12 අසමත් (12th Fail Sinhala Review)

by The Sri COM, Afi Aiza

12 අසමත් (12th Fail Sinhala Review)

Share

අද #SriCOMat7 සෙග්මන්ට් එකෙන් අපි කතා කරන්න යන්නේ මේ දවස්වල හැමෝම කතා වෙන ජනප්‍රිය සහ සර්ථක හිංදි චිත්‍රපටයක් ගැන

සුප්‍රකට අධ්‍යක්ෂකවරයන්, ‘සුපිරි තරු’ නළු නිළියන්, අසන්නා නැටවෙන සංගීතය, වගේ විශාල වැඩ තොගයක් සහ මහන්සිය එකතු කරපු, දක්ෂ කණ්ඩායමක් එකතු වෙලා ‘සිනමා ඉතිහාසයේ ආදායම් වාර්තා බිඳ දමපු’ ‘සුපිරි Blockbuster hit’ චිත්‍රපටයක් හදන්න පුළුවන්. මෑත කාලයේදීත් අපිට ඒ වගේ ගොඩක් සිනමා නිර්මාණ දැකගන්න හැකි වුනා. ඒත් මේ හැම ‘බ්ලොක්බස්ටර් හිට්’ චිත්‍රපටියක් ම ‘Masterpiece’ එකක් වෙන්නේ නැහැ. සුපුරුදු ඉන්දියන් සිනමාව තුළ අපිට දකින්න ලැබෙන, කලින් කියපු තරු පහේ සුපිරි නළු නිළියන් නැති, දහ පහලොස් දෙනෙක් ට එකපාර ගහන Fight sequence නැති, ප්‍රධාන නළු නිළියන්ට mass entry එකක් නැති, වැඩි දෙනෙක්ගේ කතා බහකට ලක් වෙන්නෙ නැති අධ්‍යක්ෂකවරයෙක්, සාපේක්ෂව කුඩා crew එකක්, සාම්ප්‍රදායික සතුටුදායක නිමාවක් එක්ක, අවුරුදු ගණනාවක් ගියත් නරඹන්නන්ගේ හිතේ ලොකු ඉඩක් ලබාගන්න පුලුවන් විදිහෙ චිත්‍රපටියක්, නැත්නම් ‘Masterpiece’ එකක් හදන්න පුළුවන් ද? ඒකට උත්තරයක් අපිට ඉන්දියාවේ ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විදිහට නම් ගියපු Vidhu Vinod Chopraගෙන් හම්බවෙනවා. ඒ තමයි ඔහුගේ අධ්‍යක්ෂණයෙන්, Vikrant Masseyගේ විශිෂ්ට රංගනයෙන් නිර්මාණය වුණු ‘12th Fail’ නම් චිත්‍රපටිය.

මේ චිත්‍රපටියේ ලොකුම විශේෂත්වය තමයි මම කලින් කියපු හැමදේම ඇතුළුව, entertainment පැත්තට බර වුනු, මසාලා ඝණයේ චිත්‍රපට විශාල ප්‍රමාණයක්, විශේෂයෙන් බොලිවුඩ් වල එළි දැක්වුණු වුනු 2023 වගේ අවුරුද්දක මේ චිත්‍රපටිය එළි දැක්වීම සහ එහෙම වෙලත්, නිසි ලෙස සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගැනීමට හැකි වීම.

මේ වෙද්දි 12th Fail චිත්‍රපටය IMDb දර්ශකයේ 9.2/10 අගයක් ලබාගනිමින් විශිෂ්ටතම ඉන්දියානු චිත්‍රපට 250 (IMDb Top 250 Indian Movies) ලැයිස්තුවේ පළමු ස්ථානයට සහ ලොව විශිෂ්ටතම චිත්‍රපට 250 (IMDb Top 250 Movies) ලැයිස්තුවේ 129 ස්ථානයට පත්වීමට සමත්ව තිබෙනවා.

▫️12th Fail කතා පසුබිම

මේ චිත්‍රපටිය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවක් බව මේ වෙද්දි ප්‍රසිද්ධ කරුණක්. නමුත් වැඩි දෙනෙක්ගේ දැනුමෙන් ගිලිහුණු දෙයක් තමයි මේ චිත්‍රපටිය Anurag Pathak අතින් ලියවුනු ‘Twelfth Fail’ කෘතිය පාදක කරගෙන නිර්මාණය වූවක් බව. චිත්‍රපටියේ කතාව ප්‍රධාන චරිතය වුණු Manoj Kumar Sharma වටා ගෙතෙනවා. 12 වසර අධ්‍යාපනයෙන් අසමත් වෙන ඔහුගේ IPS නිලධාරියෙක් වීමේ ඉතාමත් අසීරු ගමන තුළට අපිව අරගෙන යනවා. මේ ගමන අතරමඟ ඔහුට මුහුණ දෙන්න වෙන බාධක, මුණගැහෙන විවිධ වර්ගයේ මිනිසුන්, තමන්ගේ පවුලේ ජීවන බර, මූල්‍යමය ගැටලු වගේ ප්‍රශ්න තොගයක් ම තියාගෙන තමන්ගේ සිහිනය ට පිය මනින තරුණයෙක් ගේ කතාවක්. කතාව අවසන් වෙන්නේ ඔහු සාර්ථකව UPSC විභාගයට මුහුණ දී IPS නිලධාරියෙක් වීමෙන්.

චිත්‍රපටියේ සාර්ථකත්වය ට හේතුවත් මේ කතාවමයි කියන්න පුළුවන්. මොකද මේ කතාව ඇතුලේ අමුතුවෙන් මවපු ෆැන්ටසියක් නැහැ. ආසියාතික රටවල් වල තරුණ තරුණියන් තමන්ගේ හීන වලට යන්න කොයිතරම් දුකක් විඳිනවද, අධ්‍යාපන ක්‍රමය ඇතුලේ දක්ෂයන් කී දෙනෙක් තැලෙනවද වගේ අපි එදිනෙදා දකින, අහන කතාවක්, අපේම කතාවක් ස්ක්‍රීන් එකක දැක්කම අපේ හිත් වලට ලන් වෙන එක පුදුමයක් නෙමේ.

නමුත් චිත්‍රපටියක් සාර්ථක වෙන්නේ කතාවෙන් විතරක් ම නෙමේ. තිර රචනයක් සාර්ථක සහ නරඹන්නාගේ හිතේ බලපැමක් ඇති කරන සුළු වෙන්නේ ඒ තිර පිටපත කොයි තරම් දුරකට අපේ හැඟීම් උපදවන්න සමත් වෙනවද කියන කරුණ මත. ඒ දේ සම්පූර්ණ වෙන්න හොඳ කතාවක් විතරක් මදි, ඒ හා සමාන විශිෂ්ට අධ්‍යක්ෂණයක් ද අවශ්‍යයි. සම්පූර්ණ ශක්තිමත් පිටපතකට හැකි වෙනවා වෛවර්ණ තාක්ෂණ නැතුව උනත් ලොකු බලපැමක් ඇති සිනමා නිර්මාණයක් නිමා කරන්න.

මේ හැමදේම සම්පූර්ණ වෙන්න Chopra ගේ ශිල්පය වගේම මෑත කාලයේදී කතා බහට ලක් වෙන නළුවෙක් වෙන Vikrant Massey ගේ ඉතා විශිෂ්ට රංගනය හේතුවක් උනා කියන්න පුළුවන්. ඒ වගේම Medha Shankar, Anshumaan Pushkar, Harish Kanna වැනි අනෙකුත් නළු නිළියන් ඒ හා සමානව මේ චිත්‍රපටියේ සාර්ථකත්වය ට තමන්ගේ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම තමයි Shantanu Moitra ගේ සංගීත නිර්මාණය. සිත නිවන සංගීතයක් වගේම චිත්‍රපටියේ හැඟීම් නිසි ලෙස නරඹන්නන් ට දැනෙන විදිහට ලබාදෙන්න ඔහු සමත් වෙලා තියෙනවා.

▫️12th Fail - ආකර්ෂණීය තිර රචනය සහ අධ්‍යක්ෂණය

හැමෝගෙම අවධානය දිනපු මේ කතාවේ යම් යම් තැන්වල සරල නමුත් විශිෂ්ට ලෙස ඉදරිපත් කරන කරුණු කිහිපයක් බලාගන්න පුළුවන්. මුලින්ම අපිට බලාගන්න පුළුවන් වෙන Chambal නම් ගම්මානයේ aerial shot view එක. ඒත් එක්කම අපිට ඇහෙන Pritam එහෙම නැත්නම් Anant Joshi ගේ කටහඬ - “Yeh Hai Chambal, haan wohi dakuon wala Chambal.” ඔහු එතනදි පවසන්නේ මේ ගම්මානය මංකොල්ලකාරයන් ට ප්‍රසිද්ධ බවයි. නමුත් එවැනි ප්‍රදේශයකින් උනත් මනෝජ් වැනි අවංක නිලධාරියෙක් උපදින්න පුළුවන් කියන අර්ථය එතනින් නැගෙනවා.

ඒ වගේම තමයි මනෝජ් ගේ කතාව Pritam විසින් විස්තර කිරීම. මේ කරුණ ඇතුලේ මම ලොකු උපමාවන් දෙකක් දකිනවා. එකක් තමයි, Pritam ගේ සිහිනය. අපිට Pritam මුන ගැහෙන්නේ තම පියාගේ සිහිනය පසුපස යන්නෙක් විදිහට. නමුත් ඔහුගේ සිහිනය වෙන්නේ වාර්තාකරුවෙක් වීම. ඒ දේ තමයි ඔහු චිත්‍රපටිය පුරාවට ම කරන්නෙත්. ඉතින් මෙතනදි ඔහුගේ සිහිනයත් පිළිබිඹු වෙනවා. ඊළග දේ තමයි මනෝජ් ගේ IPS සිහිනය මුල පුරන්නේ Pritam. නමුත් Pritam ගේ සිහිනය ට මුල් පියවර පටන් ගන්නේ මනෝජ් තමන්ගේ අරමුණ ඉෂ්ට කරගත්තාට පසුව. Pritam ගේ සිහිනය ඉටු කරගන්න ඔහු ව පොළඹවන්නේ මනෝජ්. ඉතින් ඒ මනෝජ්ගේම කතාව Pritam විසින් විස්තර කිරීම මට අනුව 10/10 දෙන්න පුළුවන් අදහසක්.

චිත්‍රපටියේ මම කැමති තවත් දෙයක් තමයි Chopra අවංක වෙන්න බය නොවීම. මේකට හේතුව Pritam වටා ම ගෙතුණු තවත් කරුණක්. මනෝජ් ව දිල්ලි වලට එක්කන් එන්නේ Pritam උනත්, මනෝජ් තමන්ගේ කඩයිම් වලින් ඉස්සරහට යද්දී Pritam ඔහුට එරෙහි ව වැඩ කරන්න පටන් ගන්නවා. මෙතනින් කියවෙන්නේ අපේ එදිනෙදා ජීවිත වල මුණගැහෙන මිනිසුන් වර්ගයක් ගැන. අපි කතාවට කියනවා නේ සුබ පතන්න දාහක් හිටියට උදව් කරන්න අතලොස්සක් වත් නැ කියලා. 12th Fail එකේ මේ සිද්ධියෙන් මන් දකින්නෙත් අන්න ඒ අදහස. අපිව දෙයක් කරන්න පොළඹවන කට්ටිය උනත් අපි දෙයක් කරලා ඉස්සරහට යනවා දකින්න යම්කිසි අකමැත්තක් දක්වනවා.

චිත්‍රපටිය තුළින් ඉස්මතු වෙන තවත් දෙයක් තමයි අධ්‍යාපනයට තනි පුද්ගලයෙක් මත තියෙන පරිවර්තිත හැකියාව. තමන්ගේ ඉලක්කය කර ලගාවෙන්න අධ්‍යාපනය තුළින් කෙනෙක්ට විශාල පෙළඹවීමක් ලැබෙන බව මෙතනින් කියවෙනවා.

චිත්‍රපටියේ අවසානයේ මහා ලොකු plot twist එකක් නන් දකින්න ලැබෙන්නේ නැහැ. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අවසානයක් එක්ක කතාව ඉවර වෙනවා. එහෙම තියෙද්දී මේ චිත්‍රපටිය සාම්ප්‍රදායික නොවෙන්න හේතුව තමයි මම කලින් කිව්ව වගේම මේ කතාව ඉදිරිපත් කරලා තියෙන විදිහ. එකම පාරෙන්, එකම උත්සහයකින් ගොඩ යන්නේ නැතුව, අවසාන අවස්ථාව වෙනකං ම සටන් කරන තරුණයෙක් තුළින් අපි දකින්නේ එදිනෙදා තමන්ගේ සිහිනය වෙනුවෙන් පුළුවන් හැම විදිහකින්ම උත්සහ කරන කෙනෙක් ගේ කතාව. ඊටත් වඩා වැදගත් දේ තමයි, ‘නිකන් හරි ෆේල් උනොත්’ කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේට Gaurinandan කියන චරිතෙ ඇතුලින් අපිට පිළිතුර ලැබෙනවා. ඒ තමයි මම මේ ෆිල්ම් එකේ කැමති ඊළග දේ. මුළු ජීවිතයම එකම විභාගයක් වෙනුවෙන් වැය කරලා, අවසාන අවස්ථාවත් ගිලිහුණත් තව කෙනෙක් ගේ සිහිනයට මග පාදන එක තමන්ගේ ජීවිතයේ අරමුණ කරගන්න පුළුවන් කියලා පෙන්නපු චරිතයක්. හැමදේම ඉවර උනත් කතාව ඉවර වෙන්නේ නැ කියලා පෙන්නපු ඒ කොටස විශිෂ්ටයි.

▫️Vidhu Vinod Chopra ගැන…

චිත්‍රපටියේ අධ්‍යක්ෂක වුණ Vidhu Vinod Chopra ගැන අනිවරෙන් ම කියන්න ඕන. අවුරුදු ගානකට පස්සෙත් අපි හැමෝගෙම හිත් වල විශේෂ තැනක් අදටත් හිමි 3 Idiots චිත්‍රපටියේ මොහුගේ විශාල දායකත්වයක් තිබුණා. චිත්‍රපටියේ නිර්මාණයට Rajkumar Hirani ට කොයි තරම් ප්‍රශංසාවක් ලැබෙනවද ඒ හා සමාන ප්‍රශංසාවක් මොහුටත් හිමි විය යුතුයි. මොකද හිරානි වගේම චොප්රාත් 3 Idiots චිත්‍රපටියේ තිර රචකයෙක්.

Vinod Chopra ඔහුගේ පළවෙනි චිත්‍රපටිය එළි දක්වන්නේ 1981 වසරේ. එතැන් පටන් අද වෙනකං ඔහු විසින් අධ්‍යක්ෂණය වුණු චිත්‍රපටි ගණන 10යි. මීට අමතරව 1976 සහ 1978 වසර වලදී ඔහු කෙටි වාර්තා චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කරනවා. මේ තරම් අවුරුදු ගානක් ඇතුලත මේ වගේ පොඩි චිත්‍රපට ගානක් ද මොහු අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ? ඔව්, Vinod Chopra ගේ තවත් විශේෂයක් තමයි දශකයට එකක් වගේ ලොකු හිස්තැන් වලින් පස්සේ අලුත් චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කිරීම. මේ වගේ හිස්තැනකට ලොකුම හේතුව විදිහට දැක්වෙන්නේ මොහුගේ චිත්‍රපටි වල කතාව එහෙම නැත්නම් plot එක. බොහෝ දුරට සත්‍ය කතා පාදක කරගෙන චිත්‍රපට නිර්මාණය කරන විනෝද් ගේ චිත්‍රපටි වල දකින්න ලැබෙන්නේ සංකීර්ණ නමුත් පරිපූර්ණ නිර්මාණයක්. Eklavya (2007), Mission Kashmir (2000), Khamosh (1986) චිත්‍රපට නරඹපු කෙනෙක් නම් මන් කියන දේ තේරෙයි. ඉතින්, මොහුගේම අධ්‍යක්ෂණය සහ අධීක්ෂණය යටතේ නිර්මාණය වුනු 12th Fail සාර්ථක නිර්මාණයක් වීම අතිශයෝක්තියක් නෙමෙයි කියලා තමයි හිතෙන්නේ.


චිත්‍රපටියේ Shraddha කියන චරිතයට යම් වැදගත්කමක් තිබුණත්, සටහනේ මම ලොකු තැනක් එයාට දීලා නැහැ. Medha Shankar විසින් මේ සහය රංගනය විශිෂ්ට ලෙස ඉදිරිපත් කළත්, මට අනුව මේ චරිතය දෝලනය වෙන චරිතයක්. හැම මනෝජ් කෙනෙකුටම ශ්‍රද්ධා කෙනෙක් ඉන්න ඕනේ උනාට හැම මනෝජ් කෙනෙකුටම ශ්‍රද්ධා කෙනෙක් හමුවෙන්නේ නැහැ. ඒ නිසා මනෝජ් ගේ ජයග්‍රහණය ශ්‍රද්ධා ගේ encouragement එක මතම රඳවන්න මම කැමති නැහැ. නමුත් ශ්‍රද්ධා වගේ සහකාරියක්, ගෞරි වගේ මග පෙන්වන්නෙක්, Pritam, Tutul වගේ මිතුරන් වගේම මනෝජ් ගේ පවුල වගේ supportive පවුලක් හම්බ වෙන කෙනෙක් ට තමන්ගේ හිනයට ළඟා වීම අමාරු උනත් කරන්න පුළුවන් දෙයක් වෙනවා නියතයි. නමුත් මෙතනින් ගතයුතු අදහස වෙන්නේ හැමෝටම මනෝජ් වෙන්න බැහැ. ඉතින් මනෝජ් වෙන්න බැරි උනොත්, ගෞරි වගේ චරිතයක් මේ ලෝකෙට ලැබෙන්න අවස්තාව තියෙන බවයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ 12th Fail කියන්නේ නිකන් ම චිත්‍රපටියක් නෙමේ. පෞද්ගලික කුසලතා වර්ධනය කරගැනීම, අවංකව කටයුතු කිරීම, ඕනම ප්‍රශ්නයකට මුහුණ දීමේ හැකියාව, තමන්ගේ ඉලක්කය වෙත නොසැලී ළගා වීම වගේ තම තමන්ගේ පෞද්ගලිකත්වය වර්ධනය කරගන්න අධ්‍යයනය කරන්න පුළුවන් පොතක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම බොලිවුඩයේ සුපිරි තරු වලට අසමසම තරඟයක් ඉදිරියට Massey ගෙන් බලාගන්න පුළුවන් වෙයි කියලත් හිතනවා.

ඉතින් චිත්‍රපටය ගැන ඔයාගෙ අදහසත් කියාගෙන යමු

✍️Admin: Afi Aiza