්ධ නොවූ භූමි කොටස් 3 ක් අරාබි පලස්තීන ජනයාට සහ යුදෙව් ජනයාට භූමියක් වශයෙන් ලැබුණා. ජෙරුසලම අන්තර්ජාතික neutral ස්ථානයක් සේ වෙන් කරා.

පලස්තීන අරාබි ජනයාට කුඩා කොටසක් ලැබුණත් ඔවුන් ඉල්ලූ නිදහස ලැබුණා.ඒ වගේම යුදෙව්වන්ට ස්වාධීන රාජ්‍යයක් ලැබුණා.

කොහොම වුණත් පලස්තීනය කොටස් තුනක් වශයෙන් වෙන්ව තිබීම සහ යුරෝපය මැපෙරදිග බලයට හවුල් වීම ගැන අරබින්ගේ නොසතුටට හේතු වුණා.

1948 මැයි 15 පළමු අරාබි - ඊශ්‍රායල් යුද්ධය

ඒ වගේම මැදපෙරදිග අනික් රටවල් මෙසේ රටවල් බෙදීම යුරෝපා බලය මැදපෙරදිග පැතිරවීම ක් සේ සලකා නිදහස් ඊශ්‍රායල් රාජ්ය බිහි වී පසු දිනම අරාබි ලීගය පිහිටුවා ගත් ඊජිප්තුව, ලෙබනනය,සිරියාව,උතුරු යේමනය, සෞද් අරාබිය,ජෝර්දාන්, ඉරාක් විසින් සෑම පැත්තෙන්ම ඊශ්‍රායල වටකොට පහර දෙනවා.

ප්‍රතිඵලය :- ඊශ්‍රායාලය විසින් සිරියානු ප්‍රදේශයට ආසන්න Acre පර්දේශය,බටහිර ජෙරුසලම සහ නැගෙනහිර ගාසා තීරය තමන් යටතට ගන්නවා.
1949 යුද්ධය අවසන් ජෝර්දානය බටහිර ඉවුර ලබාගන්නවා.ගාසා තීරය ඊජිප්තුවට අයිති වෙනවා.

1956 දෙවන අරාබි ඊශ්‍රායල් යුද්ධය.

මෙහිදී බ්‍රිතාන්‍ය,ප්‍රංශය සහ ඊශ්‍රායල ඊජිප්තුවට පහර දෙනවා.මෙතන මූලික අරමුණ වෙන්නේ මධ්‍යධරණී මුහුදේ ප්‍රධාන නාවුක ගමනාගමන වන සූවස් ඇල පිළිබඳව ඊජිප්තුව ගැනීමට ගිය තීරණයක්.කොහොම වුණත් මේ යුද්ධය වැඩිකල් දුවන්නේ නෑ.

1964 PLO - Palestine Liberation Organization. පලස්තීන විමුක්තිකාමී සංවිධානය පිහිටුවා ගැනීම.

1967 තුන්වන අරාබි ඊශ්‍රායල යුද්ධය (June War/6 Day War)

ඊජිප්තුව,සිරියාව,ජෝර්දානය ප්‍රමුඛ තවත් අරාබි රටවල් කිහිපයක් එකතුව නැවත වරක් ඊශ්‍රායලය ආක්‍රමණය කරනවා.පළමු දින 6 දී මෙහි බලය ඊශ්‍රායල ලබාගන්නවා.

ප්‍රතිඵලය :- සිරියාවේ ගොලන් කඳුකරය,ගාසා තීරය,සම්පූර්ණ බටහිර ඉවුර සහ ඊශ්‍රායල වගේ තුන් ගුණයක් ඊජිප්තුවට අයිති සිනාන් අර්ධද්වීපය ඊශ්‍රායල යටතට පත් වීම. ඊජිප්තුව විසින් සූවස් ඇල 1975 ක් වසා තැබීම.

1974 යෝම් කිපූර් යුද්ධය...

යුදෙව්වන්ගේ අලුත් අවුරුදු දිනයේදී ඊජිප්තුව සහ සිරියාව තවත් ප්‍රහාරයක් ඊශ්‍රායලය වෙත දියත් කරනවා.මෙහිදී සෝවියට් රුසියාව අරාබි පාර්ශවයට එකතු වන අතර මේ හේතුවෙන්ම, ඇමරිකාව යුධමය සහාය ඊශ්‍රායලය වෙත ලබා දෙනවා.

ප්‍රතිඵලය :- අරාබි රටවල් ඇමරිකා ඊශ්‍රායල් හිතවාදී රටවල් වලට තෙල් මිල ගණන් 75% කික් ඉහළ දැමීම.

1975 සාකච්ජා මගින් ඊජිප්තුව හා කටයුතු කිරීම....

විශාල සීනාන් අර්ධද්වීපය නැවත ඊජිප්තුව වෙත ඊශ්‍රායලය ලබා දීම.ඊට හිලව් වශයෙන් සූවස් ඇළ වීවෘත කිරීම ඊජිප්තුව අතීන් සිදුවීම. ගෝලන් කඳුකරයේ සමහර පෙදෙස් සිරියාවට නැවත ලබා දීම.

1987 පලස්තීනය ජනයාගේ පළමු නැඟිටීම (Intifada)
ඊශ්‍රායල් වලට විරුද්ධව කැරලි ගැසීම ආරම්භ විය.එමෙන්ම හමාස් සංවිධානයේ ආරම්භයද විය.

1990 න් පසු සාම සාකච්ඡා ඇති වීම.

1991 ඔස්ලෝ සම්මුතියේන් පසු ඊශ්‍රායල් පලස්තීන සාම ගිවිසුම් ආරම්භ විය.

1996 දී පලස්තීන පළමු ජනාධිපති පත් විය.

2000 දෙවන නැඟිටීම (Intifada)
මරාගෙන මැරෙන බෝම්බ බැඳගත් ත්‍රස්තවාදීන් ඊශ්‍රායල් වෙත පැමිණීම.

2002 ඊශ්‍රායලය විසින් බටහිර ඉවූර මූලික කරගෙන තාප්පයක් ගොඩ නැගීම.මෙහිදී බටහිර ඉවූරට අයත් ප්‍රදේශත් අල්ලලා ඊශ්‍රායල් විසින් තාප්පය ඉදි කරනවා.

2005 ගාසා තීරයෙන් ඊශ්‍රායල ජනයා ඉවත් කරගැනීම.

2005 හමාස් සංවිධානය පලස්තීන පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දින ගැනීම.

2006 හාමාස් බලයට ඒමත් සමඟ නිරන්තර රොකට් ප්‍රහාර ඊශ්‍රායල දේශ සීමා වෙත එල්ල වීම නිසා 2007 දී ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් විසින් හමාස් යනු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම සිදු වෙනවා.

ඊජිප්තුවට, මධ්‍යධරණී මුහුදට සහ ඊශ්‍රායලයට මායිම්වෙලා තියෙන ගාසා තීරය ප්‍රමාණයෙන් ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් භාගයක වගේ ප්‍රමාණයක්. හරියටම කිව්වොත් වර්ග කිලෝමීටර් 365 යි. කොළඹ දිස්ත්‍රික්කයේ විශාලත්වය පමණක් වර්ග කිලෝමීටර් 699 යි.🚩

ඊශ්‍රායලයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 22,145 ක් විතර වෙනවා. හරියට බැලුවොත් ලංකාවෙන් තුනෙන් එකයි.ලංකාව වර්ග කිලෝමීටර් 65,610 යි.🇮🇱

එතකොට ඔය ජෝර්දානයට, ඊශ්‍රායලයට සහ මළ මුහුදට මායිම්වෙලා තියන බටහිර ඉවුර (West Bank) වර්ග කිලෝමීටර් 5860 ක් වගේ තියෙනවා. ලංකාවෙන් දොළහෙන් එකයි.වර්තමාන පලස්තීනය කියලත් අපට මේ කොටස හඳුනාගන්න පුළුවන්.🇵🇸

(4 රූපය)සිතියම අධ්‍යනය කරන්න. කාලෙන් කාලෙට මේ සීමා ප්‍රමාණවල යම් යම් වෙනස්කම් වෙනවා ගැටුම් එක්ක.

ඊශ්‍රායල් පලස්තීන ගැටුම 1948 න් පස්සේ ඊශ්‍රයල් රාජ්‍යයක් බිහි කිරීම කියන කරුණ විතරක් පාදක කරලා ලගු කරන්න බෑ. මේ ගැටලුව ඉතාම සංකීර්ණයි. අවුරුදු දෙතුන් දාහක් පස්සට ගියත් මේක ඉතාම සංකීර්ණ ගැටලුවක්.

බයිබලීය කතා අනුව අබ්‍රම්/ආබ්‍රහම්/ඊබ්‍රහම්/ඉබ්‍රම්/ඒබ්‍රහම් නැමති දිවැසිවරයා තමයි යුදෙව්,ක්‍රිස්තියනි සහ ඉස්ලාම් ආගම්වල නිර්මාතෘ මුල් පුරුක. ඒබ්‍රහම් දෙවියන්ගේ පණිවුඩය අනුව ඊජිප්තුවේ ඉඳන් වර්තමාන පලස්තීන ජෝර්දාන පෙදෙසට එනවා.තමනගේ පළමු බිරිඳට දරුවෙකු නැති නිසා ඊජිප්තුවේ දී මෙහෙකාර අනිත් බිරිඳව විවාහ කරගන්නව.ඇයට දාව උපදින පුතු ඉෂ්මයිල් නම් වෙනවා.ඔහු ඉස්ලාම් ආගමේ දිවැසිවර මොහොමඩ්ගේ මුල් ඥාතියෙක් සේම අරාබි ජාතීන්ගේ මුල් පුරුකක්.

ඉන් පසුව එබරහම් ගේ පළමු බිරියට අයිසැක් නම් දරුවෙක් උපත ලබනවා. ඔහු ඊශ්‍රායල් ජාතීන්ගේ ආරම්භක මුතුන් මිත්තා සේම ඊශ්‍රායල් රාජ්‍යයේ කුල 12 ආරම්භ කළ දරුවන්ගේ සීයා.මේ පවුලේ කතන්දරය තව දිගට යනවා. බොහෝ බයිබල් කතා විශ්වාස කටම අය පවසන්නේ ඒබ්‍රහම් ජීවත් වුණේ ක්‍රිස්තු පූර්ව 20 හෝ 17 වන සියවසේ කියලා. ඒබ්‍රහම් තමයි ඒක දේවවාදය පිළිබඳ අදහස උගන්වන්නේ.ඔහු වසර 175 ක් පමණ ජීවත් වෙනවා.

ඉන් අනතුරුව මොසස්ගේ කාලය වෙනකොට ඊශ්‍රායල් ජනතාව ඊජිප්තුවේ වහලුන් විදියට තමයි ඉඳලා තියෙන්නේ.මෝසස් ඔවුන්ව මුදවා ගැනීම සිදු කරනවා...මේ විදියට කතාව යනවා. මේ ඒබ්‍රහම් මෝසස් කතාවට කිසිම පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නෑ. නමුත් යම් සිදුවීමක් මුල් කරගෙන නිර්මාණය වූවක් බව පැහැදිලියි.

හරි දැන් අපේ කතාවට.අවුරුදු දෙදාහක් තිස්සේ ඊශ්‍රායල් යුදෙව් ජනයා අහිගුණ්ඨිකයෝ වගේ ඉඳලා නැවත ඔවුන්ගේ මුල් භූමිය ලැබුණාට පස්සේ ආයෙත් එකෙන් එලවන්න පුළුවන් වෙයි කියලා හිතන ඒක බොරු වැඩක්.ඔවුන්ගේ පැත්තෙන් ඒක ඉතිහාසයේ අයිතියක්. එතකොට පලස්තීන ජනයා ? ඔවුන්නුත් එසේම තමයි. මේක ඉහළ කතාව කොච්චර පැටලිලි සහගත ද කියලා තේරෙනවා නම් මේකේ සංකීර්ණ බව වැටහෙනවා ඇති.

ඊශ්‍රායල් පලස්තීන කියන්නේ ආගමක් මුල් කරගෙන නිර්මාණය වී ගැටුමක් නෙමෙයි.භූමියේ අයිතිය මුල් කරගෙන නිර්මාණය වූ ගැටුමක්. නමුත් පසුව මේක ආගම් වාදී ස්වරූපයෙන් වර්ධනය වෙලා තියෙනවා.යුදෙව් වෛරයක් ලෝකේ තියෙනවා.මුස්ලිම් වෛරයකුත් ලෝකයේ තියෙනවා.

හමාස් කියන්නේ රැඩිකල් සුන්නි මුස්ලිම් මිලිටරි හා දේශපාලන සංවිධානයක්.එතකොට ලෙබනන් කේන්ද්‍ර කරගත් හිස්බුල්ලා සටන් කාමින් කියන්නේ රැඩිකල් ෂියා මුස්ලිම් මිලිටරි ත්‍රස්තවාදී සංවිධානයක්.ඉරානය කියන්නේ ෂියා මුස්ලිම් රටක්.නමුත් ඊශ්‍රායල් විනාශ කිරීම වෙනුවෙන් සුන්නි සහ ෂියා එකතු වෙලා තිබෙනවා.මෙතන සාම ගිවිසුමක් ගැන හිතන්න බැරි ඒකයි.නමුත් යුද්ධයෙන් මේකට විසඳුමක් නෑ.

හමාස් කියන්නේ පලස්තීනය නෙමෙයි. ඒක හරියට ltte කොටි ත්‍රස්තයන් කියන්නේ දෙමළ ජනතාව නෙමෙයි වගේ.අවුරුදු දේදහක් තිස්සේ අහිමි භූමිය අහිමි කරගන්න ඊශ්‍රායල් කීයවටත් කැමති වෙන්නේ නෑ. කව්රුන් මොනවා කිව්වත් ඔවුන් නවතින්නේ නෑ.ඔවුන් නවතන්න පුළුවන් තාමත් ලෝකෙට පොලිස් කාරය වෙච්ච ඇමරිකා එක්සත් ජනපදයට විතරමයි. ඇමරිකාව තමයි ඊශ්‍රායල දේශයේ ගැලවුම්කරු.ඒ වගේම ඕනම මානවහිමිකම් අපරාධයක් වසන් කරන්නෙත්.

සෞදී අරාබිය කවදාවත් ඇමරිකා ඊශ්‍රායල් හවුලට එරෙහි වෙන්නේ නෑ.සෞදි අරාබිය ඇමරිකාවේ ගජ මිතුර. අරාබි ලීගය සඳහා බලවත් නායකයෙක් දැන් නෑ.සදාම් හුසේන් නෑ.මොහොමඩ් ගඩාෆි නෑ.ඇමරිකාව ඔවුන්ව සාර්ථක ලෙස උපන් බිමේදී ඝාතනය කරලා විනාශ කරලා දැම්මා.ඉරානය පමණයි දැවැන්ත අවි බලයක් සහිතව ඉන්න මුස්ලිම් රට අභියෝගයක් කරන්න පුළුවන්. ශක්තිමත් මුස්ලිම් අරබියක් නිර්මාණය වෙන්න නම් නැවත වරක්
සලාහුදීන් යූසුෆ් ඉබ්න් ආයුබ් කෙනෙක් නැවත වරක් ඉපදෙන්න ඕනා. එහෙම කෙනෙක් නූපදින තරමටම එකත් එකටම හොඳයි.එහෙම වුණොත් නැවත ලේ විලක් වෙන්න පුළුවන්.

මේ හෑල්ල අනුව පේන දෙයක් තමයි අවිහිංසක කතා පැත්තකින් දැම්මාම මේ ප්‍රශ්ණය සෑහෙන සංකීර්ණ එකක් කියලා.

මේ ප්‍රශ්න අපේ සිංහල මුස්ලිම් උන් බේද වෙන්න ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ හැබැයි 👍

තව දෙයක්.යුදෙව් ජාතිය අවුරුදු දෙදහක් විතර අහිගුණ්ඨික ජනතාවක් සේ ලෝකේ පුරා හිටියා.හැබැයි ඔවුන් එයාලගේ අනානත්‍යව නැති කරගත්තේ නෑ.සංස්කෘතිය නැති කරගත්තේ නෑ.සිරිත් විරිත් නැති කරගත්තේ නෑ.සම්ප්‍රදාය නැතිකරගත්තේ නෑ.තමන්ට කියලා භූමියක් නැති වෙනකොටත් ඔවුන්ගේ ජාතිය නොනැසී පැවතුනේ ඒ නිසයි. ජාතිය කියන්නේ භෞතිකව පවතින භූමියක් නෙමෙයි කියන එකට මේක හොඳ උදාහරණයක්.

සිද්ද වෙන්න නියමිත යථාර්ථය දන්නවා වුණත් මූනිච්චාවට සාමය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

2024 ත් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා වලදී යුධ අපරාධ කරා කියලා මානව හිමිකම් චෝදනා එල්ල කරාවි.චීනය සහ රුසියාව අපේ පැත්තේ හිටගනිවි.සුපුරුදු පරිදි ඉන්දියාව කට වහගෙන ඉඳි.

ඊශ්‍රායල් ගාසා වලට කරන දේ දැක්කම,පොස්පරස් බෝම්බ දානවා දැක්කම, කෑම බීම මාර්ග අවහිර කරනවා දැක්කම....ලෝකේ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම මානුෂීය මෙහෙයුම කරපු (ලක්ෂ 2 ක දමිළ,මුස්ලිම් සිවිල් ප්‍රාණ ඇපකරුවන් ) ත්‍රස්තවාදීන්ටත් කන්න බොන්න දීලා යුද්ධ කරපු එකම රාජ්‍යය හමුදාව විදියට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අපේ හදවත් වල හැමදාම ඉඳීවි. ❤️

✍️Admin: Pasindu Herath